රාවණ යනු සූර්ය දිව්‍යරාජයාය | දිනමිණ

රාවණ යනු සූර්ය දිව්‍යරාජයාය

මහාරාවණා පුරාවත - 11

මහා රාවණ පුරාවත පිළිබඳව ගවේෂණය කිරීමේදී අප නිරතුරුව සිත යොමු කළ යුත්තේ භෞතික කරුණුවලට වඩා අධ්‍යාත්මික කරුණුවලට විය යුතුය. මේ පිළිබඳව මෙවරත් අදහස් දක්වන්නේ ඉතිහාස ගවේශක/පරිසරවේදී තිලක් කන්දෙගම මහතා විසිනි.

 

මම රාවණයන් සොයා ගතිමි. මා සිතූ පරිදිම රාවණයන් යනු සූර්ය දිව්‍යරාජයාය. ඔහු දිව්‍ය රාජයෙක් බවට පත් වෙන්නේ ඔහුට ඇති දිව්‍යමය ශක්තිය නිසාය. මේ ශක්තිය උකහා ගත් අය සූර්යවංශිකයන් බව මා නැවතත් කියන්නේ මේ ශක්තිය සොයා ගැනීම පිළිබඳව මා තුළ ඇතිවූ සන්තෝෂය නිසාමය. මේ දිව්‍යරාජයාගේ නොහොත් හිරුගේ ශක්තීන් මනින වර්තමාන විද්‍යාඥයින් ඒ සඳහා මිම්ම ලෙස පාවිච්චි කළේ නැනෝ මීටර්ය. නැනෝ මීටර් 0 සිට 1000 දක්වා වූ කලාපය ඔවුන් හොඳින් විග්‍රහ කරමින් ඇත.

විග්‍රහය තවමත් අවසන් නැත. නමුත් විග්‍රහය වෙනස් වන්නේ දශම දශමවලිනි. හයිඩ්‍රජන් හීලියම් වීම නිසා නිකුත්වන කිරණ මෙසේ වර්ගීකරණය වූ බව විද්‍යාඥයන් පිළිගැනීමට පෙර හෙළදිව සිටි මිනිසුන් එය තේරුම්ගෙන තිබුණි. මේ නිසා ඔවුන් රාවණවරු විය. නැනෝමීටර් 0 සිට 390 ට මෙහා කොටස අතිශයින් ප්‍රබලය. මෙම ප්‍රබලම කොටස විද්‍යාඥයෝ මයික්‍රෝ පාරජම්බූල නොහොත් අල්ට්‍රා වයලට් සහ සංකේතයකින් හැඳින්වූ එක්ස් කිරණ (X RAY) විය.

මෙම කිරණ වලට සතර මහා භූතයන්ගෙන් සැදුණු පදාර්ථයන් පවා විනිවිද යා හැකිය. අදටත් වඩා ඉතා සියුම් ලෙස මෙය වටහාගත් මිනිසුන් මෙම පදාර්ථ සහිත මිනිසුන් නොපෙනී යාමට සැලැස්වූ බව මා විශ්වාස කරන්නේ කුවේණිය විජයගේ 700ක් සෙනඟ නොපෙනී යාමට සැලැස්සූ නිසාය. එමනිසා කුවේණිගේ කාලය තෙක් රාවණවරුන්ගේ ශක්තිය ආරක්ෂා වී පැමිණෙනු බව මම විශ්වාස කරමි. කුවේණිට බොහෝ කලකට පෙර ජීවත්වූ රාවණවරු මොනතරම් විද්‍යාවන් කරන්නට ඇත්දැයි සිතුණු මම මෙය ගවේශනය කිරීමේදී බොහෝ දේ වටහා ගතිමි. ඒ වටහා ගැනීම් තුළ ඔවුන් ළඟ තිබූ විද්‍යාවන් කිහිපයක් හොඳින් හැදෑරීමට මට හැකි විය. ඉන් එකක් නැනෝ මීටර් 390ට පෙර තිබූ තරංගවලින් නිර්මාණය කළ යන්ත්‍රමන්ත්‍රය. 390න් ඉදිරියට ගියහොත් 760 දක්වා වූ කලාපයේ ඇති කිරණ හඳුනා ගතහොත් ඔබ මවිතයට පත්වී යනු නොඅනුමානය.

