පන් දහසක් භික්ෂුන්ට ඉගැන්වූ අභයගිරි මහා විහාරය | දිනමිණ

පන් දහසක් භික්ෂුන්ට ඉගැන්වූ අභයගිරි මහා විහාරය

 

අනුරාධපුර නගරයේ පිහිටි අභයගිරි විහාරය අක්කර 500 (හෙක්ටයාර් 200 ක) භූමියක ව්‍යාප්තව පවතී. මෙම විහාරය මූලාශ්‍රවල සඳහන් වන්නේ උත්තර විහාර, අභය උත්තර විහාරය, අභයතුර විහාර, බාගිරි වෙහෙර යන නම්වලිනි. මෙහි ඉතිහාසය වළගම්බා රාජ්‍ය සමය (ක්‍රි.පූ.103/ 89-77) තෙක් දිව යන අතර මෙය ක්‍රි.පූ. 89 දී පමණ ඉදි වූ බව පෙනේ. ඒ අනුව වලගම්බා රජු පලා යන විට රජුට අපහාස කළ ගිරි නිගණ්ඨයා පළවා හැර ඔහුගේ නාමයට හා රජුගේ අභය නාමය එකතු කොට මෙම විහාරයට නම් තැබූ බව මහා වංශයේ සඳහන් වේ.

වෙනම නිකායක් වශයෙන් සංවිධානය වන අභයගිරිය, මහා විහාරයට වඩා අන්තර්ජාතික ආගමික ආයතන සමඟ සබඳතා පැවැත් වූ බව සඳහන් වේ. එහිදී ධර්මරුචි නිකාය, වෛතුල්‍යවාදී නිකාය, වාජිරියවාදී නිකාය වැනි විවිධ නිකාය සම්ප්‍රදායන්වලට විවෘත මධ්‍යස්ථානයක් වශයෙන් ද ක්‍රියාත්මක වී ඇත. ගෝඨාභය රාජ්‍ය (ක්‍රි.ව. 249-262) කාලයේ දී මහායානවාදය මුල්කරගත් මධ්‍යස්ථානයක් වශයෙන් අභයගිරිය වර්ධනය වී ඇත.

මෙම විහාරයේ සංවර්ධිතම අවධිය මහසෙන් රාජ්‍ය (ක්‍රි.ව. 274-301) කාලයයි. එම රාජ්‍ය සමයේ මහා විහාරය බිඳ දමමින් අභයගිරිය ගොඩ නංවන ආකාරයක් දැකිය හැකිය. සිරිමේඝවණ්ණ (ක්‍රි.ව. 301-328) රාජ්‍ය සමයේ වැඩම වූ දළදා වහන්සේගේ භාරකාරිත්වයත් මෙම විහාරයට හිමි වී ඇත. අනතුරුව 11 වැනි සියවසේ චෝල ආක්‍රමණය සමඟ අභයගිරි විහාරය බිඳ වැටෙන අතර නැවත පළමුවන විජයබා රාජ්‍ය සමයේදී ප්‍රතිසංස්කරණය කර ඇත.

අනතුරුව මහා පරාක්‍රමබාහු යුගයේ ස්තූපය විශාල කොට ඉදිකර ඇත. එයින් පසු රජරට සභ්‍යත්වයේ පරිහානියත් සමඟ මෙම විහාරය ද ජරාවාස වී ඇත. නමුත් මෙම විහාර සම්ප්‍රදායට අයත් උත්තරමූල පාර්ශ්වය 16 වැනි සියවස වන විටත් ක්‍රියාත්මක වූ බව හඳුනාගත හැකිය. නැවත කි.ව. 1911 දී බ්‍රිතාන්‍ය පාලන අවධියේදී මෙම ස්තූපය කෙරෙහි අවධානය යොමුවන අතර මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ස්තූපය හා විහාර සංකීර්ණය ප්‍රතිසංස්කරණය කර ඇත.

