ශ්‍රී ලංකාව පුහුණු ශ්‍රමය සැපයීමේ කේන්ද්‍රස්ථානය කළ යුතුයි රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් | දිනමිණ

ශ්‍රී ලංකාව පුහුණු ශ්‍රමය සැපයීමේ කේන්ද්‍රස්ථානය කළ යුතුයි රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්

නව ලොවට ගැළපෙන, කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයේ, පුහුණු ශ්‍රමය සැපයීමේ කේන්ද්‍රය බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා අවශ්‍ය පසුබිම ආරම්භ කළ යුතු බව මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා පැවැසීය.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, කාර්මික වෘත්තීය පුහුණුව සහිත සමාජයක් නිර්මාණය කිරීම තුළින් විදේශ විනිමය ඉපයීම අවස්ථාව උදා වන බවයි.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේ පෙරේදා (23) කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති, බර වාහන යන්ත්‍රෝපකරණ පුහුණුව අවසන් කළ මහවැලි කලාපවල තරුණයන් සඳහා ජාතික වෘත්තීය පුහුණු සහතිකය ප්‍රදානය කිරීම සඳහා පැවති උත්සවයේ දී ය.

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම, සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ දී , මහවැලි කලාප දහයට අයත් පුහුණුලාභීන් 50 දෙනකුට බර වාහන යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ NVQ හෙවත් ජාතික වෘත්තීය පුහුණු සහතිකය පිරිනමන ලදි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා මග නැගුම ආයතනය ඒකාබද්ධව මෙම බර යන්ත්‍රෝපකරණ පුහුණු පාඨමාලාව පවත්වනු ලැබීය.

මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා කියා සිටියේ, රැකියා වියුක්තිය හමුවේ විකල්ප ක්‍රමවේදයන්ට අවතීර්ණ වීම කාලීන අවශ්‍යතාවක් බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිපාල ගම්ලත් මහතා,

"දේශපාලනඥයන් විදිහට අපි ගමට ගියාම තියෙන ප්‍රධාන ඉල්ලීම තමයි රැකියා අවශ්‍යයි කියන එක. නමුත් බොහෝ දෙනෙකුට අවශ්‍ය සුදුසුකම් නැහැ. ආර්ථික ප්‍රශ්න නිසා පාසල් අධ්‍යාපනය හැර යන පිරිස වෘත්තීය පුහුණුව සඳහා යොමුකරවන වැඩපිළිවෙළ ශක්තිමත් කළ යුතුයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිරන්තරයෙන් පෙන්වා දෙන්නේ සතුටින් ඉන්න පවුලක් ගොඩනැඟීමයි. රට හදන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ පැහැදිලිව ම, දක්වා තිබෙනවා රට පුරා කාර්මික හා තාක්ෂණික වෘත්තීය පුහුණුව සඳහා තිබෙන ඉඩ ප්‍රස්ථාව වර්ධනය කරන බව. එම ඉලක්කය සඳහා අප ගමන් කළ යුතුයි.

මහවැලි කලාපවල දක්ෂ දරුවො සිටිනවා. ඔවුන්ගේ ශ්‍රමය අපතේ යාම විශාල ඛේදවාචකයක්. ඔවුන්ට ස්වාධීනව ආර්ථික ය, ගොඩනඟා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රවේශය දීම ආණ්ඩුවක් ලෙස අපගේ වගකීමක්. වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා ගේ මගපෙන්වීම යටතේ මහවැලි කලාපවල ජනතාව ගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පරිණත, අත්දැකීම් සහිත දේශපාලනඥයෙක් ලෙස මහවැලි කලාපවල ජනතාව ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම කෙරෙහි පුළුල් සංවේදීභාවයකින් කටයුතු කිරීම විශාල සතුටක්." යැයිද සිරිපාල ගම්ලත් මහතා සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු ඩබ්ලිව්. බී. පළුගස්වැව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී. කොටගම, මහවැලි අධිකාරියේ ආයතන සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර අබේගුණවර්ධන යන මහත්වරු සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මෙන්ම මග නැගුම ආයතනයේ නිලධාරීහු ද සහභාගී වී සිටියහ.

නව අදහස දක්වන්න