මෙම කොටස සෘජුවම පෘථිවියේ ජීවයට බලපාන කොටසයි. ජීවයේ ආරම්භයට මුල්වූයේ ද මෙම කොටසයි. ආභස්සර ලෝකයෙන් හෝ කොහේ සිට හෝ මොවුන් පැමිණ ඇත. මොවුන් නොපෙනෙන බලවේග මිස නැතහොත් සතරමහා භූතයන් ලෙස පැමිණ පංචමහා භූතයන් වූ බව විස්තර කිරීමට තරම් දැනුමක් සොයාගැනීමට මට හැකි විය.

පෘථිවියේ පැතිරී විසිරී තිබු භූත කොටස් ගර්භාෂයක් තුළ එකලස් කොට එයට ජීවය දීම සඳහා විඥාන භූතයා සිරුරට අරක් ගැනීම ජීවයේ මුල් පියවරයි. ගර්භාෂයෙන් ඉවත් වන එම ජීවියා මිනිසෙක් හෝ වෙනත් සත්ත්වයෙකි. එතැන සිට ඔහු ගර්භාෂයට පැමිණීමට පෙර එය සසර ගමනේදී ගෙන ආ දක්ෂකම් එකතුකිරීමට සහ අභ්‍යාස කිරීමට පටන් ගනියි. මොවුන් බුද්ධිමත්ය. මොවුන් පැහැදිලිවම රාවණවරුය.

ඔවුන් අතරින් ඉස්මතු වූ මහා රාවණවරු පිළිබඳව අද අප කතා කරමින් ඇත. මියගිය ඔවුන්ගේ දේහය සොයාගත නොහැකි වන්නේ එයින් විඥාන භූතයා ඉවත් වන නිසා අතරමංවන භූතයන් වන ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයන් ද ඉවත්ව යන නිසාය.

විඥාන භූතයා නොහොත් සිරුරෙන් ඉවත්වන රාවණ විමානය කවදා හෝ දවසක බුද්ධිමත් මිනිස් සිරුරකට කලලයක් හරහා පැමිණිය හැකිය. මීට අමතරව රාවණ විඥානය ගන්ධබ්බ ලෙස අහසේ සැරිසරමින් සිටින්නේ නම් හෝ දේව ආත්මයක් ලෙස සැරිසරමින් සිටින්නේ නම් වෙනත් ආකාරයකින් යම් යම් දේ සිදුකළ හැකිය. එවැනි ආත්මයන් ගැන මම ද විශ්වාස කරමි.

ඔවුන් තෝරා ගන්නා යම් යම් මිනිසුන් යම් යම් ආකාරයෙන් හසුරුවන බව ද මම විශ්වාස කරමි. මෙය ආරූඪ තත්වයක් නොවන බව මා මුලින්ම ප්‍රකාශ කළ යුතුව ඇත. එමනිසා ඉතා සියුම්ව මෙම තත්ත්වය විග්‍රහ කරගත යුතුව ඇතැයි මා සිතන්නේ බොහෝ අය වැරදි මාර්ගවල යමින් උන්මත්තකයන් ලෙස හැසිරෙන නිසාය. එවැනි බොහෝ අය මා සමඟ විවිධ විවිධ දේ කතා කරති. මේ කතා කිරීම මෙම කාලය තුළ බහුලව සිදු වෙමින් ඇත. මා ඒ ගැන සන්තෝෂ වන්නේ හෙළ ඉතිහාසය පිළිබඳව ගවේශනය කරමින් සිටින මට මොවුන්ගේ මේ ක්‍රියාත්මක වීම යම් යම් තොරතුරු සපයන නිසාය.