2014 වර්ෂයේදී ස්තූපයේ සංරක්ෂණ කටයුතු නිමා කෙරිණි. මෙම විහාර සංකීර්ණයේ ඇති වැදගත්ම අංගය වන්නේ අභයගිරි ස්තූපය වන අතර මෙය ලක්දිව උසම ස්තූප අතරින් දෙවැනි ස්ථානය ගනී. ඒ අනුව මෙහි සාමාන්‍ය උස මීටර් 75 ක් වන අතර විශ්කම්භය මීටර් 120 ක් පමණ වේ. ස්තූපයට හා සලපතල මළුවට අක්කර 14 භූමියක් යටවී පවතී.

ස්තූපයට අමතරව වැදගත් පුරාවිද්‍යා ස්මාරක අතර සමාධි පිළිමය, රත්න ප්‍රාසාදය, කුට්ටම් පොකුණ, ලංකාරාමය, දෙවැනි සමාධිය, මහාපාලි දාන ශාලාව, පළමු බෝධිඝරය, ඇත් පොකුණ, අශෝකාරාමය, නඛා වෙහෙර, දළදා මාලිගය ආදී ස්මාරක රැසක් විහිදී පවතී. පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව ඇතැම් විට අභයගිරි සංකීර්ණය මහා විහාරයටත් වඩා සමෘද්ධිමත්ව පැවැති බව ගම්‍ය වේ.

මෙම විහාරය සම්බන්ධයෙන් හැදෑරීමට ඇති වැදගත්ම මූලාශ්‍රය වශයෙන් ෆාහියන් වාර්තාවයි. ක්‍රි.ව. 411-412 අතර කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණි අනුරාධපුර අභයගිරි විහාරයේ වසර දෙකක් වැඩ සිටි චීන ජාතික ෆාහියන් හිමියන් පෙරළා චීනයට යාමෙන් පසුව උන්වහන්සේ විසින් රචිත දේශාටන වාර්තාව තුළින් අභයගිරි විහාරයේ සමෘද්ධිය, අධ්‍යාපන තත්ත්වය, ආගමික කටයුතු වැනි වැදගත් තොරතුරු රැසක් අධ්‍යයනය කළ හැකිය. එමඟින් මෙම විහාරය ක්‍රි.ව. 05 වන සියවසේ ලබා තිබූ දියුණුව මනාව පෙන්නුම් කෙරේ.

මෙම වාර්තාව මඟින් අභයගිරිය හා රාජ්‍යත්වය අතර පැවැති අන්තර් සබඳතා සම්බන්ධයෙන් කරුණු ගෙනහැර දක්වා තිබේ. ෆාහියන් හිමියන් පැමිණීමට පෙර අවධීන්වල රාජ්‍යත්වය හා අභයගිරිය අතර පැවති අන්තර් සම්බන්ධය පිළිබඳව ගෙනහැර දක්වන වැදගත්ම කරුණ වන්නේ අභයගිරියේ වූ ප්‍රධාන බෝධි වෘක්ෂය සම්බන්ධයෙන් දක්වන සඳහනය. එහි මෙසේ සඳහන්ය.

“මේ රටේ පෙර සිටි රජෙක් මධ්‍යම රාජධානියට දූතයකු යවා පත්‍ර බෝධි වෘක්ෂයෙන් බීජයක් ගෙන්වා ගෙන මේ ප්‍රතිමා මන්දිරය සමීපයෙහි රෝපණය කරවූයේය. එයින් නැඟි බෝධි වෘක්ෂය අඩි දෙසිය ගණනක් උසට වැඩුණේය. මේ බෝරුක ගිනිකොණ දෙසට ඇල වූ හෙයින් එය ඉදිරී වැටිය හැකියැයි බිය වූ රජතුමා එයට ආධාරකයක් වශයෙන් විශාල ස්තම්භයක් පිහිටුවීය....”

