මම ශ්‍රී ලංකාවට අමුත්තෙක් නොවේ | දිනමිණ

මම ශ්‍රී ලංකාවට අමුත්තෙක් නොවේ

  • ලොව විශාලම බෞද්ධ උරුමයන් දැක බලා ගන්න පාකිස්තානයට එන්න
  •  අගමැති ඉම්රාන් ඛාන්ගෙන් බෞද්ධ ජනතාවට ආරාධනාවක්
  • පාකිස්තානය චීනයේ එක් තීරයක් එක් මාවතක්  වැඩසටහනේ සාමාජිකයෙක්
  • ත්‍රස්තවාදය වැනි අපගේ පොදු ප්‍රශ්න ගැන කතා කළා
  • මා ක්‍රිකට් පටන්ගත්තේ මහින්ද දේශපාලනයට පැමිණි කාලයේමයි
  • ශ්‍රී ලංකාව හැමවිටම පාකිස්තානයේ සමීපතම හා අව්‍යාජ මිතුරෙක්  අගමැති මහින්ද රාජපක්ෂ
  • පකිස්තාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් රාමුවේ ඇති අවස්ථා හඹා යෑමට අප එකඟ වුණා

ලොව විශාලම බෞද්ධ උරුමයන් දැක බලා ගැනීම සඳහා තම රටට පැමිණෙන්නැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට ආරාධනා කළේය.

තමා ශ්‍රී ලංකාවට අමුත්තකු නොවන බව පෙන්වා දෙන ඒ මහතා තමා මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණියේ විශ්වවිද්‍යාල දිවිය අවසන් කළ වහා බවද, අගමැති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන දිවිය ආරම්භ කිරීම සහ තමා ක්‍රිකට් දිවිය ආරම්භ කිරීම එකම කාලවකවානුවක සිදුව තිබෙන බවද සිහිපත් කරයි.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරය අතරතුර අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති ද්විපාර්ශ්වික නියෝජිත හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඉම්රාන් ඛාන් මහතා මෙසේ පැවසීය,

සංචාරය සඳහා මා හට සහ මාගේ නියෝජිත පිරිසට ආරාධනා කිරීම පිළිබඳ මා කෘතඥතාව පළ කර සිටිනවා. මා ශ්‍රී ලංකාවට අමුත්තක් නෙවෙයි. මා මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණියේ මගේ විශ්වවිද්‍යාල දිවිය අවසන් කළ වහාම යි. ඒ වකවානුවේ දී තමයි අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් දේශපාලන දිවිය ආරම්භ කළේ. ඒ කාලයේම තමයි මම ක්‍රිකට් දිවිය ආරම්භ කළේ. එතැන් සිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යහපත් මතකයන් රැසක් මට තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් වරම් නොලැබ සිටි යුගයේ සිට ලෝක කුසලානය දිනා ගැනීම දක්වා පැමිණි ගමන් මඟ දෙස අප බලා සිටියා. ඒ වගේමයි පාකිස්තානයේ දී ඔවුන් එම ලෝක කුසලානය දිනා ගැනීමත් අප දුටුවා. මෙම සංචාරය සිදුවන්නේ අප දෙරටේ ද්විපාර්ෂ්වික සබඳතා වර්ධනය කර ගැනීම මෙන්ම අපගේ වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීම සඳහායි.

පාකිස්තානය චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේ සාමාජිකයකු වෙනවා. එයින් අදහස් වන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයයි. ඒ හරහා ශ්‍රී ලංකාවට මධ්‍යම ආසියාව දක්වා සබඳතා වර්ධනය කරගත හැකි වනවා. ඒ වගේම වෙළෙඳ සබඳතා වර්ධනය කරගත හැකි තවත් මාර්ග පිළිබඳ අප සාකච්ඡා කළා. පාකිස්තානය සබඳතා හරහා ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබා ගත හැකි අවස්ථා පිළිබඳ අප සාකච්ඡා කළා.

