සනාථ නොකළ කරුණු මත පදනම්ව මානව හිමිකම් කවුන්සලයට දී ඇති ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා පරද්දන්න | දිනමිණ

සනාථ නොකළ කරුණු මත පදනම්ව මානව හිමිකම් කවුන්සලයට දී ඇති ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා පරද්දන්න

  • සාමාජික රටවලින් රජය ඉල්ලයි
  • දේශපාලන වුවමනාවන්ට යෝජනා ඉදිරිපත් කරලා
  • ඇමැති දිනේෂ් ගුණවර්ධන
  • මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසියේ ඉහළ නියෝජනය ඇමැති දිනේෂ් අමතයි

සනාථ නොකළ කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කෙරෙන යෝජනා පරාජය කිරීමට සහාය වන්නැයි ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවලින් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකාවට එරෙහිව සනාථ නොකළ යෝජනාවක් ගෙන ඒමේ දී ආධිපත්‍යවාදී බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව සහයෝගයෙන් කටයුතු කළ අතර, එය අදටත් ශ්‍රී ලංකාව සමඟ සිටින මිත්‍ර ජාතීන්ගේ සහයෝගයෙන් පරාජයට පත්කර තිබෙන බවද දේශපාලන අභිප්‍රායන් මත තවදුරටත් මෙම සභාවට යෝජනා ඉදිරිපත් කළ බවද විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එම සෑම අවස්ථාවකදීම එවැනි ක්‍රියාදාමයන් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට භයානක පූර්වාදර්ශයක් සපයන්නේ කෙසේදැයි යන්න ශ්‍රී ලංකාව පෙන්වා දී තිබෙන බවද ඒ මහතා සඳහන් කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසියේ ඉහළ මට්ටමේ කොටස අමතමිනි.

ශ්‍රී ලංකා වේලාවෙන් පෙරේදා (23) රාත්‍රී 9.15ට පමණ විදේශ ඇමැතිවරයා මානව හිමිකම් සමුළුව ඇමතූ අතර මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන ප්‍රගතිය, ඒ වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග මෙන්ම වත්මන් රජයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් මෙහි දී මානව හිමිකම් කවුන්සලය දැනුම්වත් කෙරිණි. පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ කොළඹ සිට සමුළුව ඇමතූ අතර සාමාජික රටවල නියෝජිතයන් ජිනීවා නුවරට රැස් නොවී මානව හිමිකම් සමුළුව පවත්වන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා- ඔබ අමතන අවස්ථාවේ දී මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම වාර්තාව පිළිබඳ පෙර නොවූ විරූ අන්දමේ ප්‍රචාරක ව්‍යාපාරයක් ද සිදු කර තිබෙනවා. දශක තුනක් තිස්සේ පැවති ගැටුම්වලින් අනතුරුව, ශ්‍රී ලංකාවේ වීරෝදාර සන්නද්ධ හමුදා 2009 දී එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් උදාසීන කළා. ලෝකයේ වඩාත්ම කුරිරු බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයෙන් සිය ඒකීය රාජ්‍යය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ආත්මාරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළා. ශ්‍රී ලංකාවේ දේශසීමාවෙන් ඔබ්බට සිය භීෂණය ව්‍යාප්ත කරමින්, ලෝක නායකයන් දෙදෙනකු එනම්, ශ්‍රී ලංකාවේ සේවයේ යෙදී සිටි ජනාධිපතිවරයෙකු සහ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ඝාතනය කළ ලොව එකම ත්‍රස්ත සංවිධානය එල්ටීටීඊයයි.

ත්‍රස්තවාදය අවසන් කිරීම මඟින්, සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සියලු අයිතිවාසිකම් අතර වඩාත්ම අගය කරන - ජීවන අයිතිය සහතික කර තිබෙනවා. එසේ වුවද, ශ්‍රී ලංකාවට එරෙහිව සනාථ නොකළ යෝජනාවක් ගෙන ඒමේ දී ආධිපත්‍යවාදී බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව සහයෝගයෙන් කටයුතු කළ අතර, එය අදටත් ශ්‍රී ලංකාව සමඟ සිටින මිත්‍ර ජාතීන්ගේ සහයෝගයෙන් පරාජයට පත්කර තිබෙනවා. හුදු දේශපාලන අභිප්‍රායන් මත තව දුරටත් යෝජනා මෙම සභාවට ඉදිරිපත් කළා. එම සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව කාර්ය පටිපාටික නුසුදුසුකම් සහ එවැනි ක්‍රියාදාමයන් එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවලට බලපාන භයානක පූර්වාදර්ශයක් සපයන්නේ කෙසේ ද යන්න ඉදිරිපත් කළා.

2015 දී ශ්‍රී ලංකාවේ බලයට පත් වූ රජය, මානව හිමිකම් සංසදවල දී පෙර නොවූ විරූ ආකාරයකින් අපගේම රටට එරෙහි 30/1 යෝජනාවේ සම අනුග්‍රාහකයන් ලෙස සම්බන්ධ වුණා. එය එවකට ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය අනුමත නොකළ ක්‍රියාවක්. 30/1යෝජනාවෙහි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන සහ ඉටු කළ නොහැකි බැඳීම් රාශියක් අඩංගු වුණා. මෙය සිය ගණනක් මිය යාමට හේතු වූ 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නැවත පණ ගැන්වීම දක්වා ජාතික ආරක්ෂාව අඩපණ කිරීමට හේතු වුණා.