ඒ අනුව රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉන්දියාවට දූතයන් යවා ජය ශ්‍රී මහා බෝධියෙන් ගෙන්වා ගත් ‍බෝ ඇටයකින් ඇති වූ බෝ පැළයක් අභයගිරි විහාරයේ රෝපණය කරන ලද බව එම සඳහනෙහි ‍කියවේ. එමෙන්ම එම බෝධියේ ආරක්ෂාව සඳහා පසුකාලීන රජකු විසින් ඉදිකරන ලද ආධාරක ස්ථම්භයක් සම්බන්ධයෙන් ද තොරතුරු ද හඳුනාගත හැකිය.

ඇතැම් විද්වතුන් පෙන්වා දෙන ලද්දේ ෆාහියන් හිමි වාර්තා කරන මෙම බෝධි වෘක්ෂය සුප්‍රකට මහා විහාරයේ පිහිටි බෝධි වෘක්ෂය බවයි. ඒ සඳහා ඔවුන් සාධක වශයෙන් උපයෝගී කර ගත්තේ මහාවංශයේ සඳහන් ආකාරයට ඉන්දියාවෙන් ගෙන්වන ලද බෝධි වෘක්ෂය එය වීමත්, දැනට අනුරාධපුර නගරයේ වූ පැරණි විහාරාරාමවල වූ බෝධි වෘක්ෂයන්ගනේ ශේෂව පවතින එකම බෝධි වෘක්ෂය එය වීමත්ය. නමුත් ඉතිහාසඥයින් බහුතරයකගේ මතය වූයේ එම බෝධි වෘක්ෂය පිහිටිය යුත්තේ ෆාහියන් හිමි වැඩ විසූ බවට සැලකෙන අභයගිරි විහාර සංකීර්ණයේ බවයි.

ඒ අනුව සේවා සම්මානිත මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා එම බෝධි වෘක්ෂය පිහිටි ස්ථානය පවා නිවැරදිව දක්වා ඇති ආකාරය හඳුනාගත හැකිය. ඒ අනුව දැනට අභයගිරි විහාර සංකීර්ණය තුළ බෝධිඝර 05 ක නටබුන් හඳුනාගෙන ඇත. මෙම බෝධිඝර 05 න් ෆාහියන් හිමි පවසන්නේ සුප්‍රකට සමාධි බුද්ධ ප්‍රතිමාව අසල බෝධිඝරය බව ඇතැම් විද්වතුන්ගේ මතය වූවත් එම මතය ප්‍රතික්ෂේප කරමින් කුලතුංග මහතා පෙන්වා දෙනුයේ එම බෝධිය පිහිටියේ ආසනඝරය වශයෙන් වරදවා වටහාගෙන ඇති පළමු බෝධිඝරය වශයෙන් වර්තමානයේ හඳුන්වන ස්ථානයේ බවයි.

ෆාහියන් වාර්තාවේ එන සඳහන් පුරාවිද්‍යාත්මක වශයෙන් සනාථ කරමින් ෆාහියන් පවසන බෝධිය පිහිටියේ එම ස්ථානයේ බව පෙන්වා දෙයි. එමෙන්ම පුරාවිද්‍යාත්මක සාධක අනුව අභයගිරියේ පැරණිතම හා වැදගත්ම බෝධීන් වහන්සේ පිහිටියේ එම ස්ථානයේ බව ඔහු පෙන්වා දී ඇත.

ෆාහියන් හිමි මෙම බෝධීන් වහන්සේ සම්බන්ධයෙන් ගෙනහැර දක්වන කරුණු මඟින් දේශපාලන ඉතිහාසය හැදෑරීමට ඇති වැදගත්කම පිළිබඳව විමසීමේදී එම බෝධි අංකුරය ගෙන ඒම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව හඳුනාගත හැකිය. මෙලෙස බෝධි අංකුරයක් ගෙන ඒමෙන් මහා විහාරය ලබා තිබූ ජනප්‍රසාදය තම විහාරය වෙත යොමුකර ගැනීමට අභයගිරි විහාරය අපේක්ෂා කළ බව පෙනේ. ඒ අනුව මහා විහාරයේ වූ ප්‍රධාන බෝධිය ඉන්දියාවේ මහා බෝධියේ දකුණු ශාඛාව වශයෙන් ජනතාව අතර තිබූ පිළිගැනීම නිසා එම විහාරයට ජනතාවගේ මෙන්ම රාජ්‍ය අනුග්‍රහයද වැඩි වශයෙන් යොමුවීමට හේතු විය.

