දළදා මැඳුරේ චිත්‍ර ඇන්ද උල්ලදුපිටියේ සිත්තරු | දිනමිණ

දළදා මැඳුරේ චිත්‍ර ඇන්ද උල්ලදුපිටියේ සිත්තරු

 

ශ්‍රී ලාංකේය චිත්‍ර කලාවේ ආරම්භය විමසන විට ප්‍රාග්-ඓතිහාසික යුගය දක්වා දිවෙන ඉතිහාසයක් හඳුනාගත හැකි නමුත් එම යුගයේ සිට වර්තමානය දක්වා අඛණ්ඩව ගලා එන චිත්‍ර ශිල්පී පරපුරක් ගොඩනැඟීම අපහසු කාර්යයක් වී තිබේ. මහාවංශයේ හා ශිලාලේඛන මූලාශ්‍රවල චිත්‍ර ශිල්පීන් පිළිබඳව සඳහන් වී තිබුණද ඔවුන්ගේ පෞද්ගලික නාමයන් හා පරම්පරා පිළිබඳව සඳහන් නොවේ.

ඒ අනුව නාමිකව ගොඩනඟා ගත හැකි චිත්‍ර ශිල්පී පරම්පරාවක් හඳුනාගත හැක්කේ මහනුවර යුගයේ සිට බව පෙනේ. නමුත් මෙම යුගයේ සිත්තරුන් ද නිර්මාණයන්හි තමන්ගේ නම සඳහන් කිරීමක් නොකළ නිසා එම නිර්මාණයන්හි කර්තෲන් හඳුනා ගැනීමේදී සන්නස්, තුඩපත්, පිං වට්ටෝරු, සීට්ටු, ජනප්‍රවාද මෙන්ම සිතුවම් ලක්ෂණ යන සාධක මත පදනම් වීමට සිදුව ඇත.

උල්ලදුපිටියේ සිත්තර පරපුර යනු කන්ද උඩරට සිතුවම් කලාව පෝෂණය කළ දක්ෂ සිත්තර පරපුරකි. එම සිත්තර පරපුරේ විශේෂත්වය වන්නේ මහනුවර ඓතිහාසික දළදා මැඳුරේ සිතුවම් ඇඳ ඇත්තේ ඔවුන් වන බැවිනි. කන්ද උඩරට සිතුවම් කලාව පෝෂණය කළ සිත්තර පරම්පරා අතර නිලගම, නීලවල, දේවේන්ද්‍ර මූලාචාරියා ප්‍රමුඛ පරපුර හා දෙවරගම්පොල සිල්වත්තැන ප්‍රමුඛ පරපුර යන පැරැණි සිත්තර පරම්පරා මෙරට ජනසමාජයේ ප්‍රචලිතව පැවතිය ද උල්ලදුපිටියේ සිත්තර පරපුර පිළිබඳව සාධක අවමය.

උල්ලදුපිටියේ රාජේස්වර පරපුරේ සිත්තරුන් විහාර චිත්‍ර කලාවේ මෙන්ම කැටයම් කලාවේ ද නියුතු වූ අය වූහ. ඇත්දත් හා රිදීවලින් ඇසළ පෙරහැර නෙළා සම්මාන ලබාගෙන ඇත්තේ ද උල්ලදුපිටියේ විශ්වකුල රාජේස්වර සිත්තර පරපුරේ ශිල්පීහුය. හිඟුල්වල සිටි සිත්තර පිරිසක් පිළිබඳව කරුණු හමුවන අතර ඔවුන් පසුකලෙක උල්ලදුපිටියට පැමිණ පදිංචිව තිබේ. මෙසේ උල්ලදුපිටියේ පදිංචි වුණු ප්‍රධාන සිත්තර පවුල් සංඛ්‍යාව දෙකක් විය.

