උතුරින් හා නැඟෙහිරින් අහිමි වූ බොදු පුදබිම් | දිනමිණ

උතුරින් හා නැඟෙහිරින් අහිමි වූ බොදු පුදබිම්

උතුරු නැඟෙනහිර බෞද්ධ උරුමය - 07

 

පොතුවිල්

පොතුවිල් ප්‍රදේශයේ පිහිටි ඒත්තම නම් වූ ස්ථානයේ බෞද්ධ විහාරයක හා ස්තූපයක නටබුන් දක්නට ලැබේ. 1983 වසර වනවිට එම බොදු පුදබිම වැසී යන අයුරින් අලුතින් කෝවිලක් ගොඩනඟා තිබිණි. බලහත්කාරයෙන් පදිංචිව සිටින නිවැසියන් කුඩා මඩු ඉදිකිරීම සඳහා එම ස්තූපයේ ගඩොල් භාවිතා කර ඇත.

විශාල ගලක නෙළන ලද බුදුන් වහන්සේගේ අලංකාර පාද ලාංඡනයක් මෙහි දක්නට ලැබේ. මුරගල්, කැටයම් සහිත ගල් පුවරු, ශෛලමය කැටයම් ලී ස්තර, ශිලා රූප සහ තවත් මූර්ති ගණනාවක් එහි දක්නට තිබිණි.

මෙහි දක්නට ඇති පැරණි ගොඩනැගිලි නටබුන්වලින් පෙනී යන්නේ එම පුදබිම ක්‍රිස්තු යුගය ආරම්භක කාලයේදී පුළුල් ආරාමික ආයතනයක්ව තිබූ බවය. මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අංක ඊ.සී/බී/ඊ/27 දරන ලිපි ගොනුවේ 43, 107, 109 සහ 42 පත්ඉරුවල සඳහන් වේ.

 

සංගමන් කන්ද

පොතුවිල් - අක්කරපත්තු ප්‍රධාන මාර්ගයෙන් සැතපුම් තුනක් පමණ ඈතින් ඉපැරණි ස්තූප කිහිපයක සහ ආරාමික ගොඩනැගිලි කිහිපයක නටබුන් දක්නට ඇති සංගමන් කන්ද පිහිටා ඇත. එම නටබුන් අනුරාධපුර මුල් යුගයට අයත් බව පිළිගැනේ. පැරැණි ගඩොල් කැබලි, උළු කැබලි ආදී සුළු පුරා වස්තුවලින් එම ස්ථානය ගහණය. අබෞද්ධයන් මේ අසල පදිංචි වීම නිසා මෙහි ඇති නටබුන්වලට විශාල තර්ජනයක් වී ඇතැයි පුරා විදු කොමසාරිස්ගේ 1928-29 වාර්ෂික වාර්තාවල සඳහන් වේ.

 

අම්පාර

අම්පාර දිස්ත්‍රික්කයේ තිරුකෝවිල් උප දිසාපති කොට්ඨාසයට අයත් කංචිකුඩිච්චිආරු යෝජිත පුරා විදු බිමකි. අක්කරපත්තු - පොතුවිල් පාරේ කන්චන්කුඩි හන්දියෙන් හැරී බොරලු පාර දිගේ යන විට මෙම ස්ථානය හමු වේ.

මෙම පෙදෙස පුරාවිද්‍යා තහනම් ප්‍රදේශයක් බවට පත්කිරීම සඳහා 1974 දී මිනුම් කටයුතු කර තිබේ. එහෙත් අම්පාර කච්චේරියේ තිබූ ඊට අදාළ ලිපි ගොනුව ඇතුළු ලිපි ලේඛන අස්ථානගත කර ඇත.

කාන්චිකුඩිආරු වැව් කණ්ඩිය දෙපස පිහිටි කඳු ගැට දෙක මතින් පැරණි ස්මාරකයක නටබුන් සොයා ගෙන තිබිණි. එක් කඳු ගැටයක් මත පැරණි සෑයක නටබුන් ඇති අතර එය නිදන් ‍ෙහාරුන් හාරා ඇත. සෑය අඩි 20 ක් පමණ උසැතිය. කඳුගැටය මුදුනේ පැරණි ගොඩනැගිල්ලක නටබුන් මත හින්දු කෝවිලක් තනා ගෙන යයි.

මල් පූජාසන දෙකක් (ගල් පුවරු) එම කෝවිලේ බිම පඩියටත්, එක් ප්‍රතිමාවකට පූජාසන ගල් පුවරුවක් ලෙසටත් යොදා ගෙන ඇත. අවට පෙදෙස පැරණි ගඩොල් කැබලිවලින් පිරී ඇත. දාගැබේ පස්කන්ද අසල වන ලැහැබේ පැරණි ගල් කණු දක්නට ලැබේ.

