අනුරාධපුර ශික්ෂණ රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂකවරයාගේ නිල කාමරයට අගුළු දමලා | දිනමිණ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂකවරයාගේ නිල කාමරයට අගුළු දමලා

අනුරාධපුර ශික්ෂණ රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂකවරයාගේ නිල කාමරය අගුළුදමා වසා දැමීමට කටයුතු කිරීම නිසා සිය රාජකාරි නිසි අයුරින් සිදුකිරීමට නොහැකිවි ඇති බව කියමින් අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම්.ජයතිලක මහතා අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට (24දා) දිනයේ ෆැක්ස් මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඊට අමතරව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතාට උද්ගතව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා මගින් දන්වා ඇති අතර සෞඛය අමාත්‍යංශ ලේකම්වරයාට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරසිංහ මහතාට හා විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල් වෛද්‍යරත්න මහතාටත් ඒ පිළිබඳව දන්වා තිබේ.

අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු පස්දෙනකු සේවයේ නිරතවන අතර ඒ අතර සිටින එක් අධිකරණ වෛද්‍යවරයකු විසින් ගැටුම්කාරි තත්වය නිර්මාණය කර සුළු සේවකයන් හරහා සිය කටයුතු වලට බාධා කරවමින් මහජනතාව අපහසුතාවයට පත්කරනා බව අදාළ අංශ වලට දැනුම්දී තිබේ.

දින කිහිපයක නිවාඩු ලබාගෙන (24දා) දිනයේ සිය කාර්යාලයට පැමිණි අවස්ථාවේ කාර්යාලය දොරගුළු දමා වසා දමා තිබෙන බවත් එහි මිනිස් අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබෙන බවක් දැනගන්නට ලැබුණු බව නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම් ජයතිලක මහතා පැවසුවේය.

තම රාජකාරි සිදුකිරීම සඳහා ලබාදි තිබුණු නිල කාමරයේ මහජනතාවගේ ප්‍රයෝජනය සදහා දුරකථන අංක සහිතව සවිකර තිබූ නාගරික මරණ පරික්ෂක පුවරුව ගලවා ඉවත්කර තිබෙනා බවත් කාර්යාලයේ වායු සමීකරණ යන්ත්‍රයේ ගෑස් නළයක් තියුණු ආයුදයකින් කපා විනාශ කිරීම හා ඕනෑ ස්ථානයක සිට මරණ පරික්ෂණ සිදුකර ගන්නා ලෙස අධිකරණ වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීම නිසා මහජනතාවට සේවය සැපයීම ප්‍රමාද වන බව ඒ මහතා පැවසුවේය.

මේ හේතුවෙන් වැඩ බලන මරණ පරික්ෂකවරුන් පසු ගිය දින කිහිපයේ මරණ පරික්ෂණ පැවත්වීම සිදුකරනු ලැබුවේ මෘත ශරිරාගාරයේ පාංශුකූලය සඳහා වෙන්කර ඇති ස්ථානයේ බවත් (24දා) පරසන්ගස්වැව රිය අනතුරකින් මියගිය දෙදෙනෙකු ගෝමරන්කඩලදි හා තවත් ප්‍රදේශයකදි මියගිය පුද්ගලයෙකුගේ මරණ පරික්ෂණ කටයුතු සිදුකරනු ලැබුවේ අනුරාධපුර උදය මාවතේ පිහිටි පෞද්ගලික නිවෙසක බව ඒ මහතා පැවසුවේය.

එක්තරා වෛද්‍යවරයෙකු ඇති කර තිබෙනා මෙම තත්වය සමග මහජනතාව පොලිසිය හා මරණ පරික්ෂකවරුන් අපහසුතාවට පත්වි සිටිනා බවත් මියගිය පුද්ගලයන්ට නිදහසේ අවසන් ගමන යාමටවත් මෙම තත්වය මත හැකියාවක් නැති බව ඒ මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් වීරවර්ධන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු කියා සිටියේ තමන්ට නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම් ජයතිලක මහතා කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත්කර නැති බවත් මරණ පරික්ෂණ කටයුතු අඩාළවීමක් හෝ දෙපාර්ශ්වය අතර කිසිදු මත ගැටුමක් තමන්ට වාර්ථාවි නැති බව ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර මධ්‍යම විශේෂ-බී.එම්.විජේසූරිය

නව අදහස දක්වන්න