ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවබෝධතා ගිවිසුම් 5ක් | දිනමිණ

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවබෝධතා ගිවිසුම් 5ක්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින මිතුදම වඩාත් ශක්තිමත් කරමින් දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තබයි.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට පෙරේදා (23) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අත්සන් තැබිණි.

ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ සහ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහත්වරුන් ප්‍රමුඛ දෙරටේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අත්සන් කළ ද්විපාර්ශ්වික ගිවිසුම් පහකට අත්සන් කර තිබෙන අතර සංචාරක සහයෝගීතාව පිළිබඳ පාකිස්තාන ඉස්ලාමීය ජනරජය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජය අතර අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආයෝජන මණ්ඩලය සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආයෝජන මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම ඊට අයත් වෙයි.

ඊට අමතරව කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද්හි කොම්සැට්ස් (COMSATS) විශ්වවිද්‍යාලය අතර සහයෝගිතාව සහ කොළඹ විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමටද දෙරට අතර අත්සන් තැබිණි.

මහින්ද අලුත්ගෙදර

 

නව අදහස දක්වන්න