උභයසේකර වලවුවේ සිතුවිලි සාදය | දිනමිණ

උභයසේකර වලවුවේ සිතුවිලි සාදය

 

දහනව වැනි සියවස අග භාගය. බ්‍රිතාන්‍යය විසින් මෙරටට හඳුන්වා දුන් නව සමාජය පිළිගත් ප්‍රභූ පන්තියක් සමාජයේ මතුපිට තලයට පිවිසි යුගයකි. එසේ සමාජයේ මතු තලයෙහි වැජඹුන ප්‍රභූන් අතර ඩොනල් ඔබේසේකර හෙවත් උභයසේකර වලවුවේ මහ මුදලිඳු කැපී පෙනෙන චරිතයක් බවට පත් විය.

රාජගිරිය ‘ඔබේසේකර වලවුව’ ද ලාංකේය වංශ කථාවේ වත්මන් යුගයට පරිච්ඡේදයක් එකතු කර ඇත. උභයසේකර යන්න වහරට මුසු වී ඔබේසේකර වූ අතර ඔවුහු සිංහල ජන සමාජය තුළ වෙනම සංස්කෘතික බලයක් තනා ගත් වංශවත් පෙළපතක් ද වෙයි. ඔවුන්ගේ ඉතිහාසය අතීතයේ සිට වත්මන දක්වා පරික‍්ෂා කරන කල්හි පෙනෙන විශේෂ ලකුණ වනුයේ ඔවුන් සංස්කෘතික පරිමාවක් සහිත විෂයයන් තුළින් සමාජ ආධිපත්‍යය ගොඩ නඟාගෙන ඇති ආකාරයයි. ඒ අනුව උභයසේකර වලවුවේ උපත ලද ඩොනල් ඔබේසේකර මහතාත්, ජයලත් ඕවින් මැන්දිස් උභයසේකර මහතාත් දේශීය වෛද්‍ය විද්‍යා‍වේ මහා චරිත දෙකක් ලෙස ලක් ඉතිහාස කතාවේ හඳුනා ගැනීමට හැකි වෙත්.

ඩොනල් ඔබේසේකර ක්‍රි.ව. 1897 දී සත් දිනක සතුටු සාමීචියක් පැවැත්වූයේ උභයසේකර වලවුවේදීය. ඒ සිතුවිලි සාදය සඳහා පැමිණ සිටියේ මෙරට අද්විතීය වංශ අතර උන් දේශීය වෙද පරපුරුය. සමහරු වාජීකරණ මහ වෙදුන් වූහ. තවත් පිරිසක් රස වෙදුන්ය. තවත් අය විෂ කැඩුම් - බිඳුම්, සම ආදි විවිධ දේහ වෙද සූරයෝය. එකල වෙදකම පරම්පරික උරුමයකි. ඩොනල් උභයසේකරයන් මේ සිතුවිලි සාදය පවත්වන කාලය සිංහල වෙදකම අවසාන පරපුර අතර රැකෙමින් තිබුණ සමයක් ලෙස හැඳින්වීම නිවැරැදිය. ඒ අනුව එම සත් දින අවසානයේ උභයසේකර වලවුවේ සිතුවිලි සාදයට එක් වූ වෙද පරපුරේ කතා ලියවිල්ල ප්‍රකාශයට පත් වූයේය.

මේ අතර උභයසේකර වලවුවේ ජයලත් ඕවින් මැන්දිස් උභයසේකරයන් පාලි, සංස්කෘත, වංග, හින්දු, සිංහල, මෙන්ම ග්‍රීක, ලතින්, ඉංග්‍රීසි, ද්‍රවිඩ, සියම් යන දස භාෂා ප්‍රවීණයකු විය. ඔහු දේශීය වෛද්‍ය විද්‍යාවට නව යුගයේ පුනරුද සුසුම ලබා දුන්නේ විශිෂ්ට ශාස්ත්‍රීය ග්‍රන්ථයක් රචනා කරමිනි.