ඔවුහු 'වෙදගෙදර' හා 'කුඹුරේගෙදර' යනුවෙන් හඳුන්වා තිබේ. එයින් වෙදගෙදර පවුලට අයත් වෙලගෙදර මූලාචාරියා, බත්ගේ හා කොඩිතුවක්කු වසමේ ද සේවය කළ අයකු බව කොඩ්රින්ටන් මහතා සඳහන් කරයි.

උල්ලදුපිටියේ සිටි සිත්තර පවුල්වල අතීතය යටත් පිරිසෙන් ක්‍රි. ව. 16 වැනි සියවසේ අගභාගය තෙක් වන ඈතට දිවෙන බව විමලධර්මසූරිය රජුගේ කාලයට අයත් වන (ක්‍රි. ව. 1592) පැරණි සන්නසක සඳහන් වී තිබේ. උල්ලදුපිටියේ රා‍ජේස්වර හිත්තර ආචාරියකු ගැන ඉන් කියැවෙයි. මීට අමතරව මෙම ප්‍රදේශයේ සිටි තවත් හිත්තර නයිදේ කෙනකු ගැන තොරතුරු සඳහන් වී ඇති අතර හාරිස්පත්තුවේ කුළුගම්මන සියපත්තුවට අයත් එම ගමෙහි පිහිටි දළදා මාලිගාව සතුව පැවැති 'සිත්තර පංගුවක්ද' මේ පෙළපතේ අයට පාරම්පරිකව භුක්ති විඳීමට හැකිවන පරිදි ප්‍රදානය කර තිබේ.

ශ්‍රී ලංකාවේ කවර හෝ බෞද්ධ විහාරාරාමයක් සතුව පැවැති 'සිත්තර පංගුවක්' පිළිබඳ එකම සාක්ෂිය වුණු මෙම ඉඩම් කොටස එම ගම පදිංචිව සිටි දළදා මාලිගයෙහි චිත්‍ර කර්මාන්තවලට සම්බන්ධවුණු සිත්තරුන්ට පරම්පරාගත ලෙස භුක්ති විඳීමට ලබා දී තිබේ.

මෙම ඉඩම් පංගුව භුක්ති විඳින ලද තැනැත්තන් 'වත්තෙගෙදරලාගේ' හා 'ගලේවත්තගේ' යන පෙළපත් නම්වලින් එකල හඳුන්වා තිබේ.

මෙය අක්කරයක ගොඩ ඉඩමක් හා අක්කරයක මඩ ඉඩමක් ද (කුඹුරක්) යනුවෙන් සම්පූර්ණ අක්කර දෙකක වපසරියෙන් යුක්ත වූවකි. එහි සේවය රු. 14.70කට තක්සේරු කොට ඇතත් එය වාර්ෂිකව ද නැතිනම් මාසිකව ද යන්න සඳහන්කොට නැත. එනමුත් අනිත් සෑම නිල පංගුවක්ම (දළදා මාලිගාවට අයත්) සේවය වාර්ෂික ලෙස තක්සේරු කර තිබෙන බැවින් මෙහි සේවයත් වාර්ෂික ලෙසට කරන දළ තක්සේරුවක් ලෙස අනුමාන කළ හැකිය. මෙම ඉඩම් කැබලි දෙක භුක්ති විඳින ලද තැනැත්තන් වසර 10කට වරක් දළදා මැඳුරේ සිතුවම් ඇඳීමට හා එම ස්ථානය අලංකාර කිරීමට බැඳී සිට ඇත.