අනෙක් ගල් කන්ද මත කණින ලද ගල් ලෙන් 11 කි. ඉන් එකක ක්‍රි.පූ. බ්‍රාහ්මී ශිලා ලේඛනයකි. එම ලෙන සහ වැව බෞද්ධ භික්ෂූන්ට පිදූ එකක් බව එහි සඳහන් වේ. ශිලා ලේඛනය අනුව මෙම ස්ථානය ක්‍රිස්තු පූර්ව යුගය දක්වා දිවේ. එම ස්ථානයෙන් හමු වූ ගල් පුවරු 08 වැනි සියවසට අයත්ය.

මේ ස්ථානය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අංක ඊ.සී/බී/ඊ/43 දරන ලිපි ගොනුවේ 42, 43 සහ 44 පත්ඉරුවල සඳහන් වේ.

 

කුරුන්දන්මලේ

මුලතිව් දිස්ත්‍රික්කයේ නෙදුන්කර්නි ප්‍රදේශයේ කුරුන්දන්කුලම් අසල පිහිටි කඳු ගැටයක විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ගිය බොදු පුද බිමකි. පැරැණි ස්තූප, ආරාම, පොකුණු, බුදු ගෙවල් ඇතුළු පුරාවිද්‍යා නටබුන් දැකිය හැකි භූමියකි.

මෙය ඛල්ලාටනාග රජු විසින් ක්‍රි.පූ. දෙවන සියවසේ දී තැනූ ‘කුරුන්දපාසක විහාරය’ ලෙස හඳුනාගෙන ඇත. “කුරුන්දි අට්ඨ කතා” ලියන ලද්දේ මේ විහාරයේ සිටය. කුරුන්දි විහාරයේ නටබුන් පැතිරී ගිය අක්කර 78 යි රූඩ් 2යි පර්චස් 13 ක භූමිය 1933 මැයි 12 දින නිකුත් කළ අංක 7981 දරන ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනයකින් පුරා විදු ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

1981 අගෝස්තුවේදී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබියදී පිරිසක් මේ භූමියට පිවිස නවීන කෝවිලක් තැනීම සඳහා පැරැණි බුදු ගෙයක ගල් කණු මත උළු යොදා වහලක් තනා ඇත. බුදු ගෙය ඇතුළත කොන්ක්‍රීට් දමා ත්‍රිෂූලයක් සවි කර තිබිණ. ඒ ඉදිරිපස තබා තිබුණු ගල් පුවරුව බුදුන්ගේ ශ්‍රී පාද ලාංඡනය සහිත නිර්මාණයකි. අසල තිබූ ස්තූප ගොඩනැගිල්ලේ මුදුන මට්ටම් කර සිමෙන්ති දමා තිබූ බව පුරාවිද්‍යා ලිපි ගොනු අංක ඊ.සී/බී/ඇන්/7 පත්ඉරු 5 සහ 10 සඳහන්ව තිබේ. (වර්තමානයේ මෙම භූමියේ “සෞභාග්‍යයේ දැක්මට” අනුව පුරා විදු කැනීම් සිදු වෙයි)

 

විලන්කුලම

ත්‍රිකුණාමලය - කන්තලේ මාර්ගයේ විලන්කුලම් වැව් කණ්ඩිය මත පැරණි භික්ෂු ආරාමයක නටබුන් දක්නට ලැබේ. මෙහි හමුවන ගල් කණු හා නටබුන් ගඩොල් කැබලි මුල් අනුරාධපුර යුගයට (ක්‍රි.පූ.3-6) අයත් බව සැලකේ. අසිංහල පිරිසක් මෙම ස්ථානය ගොවිපොළකට හරවා ඊට ජලය සපයා ගැනීමට ස්තූපය ද හාරා ළිඳක් කපා ඇත. නටබුන් සහිත භූමි ප්‍රමාණය අක්කර 10 කි.

ත්‍රිකුණාමලය දිසාපති ඩී. ජේ. බණ්ඩාරගොඩ මහතා 1978.08.04 දාතමින් පුරා විද්‍යා කොමසාරිස් ආචාර්ය රාජා ද සිල්වා මහතා වෙත ලිපියක් එවමින් දන්වා ඇත්තේ අඩි 150 ක් පළල අඩි 30 ක් පමණ උසට ඉතිරිව ඇති දාගැබක් යැයි සැලකිය හැකි උස් බිම මත අයෙක් ගෙයක් තනා පදිංචිව ඒ අසල ගව මඩු හා වැසිකිළි තනා ජීවත්වන බවයි. එම උස් බිම මත ළිඳක් හෑරීමේදී වටිනා වස්තූන් කිහිපයක් හමුවී ඒවා විකුණා ජල පොම්ප මිලදී ගෙන ඇති බව ප්‍රදේශවාසීන්ගෙන් දැන ගන්නට ලැබුණු බවයි.

එම ස්ථානය පසුකර තවත් සැතපුමක් ගිය පසු අඩි 75 ක් පමණ උස් තවත් විශාල දාගැබක සලකුණු දක්නට ලැබෙන බවත් එය නිදන් හොරුන් විසින් හාරා ඇති අතර ඒ වළ තුළ නාගරි අක්ෂර සහිත ගල් පුවරුවක් හා ඒ අසල ගල් කණු දක්නට ඇති බවත් හෙතෙම දන්වා තිබේ.

