ඌවේ දිදුලන පාසලක් වූ සෙවණගල බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය | දිනමිණ

ඌවේ දිදුලන පාසලක් වූ සෙවණගල බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය

ඌව පළාතේ පාසල් අතරින් මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල අධ්‍යාපන කලාපයට අයත් සෙවණගල බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය පළාතේ දිදුලන ආදර්ශවත් විදුබිමකි.

මවුපියන්ගේ ධනය සහ ශ්‍රමයෙන් ගොඩනැඟුණු පාසල් ගොඩනැඟිල්ලක දරුවන් 68 දෙනකුගෙන් සහ ගුරුවරුන් තිදෙනකුගෙන් ආරම්භ වු මේ පාසල අද වන විට දරුවන් 528 දෙනකු සහ ගුරුවරුන් 18 දෙනකුගෙන් සමන්විතය.

2013දී බණ්ඩාරනායක මහා විදුහලේ ප්‍රාථමික අංශයේ අංශ ප්‍රධාන ගුරුතුමිය වැඩ බලන විදුහල්පතිනිය ලෙස විශාල සේවයක් සිදු කර තිබේ. දිනෙන් දින දියුණු වූ මේ පාසලට 2016දී ශ්‍රේණිධාරී විදුහල්පතිවරයකු ලෙස ඊ. එස්. මෙන්ඩිස් මහතා පත් විය. ඒ මහතාගේ නව සංකල්ප සහ අදහස් නිසාම ඌවේ දිදුලන පාසලක් බවට පත්ව මෙය පත්ව තිබේ.

2020දී දරුවන් 75 දෙනකු ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්ව එයින් 35 දෙනකු විශිෂ්ට ලෙස කඩයිම් ලකුණු පසුකරද්දී ඉතිරි සියලු දෙනාම විශිෂ්ට ලෙස ලකුණු ලබා ගනිමින් තණමල්විල කලාපයේ හොඳම ප්‍රතිඵල ලැබු පාසල බවට බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය පත් විය.

එමෙන්ම ඌව පළාතේ හිටපු ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබූ අතර එදා සිට මේ දක්වාම ඒ මහතාගේ ප්‍රධාන දායකත්වය පාසලට ලැබෙමින් තිබේ. එයට අමතරව ඌව පළාත් සභාවේ හිටපු සභානායක විමල් ගලගමආරච්චි මහතා, තණමල්විල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සියලුම දේශපාලන නායකත්වය පාසලේ සංවර්ධනයට දායකත්වය ලබා දේ.

පාසල් භූමියේ අලංකාරය වැඩි කිරීමට ගොවිපොළක් සහ ළමා උද්‍යානය සමත් වෙයි. 2018 සහ 2019 වසරවල සෙවණගල පාසල් අතරින් හොඳම ඩෙංගු මර්දන වැඩසටහන කළ පාසල වූයේ ද මේ පාසලයි.

විදුහල්පති ඊ. එස්. මෙන්ඩිස් මහතා

'දරුවා ද්විතීයික අධ්‍යපනයට හුරු කිරීම අපේ එක වගකීමක්. ඒ වගකීම අප නිවැරැදිව ඉටු කරනවා. විශේෂයෙන්ම මවුපියන් පාසලට උදව් කරනවා. ඉතාම හොඳ ගුණ යහපත් ගුරු මණ්ඩලයක් දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. ජනප්‍රිය පාසල් සොයා යනවා වෙනුවට අප අපේ පාසල ජනප්‍රියත්වය කරා ගෙන යනවා. අධ්‍යාපනයට වගේම ගුණ ගරුක සාරධර්මවලින් පිරිපුන් දරු පරපුරක් පාසලෙන් බිහි කර ද්විතීයික අධ්‍යපනයට යොමු කරනවා.අපේ පාසලට නිතර උදව් කරමින් උපදෙස් දෙන පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍ය අඹන්වල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී. එම්. රත්නායක, තණමල්විල කලාප අධ්‍යපන අධ්‍යක්ෂ බුද්ධික කරුණාදාස, කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ,පළාත් සභාවේ හිටපු සභානායක විමල් ගලගමආරච්චි සහ තණමල්විල ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සියලු දෙනාම සිහිපත් කරනවා.'

තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ බුද්ධික කරුණාදාස මහතා

'බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය 2013දී එවකට හිටපු ඌව ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළා. 2016දී මේ පාසලේ විදුහල්පති ලෙස පත්වු මෙන්ඩිස් මහතාගේ දක්ෂතාව නිසා අද මේ පාසල තණමල්විල කලාපයේ ජනප්‍රියම පාසලක් බවට පත්ව තිබෙනවා. අප මේ පාසල තව තවත් දියුණු කරන්න කටයුතු කරනවා.'

ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය

'තණමල්විල අධ්‍යාපන කලාපයේ 2020 වසරේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගත් පාසල ලෙස සෙවනගල බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය හඳුන්වන්න පුළුවන්. ඌව පළාතේ ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් සමත්වීමේදී 11 වැනි ස්ථානයට මේ පාසල පත් වුණා. දිනෙන් දින දියුණු වන සෙවණගල කලාපයේ තිබෙන මෙවැනි පාසල්වලට අමාත්‍යාංශයෙන් කළ හැකි

උපරිම සේවය අප ලබා දෙනවා.' සටහන හා ඡායාරූප ඌව පළාත් සමූහ

ප්‍රසන්න පත්මසිරි

නව අදහස දක්වන්න