දළදා මැඳර අලුත්වැඩියා කරන කාලයේ තත් ශිල්පීන්ට අවශ්‍ය ඇඳුම් පැලඳුම්, ආහාර පාන සහ අදාළ අමුද්‍රව්‍ය සැපයූ බවට වාර්තා වී ඇතත් එය ඉටුකරන ලද්දේ දළදා මැඳුර විසින් ද නැතිනම් රාජ්‍ය නිලධාරීන්ගේ මාර්ගයෙන් ද යන්න සඳහන් වී නොමැත. උල්ලදුපිටියේ සිත්තර පංගුව පිළිබඳව කරුණු සොයා බැලීමේ නිරත වූ මහාචාර්ය සෝමතිලක මහතාට අපූර්වතම විස්තරයක් සොයා ගැනීමට හැකි වී තිබේ. දැනට එම ගම පිහිටා ඇති 'සිත්තරගේ කොටුවවත්ත' නමින් හඳුන්වන කුඩා ඉඩම් කැබැල්ල ගැන එම සිත්තර පංගුව ලෙසට එය භුක්ති විඳින තැනැත්තන්ගේ මාර්ගයෙන්ම දැන ගැනීමට ඒ මහතාට හැකි වී තිබේ. මෙම ඉඩම් කැබැල්ල භුක්තිවිඳින ලද තැනැත්තන්ට එය පරපුරෙන් පරපුරට හිමිවෙමින් පැමිණ අවසානයේදී කිරිහාමි මුහන්දිරම් නමැත්තාට පසුගිය සියවස මුල් භාගය වන විට උරුම වී තිබේ.

මෙම කිරිහාමි මුහන්දිරම් යනු දළදා මාලිගාවේ පහළ මාලයේ දකුණුපස වියන් තට්ටුවෙහි චිත්‍ර 1907 වර්ෂයෙහිදී ප්‍රතිසංස්කරණය කරන ලද ශිල්පියාය. ඇඹුල්පුරේ කිරිහාමි මුහන්දිරම් යනු එම ශිල්පියාම වේ. ඒ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ මෙම ඉඩම් කැබැල්ල භුක්තිවිඳින ලද තැනැත්තන් පසුගිය සියවස මුල්භාගය වනතුරුත් ඒ වෙනුවෙන් දළදා මැඳුරේ ප්‍රතිසංස්කරණවලට දායක වූ බවයි.

මාලගම්මන විහාරයේ චිත්‍ර දෙස විමසිල්ලෙන් බලන විට එය පශ්චාත් මහනුවර යුගයට අයත් බවට අනුමාන කළ හැකි වේ. මෙම චිත්‍ර හිඟුල්වල මූලාචාරී, කළුගම්මන කජුගහවත්තේ මූලාචාරී හා ඇඹුල්පුරේ කිරිහාමි සිත්තරා හා උල්ලදුපිටියේ රාජේස්වර සිත්තර නයිදේ ආදීන් විසින් කළ බව විහාරයේ බිත්තියක සඳහන් කර තිබේ.

කුළුගම්මන කජුගහවත්තේ මූලාචාරී හැර අනෙක් සිත්තරුන් තිදෙනාම එකම පරපුරක ශිල්පීන් බව පෙනේ. ඇඹුල්පුරේ යනු හාරිස්පත්තුවේම පිහිටි උල්ලදුපිටිය නම් ගමට යාබදව තවත් කුඩා ගම්මානයක් වන අතර පසු කලෙකදී එම පරපුරේ ඇතැම් සාමාජිකයින් ගමනාගමනය හා වාණිජමය පහසුකම් වැනි දෑ සැලකිල්ලට ගෙන ඇඹුල්පුරේ සිට උල්ලදුපිටිය ගමට පැමිණ පදිංචිව තිබේ.

ඇඹුල්පුරේ කිරිහාමි මුහන්දිරම්ගේ පරපුරට අයත් (ඔහුගේ බෑනා කෙනෙකු වන) දක්ෂ කාර්මික ශිල්පියකු ලෙස පතල දත්තසිංහ මූලාචාරිගේ කරුණාතිලක මහතා සෝමතිලක මහතාට පවසා ඇති පරිදි 1932 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී කිරිහාමි මුහන්දිරම් මහතා මිය යාමෙන් පසු මේ තත්ත්වයට අවශ්‍ය පසුබිම සකස් වී තිබේ. කිරිහාමි මුහන්දිරම්ගෙන් පසුව එම පරපුරටම අයත් බෙහෙවින් වයෝවෘද්ධ තත්ත්වයේ සිටි රත්න විභූෂණ නම් තවත් කාර්මික ශිල්පියකුට පෙර කී සිත්තර පංගුව උරුම වී තිබේ.