එනම් ‘ආයුර්වේද ව්‍යාවකරණය’ නම් මහා පුස්තකයයි. ක්‍රි.ව. 1900 දී ප්‍රකාශයට පත් කළ මෙකී මාහැඟි ග්‍රන්ථය එකල සියමේ පාලකයා වූ සොමොට් අමරබන්ධු රජුට පිළිගැන්විය. ඒ සමඟ දේශීය වෛද්‍ය විද්‍යාවේ මහත් පුනර් ප්‍රබෝධයක් ඇති වන්නට පටන් ගත්තේය. සිතුවිලි සාදයේ සත් දින ලියවිල්ල ද සාකච්ඡාවට ගැනීමට රාජගිරිය උභයසේකර වලවුවට රටපුරා විසිර සිටි වෙදුන් යළි එක් වූයේය. මෙම උණුසුම යාපනය මුල් කරගෙන පැතිර තිබූ ද්‍රවිඩ වෙදුන් අතර ද පිබිදීමකට හේතු වූ අතර, ද්‍රවිඩ, වෙදුන් තම පාරම්පරික වෙදකම වූ ‘සිද්ධ වෙදකම’ නඟා සිටුවීමේ අරමුණෙන් ක්‍රි. ව. 1900 දී ‘සිද්ධ වෛද්‍ය සංගමය’ බිහි කළේය.

එම සිදුවීමත් සමඟ දේශීය වෙදකම අරබයා මතු වූ ප්‍රබෝධය තවත් වර්ධනය විය. ඒ අනුව ඩොනල් ඔබේසේකරයන් විසින් ක්‍රි.ව. 1910 දී ‘පෙරදිග වෛද්‍ය ශාස්ත්‍ර අරමුදල’ නමින් තම දේපළ උකසට තබා අරමුදලක් ඇති කරනු ලැබීය. එම අරමුදල දේශීය වෙදකමේ විවිධ දහරා පෝෂණයට ද, ඉගෙනීමට ද නව වෙද පරපුරක් බිහි කිරීමේ අරමුණුවලට ද පණ පෙවීය.

එමෙන්ම ඩොනල් ඔබේසේකරයන් තවත් සුවිශේෂී කාර්යයකට අත තැබීය.

එනම් පළාත් වංශ පරම්පරා අතර සැඟව තිබුණ පුරාණ වෛද්‍ය සිද්ධාන්ත, වෙද රහස් ලේඛන සඳහා ලේඛනාගාරයක් ඇරඹීමය. එම ලේඛනාගාරය ලොවෙන් වසන් වී තිබූ වෛද්‍ය රහස්වලින් පිරුණු දැනුමේ උල්පතක් වූයේය. පසුව ‘පෙරදිග වෛද්‍ය ශාස්ත්‍ර අරමුදල’ තුළින් එම වෙද දැනුම කෘති බවට පත් වූ අතර පුද්ගල, පවුල්, වංශ උරුමයක්ව තිබූ දැනුම ජාතික උරුමයක් බවට පත්ව පොදු මානව සංහතියටම එහි අයිතිය හිමි වූයේය.

උභයසේකර වලවුවේ සිතුවිලි සාදය විසින් ඇරඹුණු දේශීය වෙද පුනරුදය තවත් අතකට විහිදී ගියේ උභයසේකරවරුන් විසින් මෙරට විසිර පැතිර සිටි සියලු වෙද පරපුරු ලියාපදිංචිය ඇරඹීමත් සමඟය. මෙම ලියාපදිංචිය නිසා වෛද්‍ය ශාස්ත්‍රය අතර සැඟවී තිබූ තවත් රහස්, තාල, රිද්මවල උත්කෘෂ්ට දැනුම ජාතිය සතු විය. රාජගිරිය උභයසේකර වලවුව වෙද පොත් වට්ටෝරු ලියවිලිවලින් පිරී ගිය අතර, සිංහලයන් විසින් රැකගෙන පැමිණි සිංහල වෙද රහස් ද, ද්‍රවිඩයන් විසින් උරුම කරගෙන පැමිණි සිද්ධ වෙද රහස් ද, මුස්ලිම්වරුන් විසින් ආරක‍්ෂා කරගෙන තිබූ යුනානි වෙද රහස් ද, මෙම වෙද ලේඛනාගාරයට එක් වූයේ එක් අතකින් තුන් ජාතියේ ආධ්‍යාත්මය එක් කරමිනි.

මෙම සමයේ දේශීය වෛද්‍යවරු එක රැහැනකින් වෙළී දේහ සුවපත් කලාව සොයමින්, පාදමින් සිටියහ. සිංහල, දෙමළ, මුස්ලිම් වෙදුන් ඔබේසේකර වලවුවේ ගත කළ කාලය ජාතික සමඟිදාමය අරබයා රමණීය ඉතිහාස මතකයක් ලෙස මෙනෙහි කළ හැකි තරම්ය. මෙලෙස රාජගිරියට රොද බැඳුණු දේශීය වෙදුන් නිසා ම අදත් රාජගිරිය දේශීය වෙදකම හා බැඳුණු ස්ථානයක් බවට පත්ව ඇත. ඔබේසේකරලාට අයත් ඉඩම ඔබේසේකරපුර වු අතර, පසු කලෙක දේශීය වෛද්‍ය විද්‍යාලය ද, ආයුර්වේද රෝහල ද එහි පිහිටුවීමට තුඩු දුන් අතීත කතාව මෙය වන්නේය.

