පහසුකම් අවම වුවත් ජනතාවට සේවය කරනවා | දිනමිණ

පහසුකම් අවම වුවත් ජනතාවට සේවය කරනවා

  • උපුල් රෝහණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති
  • වගකිව යුතු මාධ්‍ය ආයතන දූරදර්ශීව කටයුතු කළ යුතුයි
  • ආසාදිතයෙක් හඳුනා ගැනීම සඳහා උපරිම සහය දෙනවා
  • දින දෙකකට වරක් පාසල් පරීක්ෂා කරනවා
  • එන්නත දෙන්නේ පරීක්ෂා කිරීමෙන් පසුයි
  • දත්තවල අවිධිමත් ස්වාභාවයක් දක්නට ලැබෙනවා
  • ආවරණ අඩු එන්නත් ලංකාව තුළ භාවිත කර තිබෙනවා

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය වැඩි වී තිබෙන මොහොතක අ.පො.ස. සා.පෙළ විභාගය පැවැත්වීම පිළිබඳවත්, නව එන්නත පිළිබඳව සමාජය තුළ පවතින බිය සහ විවිධ පුද්ගලයන්ගේ අදහස් හා මත සම්බන්ධවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

l කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය වැඩි වී තිබුණත් බොහෝ ප්‍රදේශවල දරුවන් මේ වන විට පාසල් යනවා. ලබන පළමු වැනිදා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වෙනවා. මේ තත්ත්වය යටතේ පාසල් දරුවන් සුරක්ෂිත ද?

කොවිඩ් තත්ත්වය මත බස්නාහිර පළාත හැරුණු විට අනෙක් පළාත්වල පාසල් සියල්ල ආරම්භ කළා. එම පාසල් තුළ බරපතළ සිද්ධි වාර්තා වුණේ නැහැ. ඊට හේතු වුණේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් විසින් විධිමත් ලෙස චක්‍රලේඛ නිකුත් කර තිබීමයි. එම චක්‍රලේඛවලට අනුව පාසල් බලධාරීන්, මවුපියන් සහ දරුවන් වැඩ කරන බව පෙනෙන්නට තිබුණා. බොහෝ වෙලාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දින දෙකකට වරක් තමන්ට අයිති කොට්ඨාසවල පාසල් පිළිබඳ පරීක්ෂා කිරීම් කරනවා. ඒ අනුව දැනට සිද්ධි කිහිපයක් වාර්තා වුණත් අයහපත් තත්ත්වයක් උද්ගත වෙලා තිබුණේ නැහැ.

සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙනුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. නිරෝධායන වෙන සහ අවදානම් දරුවන් පිළිබඳ තොරතුරු දැනටමත් ලබා ගෙන තිබෙනවා. ඒ තොරතුරුවලට අනුව ඒ ඒ අධ්‍යාපන කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරු මහජන පරික්ෂකවරුන් සමඟ එකතු වී මේ දරුවන්ට වෙනම විභාගය ලියන්න අවස්ථාව උදා කර තිබෙනවා. ප්‍රධාන කණ්ඩායම් තුනක් ඊට අයත්. පළමු කණ්ඩායම ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින ආසාදිත දරුවන්. ඒ දරුවන්ට එම ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළම විභාගයට පෙනී සිටීමේ පහසුකම් සලසා තිබෙනවා. දෙවැනි කණ්ඩායම නිරෝධායන කණ්ඩායම සහ අවදානම් කණ්ඩායමයි. මේ දරුවන්ට වෙනම ස්ථානයක විභාගය ලියන්න පහසුකම් සලසා තිබෙනවා. එහි සිටින පරීක්ෂකවරයාටත් අවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ සපයා සම්පූර්ණ ආරක්ෂාව සපයා තිබෙනවා. අනෙක් දරුවන් විභාග මධ්‍යස්ථානවලට පැමිණිය යුතු ආකාරය පිළිබඳවත් මේ චක්‍රලේඛයේ සඳහන් වෙනවා. සියලු දෙනාම අවදානමකින් තොර බවට තහවුරු කරන ලද ලිපියක් දිය යුතුයි. ඒ වගේම එම දරුවන්ගේ දුරස්ථභාවය රැකෙන පරිදි විභාග මධ්‍යස්ථාන සැකසිය යුතුයි. අත් සේදීම ඇතුළු අදාළ සෞඛ්‍ය පිළිවෙත් සියල්ල සිදුකරන ලෙස සියලු පාසල් වලට උපදෙස් ලබා දී තිබෙනවා. විභාගය පැවැත්වෙන සියලු දිනවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සෑම විභාග මධ්‍යෂ්ථානයක්ම පරීක්ෂා කරනවා. කිසිදු සිදුවීමක් වාර්තා නොවුණොත් දරුවන් සුරක්ෂිතයි කියලා කියන්න පුළුවන්.

l මංගල සාද ආදි විවිධ උත්සව මේ දිනවලත් පැවැත්වෙනවා. විද්‍යුත් මාධ්‍ය නාළිකාවලත් සෙනඟ රැස්වන වැඩසටහන් පැවැත්වෙන බව දක්නට ලැබෙනවා. එවැනි ස්ථානවලදී සෞඛ්‍ය නීති රීති කොතරම් දුරට ක්‍රියාත්මක වෙනව ද?