එබැවින් අභයගිරිවාසීන් රාජ්‍ය අනුග්‍රහය ද සහිතව ඉන්දියා‍වේ මහා බෝධියේ අංකුරයක් හෝ බීජයක් ගෙන්වා තම විහාරයේ රෝපණය කිරීම තුළින් ජනප්‍රසාදය තම විහාරයට ලබා ගැනීමට උත්සුක වූ බව සිතිය හැකිය. මෙය තවදුරටත් තහවුරු වන්නේ ෆාහියන් වාර්තාවේම අභයගිරි ස්තූපය පිහිටියේ බුද්ධ ශ්‍රී පතුල පිහිටි ස්ථානයක බව දැක්වීමත් හා රුවන්වැලි සෑයට වඩා විශාලව අභයගිරි ස්තූපය ඉදිකිරීම තුළින් මහා විහාරයේ ප්‍රධාන ස්තූපය වූ රුවන්වැලි සෑයට අභියෝග කිරීමට බලාපොරොත්තු වූ බව සිතිය හැකිය.

මහා විහාරයේ උ‍‍පෝසථාගාරය ලෝහ ප්‍රාසාදය වන විට අභයගිරියේ උපෝසථාගාරය රත්න ප්‍රාසාදය වීමෙන් ද එය තහවුරු වේ. එමෙන්ම මහා විහාරයේ ථූපාරාමයට අභියෝග කිරීමට වටදාගෙයක් ද සහිතව මණිථූපාරාමය (මණිසෝමාරාමය, ශිලාසොබ්බකණ්ඨක, ලංකාරාමය) ඉදිකර ඇත. ඒ අනුව මහා විහාරය අභිභවා ඒමට අභයගිරි විහාරයට අවශ්‍යතාවයක් පැවැති අතර ඒ සඳහා ඔවුන් රාජ්‍ය අනුග්‍රහය ද ලබා ගත් බව පෙනේ. නමුත් මහාවිහාරික භික්ෂුවක් විසින් රචිත ලාංකේය වංශ කතාව වන මහා වංශයේ එම විහාරයට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය සම්බන්ධයෙන් සඳහනක් කර ඇත්තේ අල්ප වශයෙනි.

නමුත් පුරාවිද්‍යාත්මක නටබුන් හා සෙල්ලිපි මඟින් ඇතැම් විට මහා විහාරයටත් වඩා රාජ්‍ය අනුග්‍රහයක් අභයගිරි විහාරයට හිමි වූ බව පෙනී යයි. එහිදී ෆාහියන් හිමි දක්වන බෝධිය ගෙන ඒම සඳහා ලද රාජ්‍ය අනුග්‍රහය සම්බන්ධ කරුණ ඉතාමත් වැදගත්ය. නමුත් මෙහි එම කාර්ය සඳහා කටයුතු කරන ලද රජුගේ නාමය සඳහන් නොවීම අඩුපාඩුවක් වශයෙන් පෙන්වා දිය හැකිය.