එලෙස ම උභයසේකර වලවුවට ගොඩ වන පූර්ණ කාලීන යෞවනයකු වෙද පරපුර උරුමය තම ජීවිතයට බද්ධ කරගෙන ඉමහත් හපන්කම් දැක් වූයේය. ඒ තම වෙද දැනුම භාෂාන්තර දැනුමෙන් ද පූර්ණ කොටගෙන වෙද පොත් රචනයට හා සංස්කරණයටය. ඒ රාජසිංහ බුද්ධදාසයන්ය. ඔහු විසින් උභයසේකර වලවුවේ ලේඛන ගබඩාව මුද්‍රිත කෘති බවට පත් කරමින් ද, භාරතීය ආයුර්වේද ග්‍රන්ථ දේශීය භාෂාවට පෙරළමින් ද උභයසේකර වලවුවේ සිතුවිලි සාදයේ සිහිනය සැබෑවක් කිරීමේ යුග කාර්යයට පණ දුන්නේය.

මේ අතර උභයසේකර වලවුවේ සිතුවිලි සාදයට තම පියාණන් සමඟ ගැටවර වියේ දී එක් වූවෙකි පී.ජී. වික්‍රමආරච්චි. ඔහු පසුව රට බැබලූ මහ වෙද පරපුරක ගුරුවරයකු වූ අතර, උභයසේකර වලවුවට ආගිය නව පරපුර එක්තැන් කිරීමට තම වියදමින් ක්‍රි.ව. 1929 දී ‘සිද්ධායුර්වේද වෙද විදුහල’ ඇරඹීය. එය මෙරට දේශීය වෙද පරපුරක් නව යුගයට දයාද කළ වෙද විදුහල බවට පත් වූ අතර, උභයසේකරලා දිවියෙන් සමුගන්නට සැරසෙන සමයේ ඔවුන් ප්‍රබෝධ කළ දේශීය වෛද්‍ය විද්‍යාවේ තවත් ඉදිරි පියවරක් ද විය.

මෙලෙස පැතිර විසිර ගිය උභයසේකර වලවුවේ සිතුවිලි සාදයේ විවිධ දහරා වඩාත් උත්තේජනය වීමට ජාතික නිදහස් අරගලය ද හේතු විය. රටේ මහා සඟරුවන ද වෙදකම හැදෑරීමට එක් වූහ. දේශීයත්වය පිළිබඳ මහත් උනන්දුවක් එම යුගයේ ඇති විය. වෙද පරපුර ජාතික නිදහස දෙසට ගමන් කරවීමට පණ්ඩිත පී.ජී. වික්‍රමආරච්චි වෙදදුරාණන් ගත් උත්සාහය සාර්ථක වූහ. එය පෙරළා දේශපාලන මුහුණතක් සමඟ මුහු වන ආකාරය අතීතය දෙස බලා සිටින විට අපූරුවට දැකිය හැකිය.

කෙසේ නමුත් එදා උභයසේකර වලවුවේ ලේඛනාගාරයේ ලේඛකාධිකාරිවරයා වූ ‘ජේ.ඊ.පී. වික්‍රමසිංහ වෙද මුදලි’ වෙද පරපුර දේශපාලන පෙරමුණක් වීම වළකා ගැනීමට මහත් උත්සාහයක නිරත විය. ඔහු ද පරයා දේශීය වෙදුන් සමූහයක් දේශපාලන පොර පිටියට පිවිසුණහ. ‘උභයසේකර වලවුව’ නිහඬ වූයේය. ජාතික කෞතුකාගාරයක් විය යුතු මෙම ශාස්ත්‍ර භූමිය අතුරුදහන්ව ඇත. උභයසේකර වලවුවෙන් ඇරඹි වෙද පුනරුදය නතර වූයේ වෙදකම රජය සතු කොටගෙනය. එබැවින් වෙදකම පරපුරු, වංශ හා පෙළපත් අතර තිබුණු යුගයේ පෑ හපන්කම් නතර වී ඇත.

 

සුජිත් අක්කරවත්ත

 

නව අදහස දක්වන්න