අතීතය හෝ අනාගතය මනසින් දැකිය හැක්කේ දෙවියන් සහ මිනිසුන් අතර ජීවත්වන චරිත වූ සෘෂිවරුන්ට පමණි. එවැනි සෘෂිවරු අද නැතැයි මට ප්‍රකාශ කළ නොහැකිය. ඍෂිවරයෙක් වීමට භාවනා කර සිත දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය වුවත් භවයෙන් භවය සාංසාරිකව කුසල් එකතු කරමින් පැමිණෙන අයට යම් යම් ආත්ම වලදී ඍෂිවරයකුගේ තත්ත්වයට පැමිණිය හැකිය. එවැනි අය වර්තමාන සමාජයේ ද ජීවත් වෙති. ඔවුන්ගේ මනසේ මහා රාවණයන් දර්ශනය වීමට ඉඩ ඇත. රාවණයන්ගේ කාලයේ සිදු වූ යම් යම් දේ ඔවුන්ගේ මතකයට පැමිණිය හැකිය.

එම සිද්ධි ඔස්සේ බොහෝ කතා නිර්මාණය විය හැකි නිසා ප්‍රවේශමෙන් සත්‍යය වටහාගත යුතු බව මා ප්‍රකාශ කරන්නේ මහාවංශයටත් එහා ගිය මහාවංශයෙන් නෙරපා හරින ලද රාවණ ඉතිහාසය සොයා ගැනීමට අවශ්‍යය නිසාය.

මෙම කාලය තුළ තරුණයන්ගේ සිත් තුළට ද රාවණ පිළිබඳ මතකය හා විශ්වාසය පැමිණ ඇත. මෙම විශ්වාසය මත අවිචාරශීලිව ගමන් කරමින් ගල් ගුහා, කඳුවැටි තරණය කරන බොහෝ අය හදිසියේම අතුරුදහන්වන ස්වරූපයක් දකින්නට ද ඇත.

අතුරුදහන්වීම යනු සිද්ධියෙන් මඟහැර පලා යාමයි. ඔවුන් අතරින් රාවණ ශක්තින් විග්‍රහ කර ගැනීමට යමෙක් උත්සහ ගන්නේ නම් ඔහුට එය ප්‍රයෝජනවත් ‍ෙවනවා පමණක් නොව ඉතිහාසය සත්‍යය යැයි විශ්වාස කරන අයට ද එය ප්‍රයෝජනවත් වනු ඇත. බුදුරජාණන් වහන්සේගේ ධර්මය වටහා ගැනීමට යමෙකු උත්සාහ ගන්නේ නම් එම ධර්මය තවදුරටත් පැවතෙනු ඇත. එම නිසා ජේසුස් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේ සොයා යෑම වෙනුවට ධර්මය අවබෝධ කරගැනීම බෞද්ධ ඉතිහාසය පිළිබඳව විශ්වාසය රැක ගැනීමට වැදගත් වනු ඇත.

නැතහොත් කවදා හෝ දවසක එවැනි චරිත ද අවිශ්වාස කිරීමට මිනිසුන් පෙළඹෙනු ඇත. යමෙක් රාවණවරුන්ගේ රාජ්‍ය සමය ප්‍රතික්ෂේප කිරීමට අනුබල දීමක් කිසිදිනක මම නොකරමි.

මහාවංශයෙන් එහාට ගිය ඉතිහාසය තුළ ජීවත් වන රවුලු රාවණගේ උපන් ස්ථානය හෝ ඔහුගේ දේහය ගැන නොසලකා අවසන් රාවණවරයා වූ රවුලු දැනගෙන සිටි දස විද්‍යාව පියවරෙන් පියවර සමාජයෙන්ම තේරුම් ගෙන සමාජයට ඉදිරිපත් කිරීම වැදගත්ය.