2020 මාර්තු මාසයේ සිට නිරෝධායන තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. 1897 අංක 3 දරණ නිරෝධායන රෝග ස්පර්ශයන් වෙන් කර තැබීමේ සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනතේ නිසි බලධරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයායි. එම නිරෝධායන තත්ත්වයත් සමඟම 2020 අප්‍රේල් මාසයේ කොවිඩ් නිරෝධායන රෝගයක් විදියට නම් කොට තිබෙනවා. එතැන් සිට රට තුළ ක්‍රියාත්මක වන්නේ නිරෝධායන නීතියයි. මේ නීතියට අනුව රට තුළ සියලුම දේවල් සිදුවෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශ සහ නීතියට අනුවයි. 2020 ඔක්තෝබර් මාසයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් රටේ දැනට තිබෙන්නේ කොවිඩ් 19 තුන්වන මට්ටමේ අවස්ථාවක් බව සඳහන් කළා. ඒ අනුව තුන්වන මට්ටමේ පවතින අවස්ථාවක රට තුළ මෙවැනි උත්සව පැවැත් විය යුතු ආකාරය පිළබඳව දැනුම්වත් කර තිබෙනවා. එම චක්‍රලේඛය අනුව රට තුළ විවාහ මංගල උත්සව සහ අවමංගල උත්සව සඳහා පමණක් අවසර දී තිබෙනවා. අනෙක් උත්සව සඳහා අවසර ලබා දී තිබුණේ නැහැ. ඉන් පරිබාහිරව යම් යම් අවස්ථාවන්වලදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබාදී තිබෙනවා. උදාහරණ ලෙස ටියුෂන් පන්ති ආරම්භ කිරීමට, සිනමා ශාලා විවෘත කිරීමට කිසියම් සීමාවන්ට යටත්ව අවසර දී තිබුණා.

2020 දෙසැම්බර් මාසයේ නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව රට තුළ පැවැත්විය හැක්කේ උත්සව දෙකක් බවත් එනම් මංගල උත්සව සහ අවමංගල උත්සව පමණයි. අවමංගල උත්සවයකදී සහභාගි විය හැක්කේ පුද්ගලයන් 25ක් පමණයි. මංගල උත්සවවලදී නිවෙසක පැවැත්වෙන්නේ නම් පිරිස 50කුත් උත්සව ශාලාවක පැවැත්වෙන්නේ නම් 150 දෙනෙකු සහභාගිකර ගැනීමටත් හැකියාව තිබෙනවා. නමුත් මේ ස්ථාන දෙකෙහිම සහභාගි වන පිරිස මෙන් දෙගුණයක ධාරිතාවක් එම උත්සව ශාලාවේ තිබිය යුතුයි.

ඇතැම් අවස්ථාවල දේශපාලනඥයන් සහ මාධ්‍ය ආයතන සිදුකරන දේ නිසා මහජනතාවට වැරදි පූර්වාදර්ශ ලබා දෙනවා. ඒ වගේම අනෙකුත් අායතනත් අපහසුතාවට පත් වෙනවා. මෙවැනි ස්ථානයන්හිදී අනිවාර්යයෙන්ම කොවිඩ් 19 අලුත් පොකුරක් සහ නිරෝධායන කණ්ඩායමක් නිර්මාණය වීමේ හැකියාව තිබෙනවා. වගකිව යුතු මාධ්‍ය ආයතන ලෙස මීට වඩා දූරදර්ශීව කටයුතු කළ යුතු බව සඳහන් කළ යුතුයි.

l එම මාධ්‍ය ආයතනවල සිදුකෙරෙන වැඩසටහන්වලට අවසර ලබාදීලා තියෙනවා ද?

