රාජ්‍ය - අර්ධ රාජ්‍ය - සංස්ථා - මණ්ඩලවල නොවිසඳුණු ගැටලු විසඳන්න සහාය වන්න | දිනමිණ

රාජ්‍ය - අර්ධ රාජ්‍ය - සංස්ථා - මණ්ඩලවල නොවිසඳුණු ගැටලු විසඳන්න සහාය වන්න

වෘත්තීය සමිති නියෝජිතයන්ට ජනපති කියයි

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සංස්ථා සහ මණ්ඩලවල දිඟු කලක් තිස්සේ නොවිසඳී, විශාල අවුලක් බවට පත්ව ඇති ගැටලු රැසක් තිබෙන බවත් එම ගැටලු විසඳා ගැනීම සඳහා රජයට සහය ලබාදෙන්නැයි වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

වැටුප්, උසස්වීම් විසමතා හා බඳවා ගැනීමේ පරිපාටියේ අවුල් ඉන් කිහිපයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සේවකයන් වෙනුවෙන් මේ ගැටලු විසඳීමට රජය කැප වී සිටින බව කීවේය.

ජනතාව වත්මන් ආණ්ඩුව බලයට පත් කළේ විශාල බලාපොරොත්තු ඇතිව බවත්, අප ජනතාවට දුන් පොරොන්දු එලෙසම ඉටු කිරීමට රජයට උදව් කරන ලෙසත් රාජපක්ෂ මහතා වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ කියා සිටියේය.

හිටපු ජනාධිපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කම්කරුවන් වෙනුවෙන් සටන් කරමින් ඉල්ලීම් ජය ගත් නායකයකු බව සඳහන් කළ ජනාධිපතිවරයා තම රජය අනුගමනය කරන්නේ ද එකී පිළිවෙතම බවත්, වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳීමට හැම විටම සූදානම් බවත් ප්‍රකාශ කළේය.

ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේ පෙරේදා (23) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත හමුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කළේය.

සම්මේලනයට අයත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, ප්‍රගතිශීලි රාජ්‍ය සේවක සම්මේලනය, වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය, පළාත් පාලන ප්‍රගතිශීලි සේවක සංගමය, ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතිය, ශ්‍රී ලංකා පොදුජන වතු සේවක සංගමය සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය යන වෘත්තීය සමිතිවල නියෝජිතයෝ හමුවට සහභාගී වූහ.

වත්මන් රජය බලයට පත් කිරීමට පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති කළ දායකත්වය අගය කළ ජනාධිපතිවරයා ජනතා අපේක්ෂා ඉටු කිරීමටනම් රාජ්‍ය සේවය ශක්තිමත්, කාර්යක්ෂම සහ ඵලදායී බවට පත් කළ යුතු යැයි කීවේය.

වෘත්තීය සමිතිවලට සවන්දීමටත් සමිති සමඟ සහයෝගයෙන් වැඩ කිරීමටත් රජය හැමවිටම සූදානම් බව කී හෙතෙම කොවිඩ් අර්බුදය දැන් සාමාන්‍ය වෙමින් තිබෙන බැවින් ඉදිරි කාලයේ දී මාස 3කට වරක් වෘත්තීය සමිති හමු වී සාකච්ඡා කිරීමට අදහස් කරන බවත් පැවසීය.

සෑම ආකාරයකම රාජ්‍ය ආයතන අරමුදල් සඳහා භාණ්ඩාගාරය මත යැපෙන තත්ත්වය නැති කොට කාර්යක්ෂම සහ ලාබදායී ආයතන බවට පත් කිරීමට උදව් වන්නැයි ජනාධිපතිවරයා සමිති නියෝජිතයන්ට අවධාරණය කළේය.

ශක්තිමත් කාර්මාන්ත පද්ධතියක් සමඟ ජනතා කේන්ද්‍රීය දේශීය ආර්ථිකයක් ගොඩනැගීමට දිගුකාලීන පියවර ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඇතැම් පිරිස් මේ යථාර්ථය විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි මත පතුරුවා හරින බව පැවසීය.

අප රට භාරගත්තේ මුහුණ දීමට සිදුවන අභියෝගයේ තරම නොදැන නොවේ. රට මත විශාල ණය බරක් පැට වී තිබුණා. ආර්ථිකය පැවතියේ ඉතා දුර්වල තැනකයි. නමුත් අභියෝගය ජය ගන්නේ කෙසේදැයි අපට දැක්මක් තිබුණා. කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය නිසා ඉදිරි ගමනට බාධක පැමිණියත් අප කැපී පෙනෙන ජයග්‍රහණ අත්කර ගත්තා. රටේ අපනයනය ආදායම් පූර්ව කොවිඩ් අවධියට යළි ඇවිත්. වසංගතය හමුවේ රජය අනුගමනය කළ පිළිවෙත නිසා කෘෂිකර්මාන්තය දියුණු වුණා මිස කඩා වැටුණේ නැහැ. රට තුළ වගා කළ හැකි සියලු දේ වගා කරන්න පටන් අරන්. දැන් එවැනි ක්‍රියාමාර්ගවල යහපත් ප්‍රතිඵල දකින්න පුළුවන් යැයි රජයේ ගමන් මඟ පැහැදිලි කරමින් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එසේ වුවද ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවති සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම පාහේ බිඳ වැටී තිබෙනවා. අප රටට සංචාරකයන් පැමිණෙන රටවල් බොහොමයක් තවමත් වසා ඇති බැවින්, සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වීමට තවත් කලක් ගතවිය හැකියි. තවත් බොහෝ ආදායම් මාර්ග ඇහිරී තිබෙනවා. එසේ වූවද රැකියා පෝලිමේ සිටි උපාධිධාරීන් 60,000කට රැකියා දීමට රජයට හැකි වුණා. දිළිඳුම පවුල්වලින් තෝරා ගන්නා ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා. දැනට 35,000ක් ඒ යටතේ බඳවා ගෙන තිබෙනවා. ඊළඟ අදියරේදී තවත් 35,000 බඳවා ගන්නවා යැයිද හෙතෙම කියා සිටියේය.

වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රාජපක්ෂ මහතා වෘත්තීය සමිති සමඟ සමඟියෙන් වැඩකරන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවත්, එහි යම් අඩුවක් තිබේ නම් ඉදිරි කාලයේ නිවැරදි කරන බවත් ප්‍රකාශ කළේය.

රාජ්‍ය ආයතන තුළ හා සේවාවන්හි වෘත්තීය සාමය ඇති කිරීමට රජය සමත් වූ බව කී ප්‍රගතිශීලි වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ලොකුගේ ඇමැතිවරයා, සෑම සංස්ථාවකටම කම්කරු අධ්‍යක්ෂවරයෙක් “Worker Director” පත් කරන්නැයි ජනාධිපතිවරයාට යෝජනා කළේය.

දින 180ක සේවා කාලය සම්පූර්ණ කළද තවමත් ස්ථීර පත්වීම් ලැබී නැති පිරිස්, පළාත් පාලන ආයතනවල සිටින බව වෘත්තීය සමිති නියෝජිතයෙක් සඳහන් කළ විට, පළාත් පාලන ආයතනවලට බරක් නොවන අයුරින් එවැනි සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

රාජ්‍ය ඇමැතිවරුන් වන දිලුම් අමුණුගම, කංචන විජේසේකර, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාගර කාරියවසම්, ජගත් කුමාර, ජයන්ත කැටගොඩ මහත්වරුන් ඇතුළු පිරිසක් මේ හමුවට එක්ව සිටියහ.

නුවන් කොඩිකාර

 

නව අදහස දක්වන්න