ත්‍රස්තවාදය වැනි අපේ පොදු ප්‍රශ්න පිළිබඳ අප අදහස් හුවමාරු කරගත්තා. පාකිස්තානය වසර දහයක් තිස්සේ ලොව දරුණුම ත්‍රස්තවාදයකින් පීඩා විඳිනවා. ඒ නිසා ජීවිත 70,000ක් පමණ අහිමි වී තිබෙනවා. ශ්‍රී ලංකාවත් වසර තිහක් තිස්සේ ත්‍රස්තවාදය සමඟ සටන් කළ බව අප දන්නවා. යුද්ධය පවතින වසර 10 පුරා අප රටේ සංචාරක ව්‍යාපාර මුළුමනින්ම බිඳ වැටී තිබෙනවා. දැන් අප කොරෝනා නැමැති තවත් පොදු ගැටලුවකට මුහුණදෙමින් ඉන්නවා. ශ්‍රී ලංකාවත් අනිත් සියලු රටවල් වගේම මේ අර්බුදයෙන් දැඩි ලෙස බැට කන බව මා දන්නවා. මෙම ගැටලුවේ දී දියුණු රටවල් දියුණු වෙමින් පවතින රටවලට උපකාර කළ හැක්කේ කෙසේදැයි අප සාකච්ඡා කළා. මෙවැනි ගැටලුවකදී දුප්පත් රටවල් දැඩි ලෙස බැට කන බව දියුණු රටවල් අවබෝධ කරගත යුතුයි.

එක්සත් ජාතීන් වැනි ලෝක සංවිධාන පෙරට විත් දුප්පත් රටවල් පිළිබඳ සොයා බැලිය යුතුයි.

ලෝකයේ විශාලතම බෞද්ධ උරුමයන් දැක ගන්න එන්න කියා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කිරීමට මා කැමැතියි. ලොව මෙතෙක් හමු වූ විශාලතම සැතපෙන බුදු පිළිමය පාකිස්ථානයේ උතුරු පෙදෙසෙන් මෑතකදී සොයා ගත්තා. එය ගන්ධාර ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානයයි. එම නිසා ශ්‍රී ලාංකික ජනතාවටත් සංචාරය සඳහා පැමිණෙන ආරාධනා කරනවා.

ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා- ඉම්රාන් ඛාන් මහතා හා දූත පිරිස සුහඳ හා උණුසුම් ලෙස මම පිළිගන්නවා. පසුගිය වසරේ මහ මැතිවරණයෙන් පසු මම ශ්‍රී ලංකාවේ අගමැති ධූරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු විදේශ රාජ්‍ය නායකයා ඔබයි. මගේ ආරාධනය පිළි ගනිමින් කොවිඩ් 19 අවදානම ඇතුළු විශාල අභියෝග මධ්‍යයේ වූවද, ඉතා මිත්‍රශීලීව ශ්‍රී ලංකාවට පැමිණියා. ඔබගේ සංචාරය සංකේතවත් කරන්නේ ඔබ සහ ඔබේ රජය මගේ රටේ ජනතාව කෙරෙහි දක්වන දැඩි ආදරයයි. අර්බුදකාරී අවස්ථාවන්හි දී ඔබ ගත් තීරණාත්මක තීරණවලින් පැහැදිලි වන ඔබගේ ධෛර්යය සහ ශ්‍රේෂ්ඨ නායකත්වය මා අගය කරනවා. මෙම සංචාරය පවා දශක දෙකකට පෙර ඔබ අභියෝග හමුවේ පාකිස්තානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් ආකාරයේ නායකත්ව ගුණාංග පිළිඹිඹු කරනවා.