කන්තලේ පාරේ 246 වැනි කිලෝමීටර් කනුව අසල පාරේ වම්පසට ඇති තේක්ක වත්ත තුළ ද පැරණි දාගැබක නටබුන් දක්නට ඇති බවත් එය ද නිදන් හොරුන් හාරා ඇති අතර පසුව තේක්ක ගස් දාගැබ මැද සිටුවා ඇති බවත් දිසාපතිවරයා වැඩිදුරටත් එහි සඳහන් කර තිබේ.

 

කිරිමැටිආරු

අම්පාර පොතුවිල් සිට සැතපුම් තුනක් දුරින් කිරිමැටිආරු නම් ස්ථානයේ ඉපැරැණි ස්තූපයක පස් කන්දක් ඉතිරිව තිබේ. මෙම ස්තූපයේ පස් කන්දට පසෙකින් ගල් කණු කීපයක් දක්නට ඇති අතර එහි නටබුන් යාබද ඉඩම්වල ද දක්නට ලැබේ. මෙම ස්ථානය දැන් ගව මඩුවකි.

 

 

සමුද්‍රගිරි

සේරුවිල සිට සැතපුම් 9 ක් පමණ දුරින් පිහිටි සමුද්‍රගිරි නම් ස්ථානය පැරැණි පටුනක් වශයෙන් හැඳින් වූ ‘ලංකා පටුන’ය. එම ස්ථානයේ පැරැණි ස්තූපයක සහ පිළිම ගෙයක නටබුන් දක්නට ලැබේ. මෙහි ද අලුතින් කෝවිලක් තනාගෙන යන බව පුරාවිද්‍යා ලිපිගොනුවක සඳහන් වේ.

ක්‍රි.ව. 03 වැනි සියවසේ දී දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම කළ කාලිංග කුමරු සහ කුමරිය ලංකා පටුනෙන් ගොඩ බැසි බව සඳහන් වේ. මෙහි පැරණි වරායක් හා වරාය නගරයක් පැවති බව ධාතු වංශයේ සඳහන් වේ. මෙහි ඇති ස්තූපවල ඉතිරිව ඇති පස් කඳුවල දක්නට ඇති නටබුන් අනුරාධපුර මුල් යුගයට අයත්ය.

කාවන්තිස්ස රජු සේරුවිල චෛත්‍යය කරවා මෙහි මෝය කටේ නැගෙනහිර ඉවුරේ මනහර ගල් මුදුනක කුඩා දාගැබක් තනවා ඇත. නටබුන් වෙමින් ඇති මෙම දාගැබ මෑතකදී හාරා ඇත.

 

නීලවේරි (නිල්ගිරි වෙහෙර)

නීලවේරි පිහිටා ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ පුත්තූර් සිට සැතපුම් කාලක් දුරිනි. එහි ඇති බෝධිරාජයාට එක් පසෙකින් පැරණි ළිඳක් සහ පැරැණි ගොඩනැගිල්ලක අත්තිවාරමක් දක්නට ඇත.

එම බෝධියට බටහිරින් ගල් කණු, මූර්ති සහ ගඩොල් කැබලි ප්‍රදේශය පුරා විසිරී පවතී. මෙම ස්ථානයෙන් සොයා ගත් හිරිගල් බුදුපිළිමයක් ප්‍රදර්ශනය පිණිස යාපනය කටුගේ තැන්පත් කර තිබේ.

 

වල්ලිපුරම්

පේදුරුතුඩුවේ සිට සැතපුම් 4 ක් දුරින් මරදන්කේනි පාරේ විෂ්ණු දේවාලයකි. මෙය වසභ රජු කා‍ලයේ ඉසිගිරි ඇමැති කළ විහාරයක් බව වල්ලිපුරම් රන් සන්නසින් හෙළි වෙයි. ඒ සන්නස ලැබුණු තැනට උතුරින් චෛත්‍යයක නටබුන් ඇත. මෙතැනින් ලැබුණු බුදුපිළිමයක් සියම් රජුට පසුකලෙක තෑගි කළ බව වාර්තා විය.

 

සුනේත්‍රා වැව

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ පිහිටි සුනේත්‍රා වැව බෞද්ධ නටබුන් හා ස්මාරක යටවී යන පරිදි නවීන කෝවිලක් ඉදිකර ඇති බව පුරාවිද්‍යා දෙ. අංක ඊ.සී./බී/ඊ/26 (ii) ලිපි ගොනුවේ 106-108-111 පිටුවල සඳහන් වේ. පෞරාණික බෞද්ධ ස්මාරකවල ගෘහ නිර්මාණමය කොටස් මේ භූමිය පුරා විසිරී තිබේ.

කෝවිල ගොඩනැගීමේදී එම නටබුන් කොටස් ද යොදා ගෙන තිබේ. සඳකඩපහන් පුවරු, පද්මාසන ගල් හා තවත් පුරා වස්තු විශාල ප්‍රමාණයක් මෙහි දක්නට තිබිණි.

(මතු සබැ‍ඳේ)

බන්ධුල ගුණරත්න

 

 

 

නව අදහස දක්වන්න