විශ්වයේ සෞරග්‍රහ මණ්ඩලවල පවතින එකම ශක්තිය වනුයේ සූර්යයා නිෂ්පාදනය කරන ශක්තිය බව වටහා ගතහොත් මේ සඳහා එය ප්‍රයෝජනවත්ය. මෙම ශක්තීන් අතර අතිශයින්ම දියුණු තරංග විද්‍යාව ජීවය හසුරුවන ආකාරය සහ එම ශක්තීන් පෘථිවියේ යම් යම් වස්තූන් අතර එකතු වී තිබීම වටහා ගත් අ‍ෙයකු මෙම විද්‍යාවන් සමාජයට දායාද කළ අයය.

රවුලු රාවණයන් එසේ කර ඇත. අප මේ මොහොතේ සොයමින් සිටින්නේ එයින් ඉතා සියුම් අද්භූත ඉතිහාසය පමණි. එම ඉතිහාසය විකෘති කොට සොයා ගත නොහැකි වන ආකාරයට සමාජයට ඉදිරිපත් කිරීමට බොහෝ බමුණන් ක්‍රියා කර ඇත. වාල්මිකී රාමායණය ලිව්වේ එසේ කිරීමට බව මම තදින් විශ්වාස කරමි. එමනිසා රාමායණය නොසලකා හැර සූර්යයාගේ ශක්තියෙන් මිනිස් සිරුර හැසිරවූ ආකාරයත් එම හැසිරවීම අනුව මිනිසුන්ගේ නිරෝගීකම හා රෝගීකම වටහා ගැනීමත් එය මිනිස් සමාජයට නිවැරදිව ප්‍රයෝජනයට ගතහැකි ලෙස වෙදකම බිහිවීමත් අධ්‍යයනය කිරීම ඉතා වැදගත්ය. එය රාවණගේ එක බුද්ධියකි. එය දිගින් දිගටම විග්‍රහ කළ‍හොත් මිනිස් සිරුර සෑදී ඇත්තේ වාතය, පිත සහ සෙම යන භූත කොටස් වලිනි. එම භූත කොටස් තවදුරටත් විග්‍රහ කළහොත් ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන විඥානයන්ය. මෙම කොටස් එකිනෙකාගේ සිරුර තුළ සමානව නොපිහිටන බව තේරුම්ගත යුතුය. සමහර අයගේ පිත වැඩිය. ඔහු වේගවත්ය. සමහර අයගේ වාතය වැඩිය. ඔහු ද වේගවත්ය. ඔහුගේ වේගය පිත නිසා ඇතිවන වේගයට වඩා වෙනස්ය. වාතයයි පිතයි දෙකම සමානව පිහිටා ඇති මිනිසකු ඉහත කී දෙයාකාරයට වඩා වෙනස්ය. ඔහු වාත පිත්ත කාරයෙකි. සෙම සහිත පුද්ගලයා මේ සියල්ලටම වඩා වෙනස්ය. ඔහු නිද්‍රාශීලී නිවුනු මිනිහෙකි.

අතිශයින් සුන්දර ප්‍රියමනාප මේ මිනිසා ක්‍රියාත්මක වෙන්නේ නොහොත් පාලනය වන්නේ චන්ද්‍රයාගෙනි. පසළොස්වක පෝය දිනයට මෙම පුද්ගලයාගේ මනසේ ඇතිවන තත්ත්වය පිත කාර‍ෙයකු හෝ වාතකාරයෙකුට හෝ වාතපිත්ත කාර‍ෙයකුට වඩා වෙනස්ය.

මෙම විද්‍යාව හරියට වටහා ගත් රාවණයන් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙකි. මිනිස් සිරුර බොහෝ කල් පවත්වාගෙන යෑමේ විද්‍යාව නොහොත් අමරණීය තත්වය පිළිබඳව ඔහු දැන සිටින්නට ඇතැයි යමෙකුට සිතුණොත් ඔහු නිවැරදිය. ඔහු බිහිකළ රස වෙදකම නොහොත් හෙළ වෙදකම සොයා යෑම වැදගත් යැයි සිතූ මම ඒ පිළිබඳව හදාරමින් සිටින්නේ රාවණයන් නැවත අවධි කළ යුතු නිසාය.

 

 භාතිය මදනායක

නව අදහස දක්වන්න