වසර ගණනාවක දේශපාලන ක්‍රියාකාරිත්වය තුළින් පොදු ජනතාව බලය ලබා දී ඔබව ඉහළට ඔසවා තැබූ ආකාරය මා නිරීක්ෂණය කළා. පීඩිතයන් සහ අගහිඟකම් ඇති අය කෙරෙහි ඔබ තුළ ඇති සැබෑ ආදරය එමඟින් පෙන්නුම් කරනවා. බිම් මට්ටමේ සහ අඩු වරප්‍රසාද සහිත ජනතාව සවිබල ගැන්වීම උදෙසා වූ ඔබේ ජනතා කේන්ද්‍රීය පාලනය අපගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා එකිනෙක බැඳී පවතිනවා. එළැඹෙන මැතිවරණය සාර්ථකත්වය වෙනුවෙන් ඔබටත් ඔබේ ආණ්ඩුවටත් මාගේ සුභාශිංසනය පිරිනමනවා. අපගේ රටවල් දෙක අතර පවතින්නේ ඓතිහාසික සබඳතාවක්. සංස්කෘතික හා ආගමික වශයෙන් බැඳුණු ඉතා ගැඹුරු ද්විපාර්ශ්වික සහයෝගීතාව සර්ව කාලීන මිත්‍රත්වයකට මඟපාදා තිබෙනවා.

අපගේ රටවල් දෙක අතර පවතින සබඳතාව මේ වනවිට බොහෝ ක්ෂේත්‍ර දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. නමුත් අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා අප විශාල පරිශ්‍රමයක් දැරිය යුතු වනවා. ආයෝජන සහ වාණිජ හවුල්කාරීත්වය සහිත ශක්තිමත් ව්‍යාපාරික දූත පිරිසක් සමඟ මෙහි පැමිණීම ගැන මා අගමැතිවරයාට ස්තූතිවන්ත වනවා. ආර්ථික අවිනිශ්චිතතාවයක දී පෞද්ගලික අංශයේ ආයෝජන අපගේ ආර්ථිකයන්ට බොහෝ ප්‍රයෝජනවත්.

2017 දී මෙන්ම ඊට පෙර ජනාධිපතිවරයා ලෙස පාකිස්තානයේ මා කළ නිල සංචාරය මේ අවස්ථාවේදීත් සතුටින් සිහිපත් කරනවා. එම සංචාර දෙකම ඉතා ඵලදායී හා අමතක නොවන සංචාරයන්ය. පාකිස්තානයේ මිත්‍රශීලී ජනතාව මට සහ මගේ දූත පිරිසට දුන් ආගන්තුක සත්කාරය සහ උණුසුම් පිළිගැනීම මගේ සිතට තදින්ම කා වැදුණා. පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ එතුමාගේ ඉහළ පෙළේ නියෝජිත පිරිස පිළි ගැනීමට ලැබීම පිළිබඳ මා මහත් සතුටට පත් වනවා. ඔබ ශ්‍රී ලංකා ජනතාවට අමුත්තකු නොවේ. පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රිකට් පිටියේ ඔබගේ නායකත්වය අගය කළ මිලියන සංඛ්‍යාත පිරිසක් මේ රටේ සිටිනවා.

ඔබගේ රට දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවකු වන අතර, ශ්‍රී ලංකාව හැමවිටම පාකිස්තානය සමීප හා අව්‍යාජ මිතුරෙකු ලෙස සලකනවා. අපේ ජනතාව ද පාකිස්තානය ඉතා ඉහළින් අගය කරනවා.

පාකිස්තානය අත්‍යවශ්‍ය අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට සහය දැක්වූ සමීප මිතුරක්. මගේ ජනාධිපති ධූර කාලය තුළ දී භයානක ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සටන් වැදීමට අපට සිදු වුණා. 2009 මැයි මාසයේ දී එම ත්‍රස්තවාදී සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට පාකිස්තානයෙන් ලද සහයෝගයට අප කෘතඥ වනවා. අද සවස පැවැති අපගේ ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුර, අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ මා දෙරට අතර ආර්ථික, වෙළෙඳ, ආයෝජන, විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ඉතා සමීප සහයෝගීතාවෙන් කටයුතු කිරීමට ගිවිස ගත්තා.