එමෙන්ම ෆාහියන් හිමි පවසන ආකාරයට රාජ්‍ය අනුග්‍රහය යටතේ අභයගිරියේ භික්ෂූන් වහන්සේලා 5000 ක් වැඩ සිටි බව දක්වයි. මෙම සංඛ්‍යාව අතිශයෝක්තියක් නොවන බව පුරාවිද්‍යාත්මක සාධක අනුව තහවුරු වී ඇත. ඒ අනුව අභයගිරිය දාන ශාලාවේ ඇති බත් දැමීම සඳහා භාවිතා කළ බවට සලකන ගල්ඔරුව සම්බන්ධයෙන් ආචාර්ය රෝලන්ඩ් සිල්වා අධ්‍යයනයක් සිදුකර ඇත. එම පර්යේෂණයට අනුව එම ගල් ඔරුවේ ධාරිතාවය දළ වශයෙන් ඝන අඟල් 481,000 ක් පමණ වූ බව දක්වා ඇත. ඒ අනුව පුරාණයේ භික්ෂුන් භාවිතා කළ පාත්‍රවලට වැලි පුරවා මෙම ඔරුවට දමා ඇත. එහිදී එබඳු පාත්‍ර 5800 ක ප්‍රමාණයක් ඊට දැමිය හැකි බව හෙළි වී ඇත. එමඟින් මෙම දාන ශාලාව මඟින් භික්ෂුන් 5800 ක ප්‍රමාණයකට දෛනිකව දානය සැපයූ බව ඔහු විසින් පෙන්වා දී ඇත. ඒ අනුව පෙනී යන්නේ අභයගිරිය සංඝාරාමය ඉතා ධනවත් ආයතනයක් වූ බවයි.

එමෙන්ම අනිකුත් ලාංකේය මූලාශ්‍රවලින් හමු නොවන අභයගිරිය විහාරය හා ලාංකේය සමාජය අතර පැවති අන්තර් සබඳතාවය පිළිබඳව හෙළිවන කරුණු අතිශයෙන් වැදගත්ය. එහිදී ඉතා වැදගත් අවස්ථාවක් වශයෙන් දළදා පෙරහර හා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන තොරතුරු පෙන්වා දිය හැකිය. එහිදී දළදා පූජෝත්සවය ආරම්භ වන්නේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව බව වාර්තාවේ සඳහන් වේ.

....සිරිත් පරිදි දන්ත ධාතු ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ තුන්වන මස මැදදීය. ප්‍රදර්ශනය ආරම්භ කිරීමට දින 10 කට කලින් රජතුමා විසින් හස්තියකු හස්ත්‍යාභරණයෙන් සරසවා ඌ මතුයෙහි රාජකීය සළු - පිළියෙන් සැරසුණු ව්‍යක්ත කථිකයකු නංවයි. ඉක්බිති, ඔහුට බෙරයක් වයා, (සෙනඟ රැස් වූ කල්හි) පහත සඳහන් ප්‍රකාශය කරන ලෙස අණ කරයි...” යන ප්‍රකාශයෙන් එය මනාව ගම්‍ය වේ.

එහෙත් මහා වංශය ථේරවාදී මහා විහාර සම්ප්‍රදාය මුල්කරගෙන රචිත කෘතියක් වූ හෙයින් එදා දළදා පූ‍ජෝපහාරය සම්බන්ධයෙන් එතරම් විස්තරයක් නොකරයි. සිරිමේඝවණ්ණ රජු විසින් දළදා පූජෝපහාරය පැවැත්වීමට රාජ නියෝගයක් පැන වූ බව මහාවංශයම සඳහන් කරයි. එම සිරිමේඝවණ්ණ රජුගේ රාජ්‍ය ස‍මයෙන් දළදාව ගෙනැවිත් (ක්‍රි.ව.310) සියවසකට පසුව පැමිණි (වසර 101 ට පසුව) ෆාහියන් හිමි පූජෝපහාරය රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත් වූ ආකාරය සිය වාර්තාවේ සඳහන් කර තිබීම ඉතා වැදගත්ය. එමෙන්ම දළදා පූජෝපහාරයේදී මහාවංශය දක්වන ආකාරයටම අභයගිරිය විහාරය මූලිකත්වය ගත් බව දක්වයි. එමඟින් අභයගිරි විහාරයට හිමි වූ රාජ්‍ය අනුග්‍රහයත් දළදාව හා රාජ්‍යත්වය අතර මහානාම රාජ්‍ය කාලය වනවිට ගොඩ නැඟී පැවැති අන්තර් සම්බන්ධතා මෙම වාර්තාව මඟින් අනාවරණය කර ගත හැකිය.

