ඉකුත් වසරේ ලංකා සීනි සමාගමට ලක්ෂ 18,800ක ලාභයක් ලැබුණා | දිනමිණ

ඉකුත් වසරේ ලංකා සීනි සමාගමට ලක්ෂ 18,800ක ලාභයක් ලැබුණා

රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර ක්‍රිසන්ති විතාරණ

පසුගිය වසරේ ලංකා සීනි සමාගම සීනි මෙන්ම එතනෝල් ද නිෂ්පාදනය කළ බවත් එමඟින් ලක්ෂ 18,800ක ලාභයක් ලැබූ බවත් කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ පසුගිය දා පැල්වත්ත සීනි සමාගමේ 2021 වසර සඳහා උක් ඇඹරීමේ මංගල්‍යයට සමඟාමීව ප්‍රධාන පිවිසුම් දොරටුව, බුදු මැදුර සහ වාහන සේවා ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙසේද කීය.

ජනාධිපතිතුමා මා හමු වූ වෙලාවෙ ඉල්ලීමක් කළා. ඒ තමයි, මේ සීනි සමාගමේ පඩි ගෙවන්නවත් බෑ, එතනෝල් කවුරුවත් ගන්නෙ නෑ, එතනෝල් තියා ගන්න විදිහක් නෑ, ඒක නිසා එතනෝල් ගේන එක නවත්වන්න කියන එක. මා එය ජනාධිපතිතුමාට කිව්වම ජනාධිපති ලේකම්තුමා ගෙන්වල ඇහැවුව එකම දේ මේ දේ නතර කලොත් සීනි සමාගමේ ඇති වී ඇති තත්වයට විසඳුමක් ලැබෙයිද කියා. එතුමා මගෙන් ඇහැවුව එතනෝල් ගෙන්වන එක නතර කළොත් ලංකාව තුළ එතනෝල් සපයන්න පුළුවන්ද කියා. මා කිසිවක් හිතන්නෙ නැතිව එක ලෙසටම කියා සිටියේ පුළුවන් කියායි. ලංකාවට අවශ්‍ය එතනෝල් ලංකාවේම නිෂ්පාදනය කරනවා කියා මා කීවා.

එදිනම ජනාධිපතිතුමන් කියා සිටියේ ගැසට් එකක් නිකුත් කර ලංකාවට එතනෝල් ගේන එක නතර කරන්න කියායි. 2020 ජනවාරි 1 දා සිට ඓතිහාසික තීන්දුවක් ගනිමින් ලංකාවට එතනෝල් ආනයනය අත්හිටෙව්වා. මා එවෙලෙම ජනාධිපතිතුමාට කිව්ව 250 ට විකුණන්න බැරි එතනෝල් මා රු 500ට විකුණනව කියා.

සීනි නිෂ්පාදනය කරනව වගේම, එතනෝලුත් නිෂ්පාදනය කළා. ඒ තුළ ලැබූ ලාභය ලක්ෂ 18,800ක්. අප සීනි කර්මාණ්තය දියුණු කරන්න, වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. උක් ගොවීන් නඟාසිටුවන්න, සේවකයන්ට වැඩි දීමනා ලබා දෙන්න මේ සියල්ලටම මේ ලාබය ලබා දී රු මිලියන 1,360 අප ආයතනයක් හැටියට ලාබ ලැබුවා.

සීනි මිල අඩු කර පාරිභෝගිකයට සහනයක් ලබා දෙන්න ඕනෑ කියා ජනාධිපතිතුමා කීවා. ඒක මට ශක්තියක් වුණා. රමේෂ් ඇමැතිතුමා. රු 140ට විකුණපු දුඹුරු සීනි අප සතොස හරහා රු 125ට විකුණන්න එම ආයතනයට රු 120ට සීනි ලබා දෙන්න එකඟතාව පළ කළා. අද අපේ පාරිභෝගිකයන්ට රු 15ක ලාබයක් ලැබෙනවා.

ඉදිරියේදී ලංකාවට දුඹුරු සීනි ගේන එක නවත්වල ලංකාවෙම දුඹුරු සීනි නිෂ්පාදනයට කටයුතු කරනවා.

උක් ගොවීන්ට ලක්ෂ 1,000ක් දෙන්න කටයුතු කරනවා. හෙක්ටයාර 1කට වැඩියෙන් වවන උක් ගොවීන්ට අප අමාත්‍යාංශය මැදිහත් වී සහනයක් විදිහට ජලය සපයන්න, අවම බිම් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ මේ වන විට කරගෙන යනවා.

සෙවනගල සහ පැල්වත්තෙ උක් සපයන ගොවියට තවත් රු 250ක් වැඩි කර දෙන්න බලාපොරොත්තු වනවා. ඒ වගේම සියලුම ගොවීන්ගෙ ගැටලු මේ අවුරුද්දේ දී විසඳනවා.

නව අදහස දක්වන්න