මහ පාරේ මහජනතාව එක් රැස් කිරීමට අවසර නැහැ. ආයතන තුළ සංගීත වැඩසටහන් සිදුකිරීමට අවසර ලබා දී තිබෙනවා. නමුත් ජනතාව එකතු වෙන්නේ එළිමහනේ. මේ ස්ථානවලට ජනතාව එක්රැස්වීම ජනතාවගේත්, එම ආයතනවලත් වරදක්.

l ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත පිළිබඳ ඇති වී තිබෙන්නේ අතුරු ආබාධවලට ගොදුරු වේ යැයි බියක්. එන්නත් කර ගැනීමට ඇත්තටම බිය විය යුතු ද?

එන්නත මහජනතාවට ලබා දෙන අවස්ථාව වන විට, අදියර කිහිපයකින් පරීක්ෂා කිරීමට ලක් කිරීමෙන් පසුයි එන්නත ලබා දෙන්නේ. ඒ නිසා කිසිම බියක් ඇති කර ගත යුතු නැහැ. දැනට දෙනු ලබන ඇස්ට්‍රා සෙනිකා කොවිඩ් එන්නතේ අතුරුඵල තිබේ යැයි පර්යේෂකයින්ට අනාවරණය වී නොමැති බව වාර්තා සහ දත්ත පරීක්ෂා කරන විට පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. අප මීටත් වඩා ආවරණය අඩු එන්නත් ලංකාව තුළ භාවිත කර තිබෙනවා. ඒ කියන්නේ මීට වඩා අතුරු ආබාධ තිබෙන රුබෙල්ලා එන්නත අප භාවිත කර තිබෙනවා. රුබෙල්ලා එන්නත විදීමෙන් පසු ඇති වුණු අතුරු ආබාධ හේතුවෙන් දරුවන් මරණයට පත් වුණු අවස්ථා පසුගිය කාලයේ දකින්නට ලැබුණා. කොවිඩ් එන්නත දැනට ලක්ෂ එකහමාරක පමණ පිරිසක‍ට දී තිබෙනවා. නමුත් එන්නත විදීමෙන් පසු ඇතිවන අසාත්මිකතා තත්ත්වයන් කිසි දෙයක් සිදු වූයේ නැහැ. ඒ නිසා දීර්ඝ කාලීන අතුරු ආබාධ ඇතිවේ යැයි පිළිගැනීමට හැකියාවක් නැහැ. නමුත් එන්නත පිළිබඳත් කොවිඩ් පිළිබඳත් ලෝකය තවමත් ඉගෙන ගනිමින් ඉන්නවා. එම නිසා කිසියම් අවිනිශ්චිතභාවයක් තිබුණත් ජනතාව සිතන තරම් අහිතකරභාවයක් තිබේ යැයි කියන්න බැහැ. එන්නත පිළිබඳ අවබෝධයක් නොමැති කිසියම් පාර්ශ්ව දක්වන අදහස්වලින් මහජනතාව වික්ෂිප්තභාවයට පත් වී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.

l පාසල් දරුවන්ට, ගැබිනි මාතාවන්ට සහ කිරි දෙන මව්වරුන්ට එන්නත ලබා දෙන්නේ නැහැ. කිසියම් අහිතකරභාවයක් නොමැති නම් ඇයි ඒ අයට මෙය ලබා නොදෙන්නේ?

එන්නත නිෂ්පාදකයන් විසින් දරුවන්ට, ගැබිනි මව්වරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට මෙය ලබා නොදෙන්නැයි කියන්නේ වැඩි හොඳටයි. ඒ අයට මේ එන්නත ලබා දුන්නොත් යම් හානිකර තත්ත්වයන් ඇති වේ දැයි තවම පර්යේෂණ කර තහවුරු කර ගෙන නොමැති නිසා එවැනි තීරණ ගෙන තිබෙනවා. සාමාන්‍ය පුද්ගලයන්ට එන්නත ලබා දීමට සුදුසු යැයි නිර්දේශ කිරීමට පර්යේෂණ තුළින් තහවුරු කර තිබෙනවා.

l එන්නතේ පළමු මාත්‍රාව බොහෝ පිරිසකට ලබා දුන්නා. දෙවැනි මාත්‍රාව ලබාදීමට තරම් ප්‍රමාණවත් එන්නත් තිබෙනවා ද?

මම දන්නා විදියට තවත් එන්නත් තොගයක් ඉල්ලුම් කර තිබෙනවා. එම තොගය යම් විදියකින් නොලැබුණ‍ හොත් දැනට තිබෙන එන්නත් ප්‍රමාණය දෙවන මාත්‍රාව සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ

l දෙවන මාත්‍රාව අදාළ දිනයේ දීමට නොහැකි වුවහොත් එන්නතේ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේවි ද?