එමෙන්ම ෆාහියන් හිමි අභයගිරිය ස්තූපය සම්බන්ධයෙන් පවසන කරුණු ද අතිශයින් වැදගත්ය. වාර්තාවේ දැක්වෙන ආකාරයට අභයගිරි ස්තූපය අඩි 400 ක් පමණ උසය. එහෙත් මහා පැරකුම්බා රජු (ක්‍රි.ව. 1153-1186) විසින් අවසන් වතාවට කළ ප්‍රතිසංස්කරණයෙන් පසුව දැනට විද්‍යාත්මකව ගණනය කර ඇති අයුරින් අභයගිරි ස්තූපය අඩි 250 ක උසින් යුක්ත වූවක් බව හඳුනාගත හැකිය. එබැවින් ෆාහියන් හිමි දක්වන උස සාවද්‍ය බව පෙනී ගියත් අභයගිරි ස්තූපය එම සමය වනවිට විශාල ස්තූපයක් බව තහවුරු වේ.

එමෙන්ම ලාංකේය මූලාශ්‍රවලින් අනාවරණය නොවන මෙම ස්තූපයේ පූජනීයත්වය සම්බන්ධයෙන් ද ෆාහියන් හිමි විස්තර කර ඇත. ඒ අනුව බුදුන් වහන්සේ විසින් පිහිටුවන ලද ශ්‍රී පාද ලාංඡනයක් මත එය ඉදිකර ඇත. එමඟින් අතීත ලාංකේයන් අභයගිරි ස්තූපය පූජනීයත්වය සම්බන්ධයෙන් පිළිගෙන තිබූ අදහස් හඳුනාගත හැකිය. එමෙන්ම අතීත‍ෙය් ස්තූපවල අලංකරණය සඳහා රන්, රිදී, මැණික්වලින් කරන ලද කැටයම් ස්තූපයට සම්බන්ධ කර තිබූ බව ද සඳහන්ය. එයින් පුරාණ ස්තූපයක අලංකරණය සඳහා භාවිතා කළ ක්‍රම සම්බන්ධයෙන් අවබෝධ කරගත හැකිය.

එමෙන්ම ෆාහියන් හිමියන් විසින් සමකාලීන අභයගිරි විහාරයේ පැවති අධ්‍යාපන තත්ත්වය සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් කොට ඇත. එහිදී පුරාවිද්‍යාත්මක සාධක අනුව ද අභයගිරි විහාරය මහායාන මෙන්ම ථේරවාදී අදහස්වලට මූලිකත්වය දුන් ආගමික මධ්‍යස්ථානයක් බව තහවුරු වේ.

විශේෂයෙන්ම දකුණු ඉන්දියාව, කාශ්මීරය, චීනය හා ජාවා වැනි විදේශීය රාජ්‍යයන්වල භික්ෂූන්ට ද අධ්‍යාපනය ලබා දුන් මධ්‍යස්ථානයක් බව පුරාවිද්‍යාත්මක සාධක අනුව ද තහවුරු වී ඇත. තවද අභයගිරි විහාරයේ ශාඛාවක් ජාවා රටේ පැවැති බවට සාධක සහිත සංස්කෘත ශිලා ලේඛනයක් මහාචාර්ය ජේ. ද කැස්පාරිස් විසින් හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙම අධ්‍යාපන මධ්‍යස්ථානයේ භික්ෂූන් 5000 ක ප්‍රමාණයක් වාසය කළ බව ෆාහියන් හිමියෝ දක්වති. එම සංඛ්‍යාවට ආසන්න සංඛ්‍යාවක් නේවාසිකව මෙම විහාරස්ථානයේ වැඩ විසූ බව පුරාවිද්‍යාත්මක සාධක අනුව තහවුරු වේ. මෙම අභයගිරි විහාරය හා සම්බන්ධව උත්තර මූල, කපාල මූල, මහනෙත්පා මූල, වහදු මූල යන අධ්‍යාපනික ආයතන ක්‍රියාත්මක වූ බව හඳුනාගෙන ඇත.