පකිස්තාන-ශ්‍රී ලංකා නිදහස් වෙ‍ෙළඳ ගිවිසුම් රාමුව තුළ ඉදිරිපත්ව ඇති අවස්ථාවන් හඹා යාමට අප එකඟ වූණා. අපගේ සාකච්ඡාවේ දී කොවිඩ් වසංගතය ඇතුළු කලාපීය හා ජාත්‍යන්තර ගැටලු පිළිබඳ ද අවධානය යොමු වුණා. දෙරට අතර සංචාරක හා ගුවන් සේවා අංශවල ක්‍රියාකාරකම් ඉහළ දැමීමට ද අප එකඟ වූණා. පාකිස්තානයේ පුරාණ බෞද්ධ උරුමයන් නැරඹීම වන්දනා මාන කිරීමට ශ්‍රී ලාංකේයන් සඳහා මඟවිවර කරදීම පිළිබඳ පාකිස්තාන රජයට අපගේ කෘතඥතාව පළ කරනවා. අප ගත් තවත් වැදගත් තීරණයක් නම් පාකිස්තාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම් ඔස්සේ පාර්ලිමේන්තු අන්තර් ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමයි.

දකුණු ආසියාවේ තිරසාර සංවර්ධනය, ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය ළඟා කර ගැනීම උදෙසා දේශපාලන ස්ථාවරත්වය සහ කලාපීය සාමය ප්‍රධාන වශයෙන් වැදගත්වන බව ශ්‍රී ලංකාවේ විශ්වාසයයි. අපගේ සංවර්ධන න්‍යාය පත්‍රයේ වැදගත් කොටසක් වන දරිද්‍රතාව සහ සමාජ ආර්ථික විෂමතාව සමනය කිරීම සඳහා අගමැති ඉම්රාන් ඛාන් මහතා දරණ උත්සාහය මා ඉතා අගය කොට සළකනවා. ත්‍රස්තවාදය, ආගමික මූලධර්මවාදය සහ අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා අප අඛණ්ඩව එක්ව කටයුතු කරනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම, ආයුධ ජාවාරම සහ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඬපැවැත්වීම සඳහා අදාළ නියෝජිත ආයතන ඔස්සේ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා වර්තමාන යාන්ත්‍රණය සමඟ ඉදිරියට යාමට අපගේ සාකච්ඡාවල දී අප එකඟ වූණා.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ රටේ ක්‍රිඩා පුහුණු පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා සහාය වීම පිළිබඳ අප පාකිස්තානයට ස්තූතිවන්ත වනවා. පාකිස්තානයේ ඉහළ පෙළේ බහු-විධ ව්‍යාපාරික දූත පිරිසක් සමඟ හෙට දිනයේ අගමැති ඉම්රාන් ඛාන් මහතා ව්‍යාපාර හා ආයෝජන සමුළුවක මුලසුන හොබවනවා. ශ්‍රී ලංකාව සමඟ ඇති කරගන්නා මෙම සෘජු වෙළෙඳ සබඳතා ඔස්සේ දෙරට අතර ආයෝජන අවස්ථා සහ වෙළෙඳාම් කටයුතුවල සැලකිය යුතු වර්ධනයක් ඇතිවනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදීම පිළිබඳ ඉම්රාන් ඛාන් මහතාට සහ පකිස්තාන දූත පිරිසට ස්තූතිවන්ත වන අතරම, ඔබගේ පැමිණීම ශ්‍රී ලංකාවට ගෞරවයක් බව සඳහන් කරනවා

මෙම අවස්ථාවට විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන, වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන, සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග, අධිකරණ ඇමැති අලි සබ්රි, කලාපීය සහයෝගිතා රාජ්‍ය ඇමැති තාරක බාලසුරිය, අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ, තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති සහ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ, මුදල් හා ප්‍රාග්ධන වෙ‍ෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්, අගමැති ලේකම් ගාමිණී සෙනරත්, විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහත්වරු එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න