එහෙත් පැරණි භාණ්ඩ එකතුකොට ඒවා අලෙවි කිරීමේ වේගවත් ප්‍රවාහයට එකතු වී සිටින ඔහුගේ දූදරුවන්ගේ අවශ්‍යතා නිසා මෙම 'සිත්තර පංගුව' මීට වසර තිස්පහකට හෝ හතළිහකට ඉහතදී මුස්ලිම් ජාතිකයකුට විකිණීමට ඔහුට සිදුව තිබේ. මෙම සිද්ධියෙන් පසුව එම ඉඩම් කැබැල්ල මහනුවර දළදා මැදුර සමඟ කිසිදු සබඳතාවක් නොපෙන්වන අතර එහි සිදුකෙරෙන කවර හෝ ප්‍රතිසංස්කරණ කටයුතුවලට ද අද එම පරපුරෙහි කිසිවකු සහභාගි නොවේ.

මේ තත්ත්වය මෑත කාලයේදී ඇතිවුණු හදිසි ප්‍රවණතාවයක් නොව පසුගිය සියවස මුල්භාගයේදී පමණ සිටම වර්ධනය වී තිබුණු තත්ත්වයක් බව රත්න විභූෂණ මහතා සඳහන් කරයි. තම සම්පූර්ණ ජීවිත කාලය තුළදී හෝ පවුලේ වෙනත් කිසිවකු හෝ ‍දළදා මැදුරේ කෙරුණු ප්‍රතිසංස්කරණ කිසිවකටත් සහභාගි වී නොමැති බව මොහුගේ විස්තරවලින් තහවුරු වී ඇත. දළදා මාලිගය සතුව තිබුණු මෙම සිත්තර පංගුව භුක්ති විඳින ලද තැනැත්තනට එම සේවයෙන් සදාකාලික ලෙස නිදහස් වීමට ඉඩ සලසා දීමෙන් එහි තිබෙන පැරණි සිතුවම් විශාල ලෙස විපරිනාමයකට පත්වීමට මං සලසා දෙන බව විද්වතුන්ගේ මතය වී තිබේ.

හාරිස්පත්තුවේ රජමහ විහාර අතර කුළුගම්මන රජ මහා විහාරයට ද වැදගත් තැනක් හිමිවෙයි. ගම්පල යුගයේ ජීවත් වූ 'රාජගුරු තිස්සව අලගුවත්ත වාසල මුදලි' නම් අමාත්‍යවරයකුගේ මූලිකත්වයෙන් ගම්පල 5 වැනි බුවනෙකබාහු රජු විසින් මෙම විහාරය කරවූ බව විහාරයේ ඇති ලේකම් මිටියක සඳහන් වී ඇත. මාලගම්මන විහාරය කරවා ටික කලකට පසුව එම රජු විසින්ම මෙම විහාරය කරවා ඇති අතර එහි නැ‍ඟෙනහිර පිට බරාඳයේ සූවිසි විවරණ රූප මාලගම්මන චිත්‍රවලට ඉතා සමාන නිසා මෙම සිතුවම් එකම පරපුරකට අයත් බවට මත තිබේ. ඒ අනුව උල්ලදුපිටියේ සිත්තරුන් මෙම විහාරයේ ද සිතුවම් ඇඳි බවට අනුමාන කළ හැකිය. එසේම එම ප්‍රදේශයේ පිහිටා ඇති සෙල්ලාවලී විහාරයේ සිතුවම් ද මෙම පරපුර විසින්ම කරන ලද බවට අදහස් කෙරේ.

 

 

 

උදේනි අරුණසිරි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

රත්නපුර

නව අදහස දක්වන්න