ශ්‍රී ලංකාවේ සහායට රටවල් 18ක් | දිනමිණ

ශ්‍රී ලංකාවේ සහායට රටවල් 18ක්

ජිනීවා මානව හිමිකම් යෝජනා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන ඕනෑම යෝජනාවකට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය දෙන බවට එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් 18ක් සහතික වෙයි.

එම රටවල් අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් ද වන අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් දැනුම්වත් කිරීම වෙනුවෙන් දැනටමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ රටවල් ශ්‍රී ලංකාව වෙනුවෙන් සහාය දීමට ඉදිරිපත්ව සිටින අතර යුද සමයේදී සිදුවූවා යැයි පවසන මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් සම අනුග්‍රහය දැක්වූ රටවල් 06ක් සකස් කළ විශේෂ යෝජනාවලියක්ද මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වැනි සැසිවාරයට භාර දීමට නියමිත බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පත් කර ඇති මධ්‍ය කණ්ඩායමට අයත් එම රටවල් වන්නේ එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි රාජ්‍යයයි.

කොවිඩ් 19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් අනිවාර්යෙන් ආදාහනය කිරීමේ මෙරට ප්‍රතිපත්තිය, එම රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට සූදානම් වන යෝජනා අතර ප්‍රමුඛ වන බව වාර්තා වෙයි.

මීට අමතරව ශ්‍රී ලංකාව තුළ කළ සියලු මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පුළුල් වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය අධ්‍යයනය කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක වැදගත්කම මෙන්ම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුකුලව පළාත් සභා ක්‍රමය තව දුරටත් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීමද සෙසු යෝජනා අතරට අයත් බව විදේශ අමාත්‍යාංශය පවසයි.

කෙසේ වුවද එම රටවල් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන යෝජනාවලිය පසුගිය 2015 වසරේදී ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහකත්වය සහිතව ඉදිරිපත් කළ යෝජනාවට බෙහෙවින් සමාන එකක් යැයි වාර්තා වන අතර එම යෝජනාවලියේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බවද ශ්‍රී ලංකාව දැනටමත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

මහින්ද අලුත්ගෙදර

 

නව අදහස දක්වන්න