ඩෙල්ෆ් විදුලි බලාගාර කොන්ත්‍රාත්තුව මෙතෙක් දී නෑ | දිනමිණ

ඩෙල්ෆ් විදුලි බලාගාර කොන්ත්‍රාත්තුව මෙතෙක් දී නෑ

යාපනයේ ඩෙල්ෆ් දූපත්වල ඉදිකෙරෙන විදුලි බලාගාර සම්බන්ධ කොන්ත්‍රාත්තුව මෙතෙක් දී නොමැති බව විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.

මෙහිදී දූපත් බදු දීමක් නොවන බව ස්ථිර වශයෙන්ම සඳහන් කළ හැකි බවද ඇමැතිවරයා සඳහන් කළ අතර රටේ න්‍යාය පත්‍රය වෙනත් කිසිදු රටකට යට නොකරන බව සඳහන් කළේය.

සුළඟින් සහ සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරන මෙරට ප්‍රථම දෙමුහුන් විදුලි බලාගාරය යාපනය දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට අවශ්‍ය කටයුතු කරමින් තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

දීර්ඝ කාලයක් තිස්සේ විදුලිය නොමැතිව සිටි යාපනයේ දූපත් ප්‍රදේශවල ජනතාවට විදුලිය දීම ජාතික අවශ්‍යතාවක් බව සඳහන් කළ ඇමැතිවරයා ආසියානු සංවර්ධන බැංකුව මේ සඳහා මැදිහත් වී ඇති අතර ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියකට අනුව මේ ටෙන්ඩර් කැඳවීම් කර ඇති බවද සඳහන් කළේය. පළමු ටෙන්ඩර් කැඳවීම අසාර්ථක වූ බැවින් නැවතත් එම ටෙන්ඩර් කැඳවීම් කළ අතර චීනය සහ ඉන්දියාව ඒ සඳහා ඉදිරිපත් වූ බවද අනාවරණය කළේය. එමෙන්ම මේ වෙනුවෙන් අඩුම ලන්සු තැබීම කර ඇත්තේ චීනය බවත් ඇමැතිවරයා සඳහන් කළ අතර එහෙත් මේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මෙතෙක් ලැබී නොමැති බවද ඇමැතිවරයා අවධාරණය කළේය. ඩෙල්ෆ්ට් දූපත් ආශ්‍රිතව ගොඩනැඟීමට නියමිත මේ නව දෙමුහුන් විදුලි බලාගාරය පිළිබඳ කරුණ ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති අතර, දූපත් තුනක් බදු දීමට නියමිත බවට ඇතැම් මාධ්‍ය කරන වාර්තා මුළුමනින්ම අසත්‍ය බවද ඇමැතිවරයා කීය. මේ දූපත් තුන සඳහා ඉතිහාසය පුරාවටම විදුලිය සපයන්නේ ඩීසල් ජෙනරේටර්වලින් බවත්, එබැවින් මෙරට සහෝදර ජනතාවට අඛණ්ඩව විදුලිය දීම ජාතික අවශ්‍යතාවක් බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න