ශ්‍රී ලංකා ජනතාව මෙම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම 2019 නොවැම්බර් මාසයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු ජනවරම මඟින් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මෙම ජනවරම මත පදනම්ව, මෙම කවුන්සිලයේ 43 වැනි සැසියේ දී ශ්‍රී ලංකාව එම යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වන බව මා ප්‍රකාශ කළා. තවද, මෙම කවුන්සිලය ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ දිගටම සම්බන්ධ වී කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම ද මා ප්‍රකාශ කළා.

පවත්නා යාන්ත්‍රණයන් අඛණ්ඩව පවත්වාගෙන යාම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම, තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම, ඉඩම් ආපසු ලබා දීමේ ප්‍රගතිය, බිම් බෝම්බ ඉවත් කිරීම සහ නව ජීවනෝපාය මාර්ග නිර්මාණය කිරීම වැනි ශ්‍රී ලංකාව සිදු කර ඇති බැඳීම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ අප 2020 දෙසැම්බර් මාසයේ දී මෙන්ම 2021 ජනවාරි මාසයේ දී ද මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත සවිස්තරාත්මක යාවත්කාලීන කිරීම් ලබා දී තිබෙනවා.

පසුගිය වසර පුරා ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතයේ බලපෑම් සමඟ පොරබදමින් සිටිය දී පවා මෙම පියවර ගෙන තිබෙනවා. මෙම අභියෝග මධ්‍යයේ වූවද අප 2020 අගෝස්තු මාසයේ දී නිදහස් හා සාධාරණ මහ මැතිවරණයක් පවත්වා, ආසියාවේ පැරණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහිත රටක තුනෙන් දෙකක බහුතරයක් සහිතව නව රජයක් තෝරා පත් කර ගත්තා.

මානව හිමිකම් කවුන්සිලය හා එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කොටස් මෙම මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මත පදනම්ව, රටට විශේෂිත වූ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කිරීම කනගාටුවට කරුණක්. ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ මෙම වාර්තාව අසාධාරණ ලෙස සිය විෂයය පථය පුළුල් කර ඇති අතර, ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පවතින මූලික ගෘහස්ථ කාරණා සහ පාලන කරුණු රාශියක් ඇතුළත් කර තිබෙනවා.

මෙම කවුන්සිලයේ හදිසි අවධානයට ලක් විය යුතු තත්ත්වයක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ද, නැතහොත් මෙම උද්ඝෝෂණය අත්‍යවශ්‍යයෙන්ම මේ කවුන්සිලය පිහිටුවා ඇති සාරධර්ම හා මූලධර්මවලට පටහැනි දේශපාලන පියවරක් ද යන්න පිළිබඳ ඔවුන්ගේම තීන්දුවක් ගැනීමට මා මෙම කවුන්සිලයේ සාමාජිකයන්ට සහ නිරීක්ෂකයන්ට භාර කරනවා. විදේශයන්හි සිදු කරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් නීති සම්පාදනය කරන මොහොතක, මෙයින් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණයි. ත්‍රස්තවාදයට එරෙහි අරගලයේ යෙදී සිටින රටවල් අතර සැලකිය යුතු අන්දමින් චිත්ත ධෛර්යය නැතිවීම සඳහා මෙය හේතු විය හැකියි.

මෙම කවුන්සිලය සිය පරිමාණයන් සමව තබාගත යුතුයි. කට කතා, ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග හෝ එක් කෝණයකින් එන සැක සහිත මූලාශ්‍රයක් අනුගමනය නොකොට එහි මාර්ගෝපදේශ මූලධර්ම පිළිපැදිය යුතු වනවා. මෙම කවුන්සිලය සමඟ පවත්නා අපගේ අඛණ්ඩ සහයෝගය සහ සම්බන්ධතාව නොතකා, නිරන්තරයෙන් ව්‍යාප්ත වන බාහිරව මෙහෙයවන උපදෙස් කෙරෙහි අවධාරණය කිරීම මඟින් අභියෝග රැසකට මුහුණ දිය හැකියි.

මෙම කවුන්සිලය දන්නා පරිදි, මෙය පසුගිය වසර සියය තුළ දී එළැඹි මුළු ලෝකයම සඳහා තීරණාත්මක කාලයක්. කොවිඩ්-19 වසංගතය මැඬ පැවැත්වීමට හා බැට කෑ ආර්ථිකයන් පුනර්ජීවනය කිරීමට අප ගන්නා උත්සාහයන් තුළ දී අප එක්සත් විය යුතු වනවා. මෙම කවුන්සිලයේ සාමාජිකයන්ගෙන් මා ඉල්ලා සිටින්නේ අපගේ කුසලතාවන් හා අපගේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය හා සහයෝගීතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව එන ඕනෑම යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම තුළින් අපට සහාය වන ලෙසයි.

මෙම කවුන්සිලයේ සම්පත් හා කාලය අනවශ්‍ය ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කොතරම් දුරට උපයෝගී කරගෙන ඇත්දැයි යන්න, ගෝලීය දකුණේ ස්වෛරී රාජ්‍යයන් වෙත අධෛර්යමත් කරවන පණිවිඩයක් රැගෙන යන බවට අප විශ්වාස කරනවා.

පෙර නොවූ විරූ වසංගතයක් හමුවේ කාලීන අවශ්‍යතාව වන්නේ, මෙම කවුන්සිලය තුළ පවතින බෙදීම්වලින් පැන නඟින ද්වේශය හා සැරපරුෂ බවට වඩා සහයෝගීතාවයක්. ඉහත දක්වා ඇති තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, මෙම යෝජනාව සභාව විසින් ප්‍රතික්ෂේප කොට, එය අවසානයක් කරා ගෙන එන ලෙස අප ඉල්ලා සිටිනවා.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න