මුලින් සඳහන් කළේ දෙවැන මාත්‍රාව සති දෙකකට පසුව ලබා දිය යුතු බවයි. පසුව නව වාර්තාවන්ට අනුව එය සති 10කට පසුව දිය හැකි බව සඳහන් වුණා. එය පරිපූරක මාත්‍රාවක්. ඒ කියන්නේ ශරීරය තුළ ගොඩනැඟුණු ශක්තිය අඩු නොවී ඉදිරියට යෑමට ඇති හැකියාවයි. දෙවැනි මාත්‍රාව ලබා නොදුනහොත් යම්කාල කාලසීමාවකට පසු ප්‍රතිශක්තිකරණය නැති වී යා හැකියි.

l PCR පරීක්ෂණ තවමත් පෙර පරිදිම කෙරෙනව ද? නැතිනම් එහි කිසියම් අඩුවීමක් තිබෙනවා ද?

ආරම්භයේදී ලංකාවේ දවසකට PCR පරීක්ෂණ 8000ක් කළා. පසුව එය 20,000 දක්වා වැඩි වුණා. නමුත් මේ දිනවල 15,000කට පමණ අඩු වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. එයට නොයෙකුත් හේතු බලපාන්නට පුළුවන්. ඇතැම් රසායනාගාරවල අකර්මණ්‍යතා ඇති වීම, කාර්ය මණ්ඩලවල කොවිඩ් ආසාදිත තත්ත්වයන් ඇති වීම සහ PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම අඩු වීම මේ සඳහා බලපා තිබෙනවා. නමුත් අප මේ තත්ත්වයන් උපරිම ලෙස පවත්වා ගැනීම සහ ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සහය ලබාදෙනවා.

l මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරිය සඳහා ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති බව වාර්තා වෙනවා. ඒ ගැන ඔබේ මතය මොකක් ද?

අවම පහසුකම් යටතේ තමයි අපි මේ සේවාව කරන්නේ. පහසුකම් සම්බන්ධව බරපතළ ගැටලු තිබෙනවා. රටේම ජනතාව පීඩාවට පත් වී තිබෙන මොහොතේ අපට තිබෙන සහ ලැබෙන පහසුකම් යටතේ මහජනතාවට සේවයක් සපයන්න අපි බලාපොරොත්තු වෙනවා.

l කොව්ඩ් සම්බන්ධව නිවැරදි දත්ත සමාජයට ලබා දෙන්නේ ද යන්න පිළිබඳ ගැටලුවක් මතු ‍වෙනවා. ඒ පිළිබඳ සඳහන් කළොත්?

සියයට සියයක් නිවැරදි දත්ත දෙනවා යැයි අප කියන්නේ නැහැ. ලබා දෙන දත්ත පිළිබඳ නිශ්චිත දිනයන් පිළිබඳ පරස්පරතා ඇති වී තිබෙනවා. විශේෂයෙන් කොවිඩ් මරණ සහ ආසාදිතයන් වාර්තා කිරීමේ දී මෙය දක්නට ලැබෙනවා. එසේ වීමට ප්‍රධාන කාරණා දෙකක් බලපානවා. පළමු කරුණ ලෙස ආසාදිතයන් වාර්තා කරන්නේ ගෙවී ගිය පැය විසි හතරේ ලෙස සඳහන් වුවත්, ගෙවී ගිය පැය විසි හතර තුළ සිදුකළ PCR පරීක්ෂණ මඟින් තහවුරු වූ සංඛ්‍යාව වාර්තාවලට එකතු වෙනවා. මේ දත්ත ආසන්න වශයෙන් දින තුනකට වඩා පසු වාර්තාවන දත්තයි. ඇතැම් වෙලාවට දින 10ක් පමණ පැරණි දත්ත. රසායනාගාරවලින් දත්ත ලැබෙන විට අවිධිමත්භාවයක් අපට පෙනෙන්නට තිබෙනවා. සාම්පල අස්ථානගතවීම වැනි නොයෙක් ගැටලු ඇති වී තිබෙනවා. එම නිසා දත්තවල පරස්පරතා ඇති විය හැකියි. දෙවැනි කාරණය වන්නේ මරණ සම්බන්ධ දත්තයි. කොවිඩ් ආසාදිත මරණයක් ද යන්න හඳුනා ගැනීමේ ගැටලු ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩලයට සහ මහජනතාවට තිබෙනවා. මිය ගියාට පසු එම මළ සිරුර කොවිඩ් පොසිටිව් වූ විට එය කොවිඩ් මරණයක් බව ලෝකයේ ඇතැම් රටවල් පිළි ගන්නා දෙයක්. ඇතැම් රටවල් කොවිඩ් නිසා රෝහල්ගත වී මරණයට පත් වුණු අය පමණක් කොවිඩ් මරණ ලෙස සලකනවා.

චතුමී පිටිපන

නව අදහස දක්වන්න