මෙම අධ්‍යාපන මධ්‍යස්ථාන අතරින් ෆාහියන් හිමි වැඩ විසූයේ කපාල මූලයේ බව සේවා සම්මානිත මහාචාර්ය ටී. ජී. කුලතුංගයන් පෙන්වා දී ඇත. ඒ සඳහා ඉතා වැදග්ත සාධකයක් ලෙස ඔහු පෙන්වා දෙන්නේ ක්‍රි.ව. 420 – 479 අතර කාලයට අයත් චීන මූලාශ්‍රයක දැක්වෙවන ක-පො-ලි යන පදය කපාල මූලය හැඳින්වීමට යොදා ගත් බවත් එහි මහායාන භික්ෂුවක් වූ ගුණවර්මන් වැඩ විසූ බවට සඳහන් ප්‍රකාශයයි.

අභයගිරිය ආශ්‍රිතව හමුවන සංස්කෘත ශිලා ලිපි තුළින් ද පැහැදිලි වන්නේ එහි අධ්‍යයන කටයුතු සංස්කෘත භාෂාවෙන් සිදුවූ බවයි. ඒ අනුව ෆාහියන් හිමියන් මහා විහාරය වෙනුවට අභයගිරි විහාරය සිය අධ්‍යයන කටයුතු සඳහා තෝරා ගැනීමට හේතු වූයේ එම විහාරය සංස්කෘත භාෂාවට හා මහායාන දර්ශනයට කෙරෙහි විශේෂ ස්ථානයක් ලබාදීමය. ඒ අනුව ෆාහියන් හිමියන් මෙම විහාරයේ වසර 02 ක කාලයක් නැවතී සිට මහීශාසක විනය පිටකය, දීර්ඝාගම, සංයුක්තාගම, සංයුක්ත සංචය පිටකය යන සංස්කෘත ග්‍රන්ථ ලබා ගත් බවත් අනතුරුව ඒවා චීන භාෂාවට පරිවර්තනය කර ගත් බවත් සඳහන් කර ඇත.

ඒ අනුව පෙනී යන්නේ අභයගිරි විහාරය සංස්කෘත භාෂාවට හා ථේරවාදයෙන් පරිබාහිර නිකායන්වලට ද ප්‍රමුඛස්ථානය ලබාදෙමින් විදේශීය භික්ෂූන්ට ද අධ්‍යාපන සුදුසුකම් ලබා දුන් අධ්‍යාපන ආයතනයක් බවට ක්‍රි.ව. 05 වන සියවස වන විට පත්ව තිබුණු බවයි.

ඒ අනුව අන්තර් ජාතික බුදුදහමේ දියුණුව සඳහා අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වශයෙන් අභයගිරි විහාරය මඟින් කරන ලද සේවය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ෆාහියන් වාර්තාවෙන් ලබාගත හැකිය. එම තොරතුරු පුරාවිද්‍යාත්මක කැනීම් මඟින් ද තහවුරු වී ඇත.

ඒ අනුව දේශීය වංශකථා තුළ එතරම් අධ්‍යයනයට ලක් කර නොමැති අභයගිරි විහාරය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් හෙළිකරන මූලාශ්‍රයක් වශයෙන් ෆාහියන් වාර්තාව දැක්විය හැකිය. ඒ අනුව අභයගිරි විහාරය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව දේශදේශාන්තරවල කීර්තියට පත් විශ්වවිද්‍යාලයක් මට්ටමට දියුණුව පැවති ආගමික ආයතනයක් බව ෆාහියන් වාර්තාව තුළ සඳහන් කරුණු අනුව තහවුරු වේ.

 

 

 ඩබ්ලිව්. එම්. එම්. සංජය වීරකෝන්

සේයාරු - අන්තර්ජාලයෙනි.

නව අදහස දක්වන්න