පල්ලේගම ඌරු ගොවිපොළෙන් පළාතම දූෂණය වෙලා | දිනමිණ

පල්ලේගම ඌරු ගොවිපොළෙන් පළාතම දූෂණය වෙලා

ගැබිනි මවුවරු, රෝගීන්, කුඩා දරුවන්ටත් දැඩි දුෂ්කරතා

පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලේගම ප්‍රදේශයේ මහයායවත්ත නැමැති ඉඩමේ පවත්වාගෙන යනු ලබන මහා පරිමාන ඌරු ගොවිපළක් හේතුවෙන් මේ වන විට දැඩි පාරිසරික ගැටලුවක් මතුවී ඇත. එලිබිච්චිය, පල්ලේගම, මැල්ලවලාන ආදී ප්‍රදේශ කීපයකට මෙම ඌරු ගොවිපළෙන් නිකුත් වන දුර්ගන්ධය නිසා මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාව දැඩි දුෂ්කරතාවන් රැසකට මුහුණ පා සිටිති.

දවසේ පැය 24 පුරාම අවුරුද්දේ දින 365ම ඌරු කොටුවේ අපද්‍රව්‍ය වලින් නිකුත් වන දැඩි දුර්ගන්ධය ඉවසමින් මේ ගම්වල මිනිසුන්ට ජීවත්වීමට සිදුව ඇත. ඌරන්ගෙන් පිටවන අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම නිසා ඉන් පිට වන දුගඳ පණ ඇති මිනිසුන්ට නම් ඉවසිය නොහැකි බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. විශේෂයෙන්ම කුඩා දරුවන්, රෝගීන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේද සෞඛ්‍යයට මින් එල්ලවන තර්ජනය අති විශාලය. වර්ෂාව පවතින කාලවලට මින් නිකුත් වන දුඟඳ කිසිසේත්ම ඉවසාගත නොහැකිය. එසේම මිය යන ඌරන්ගේ අපද්‍රව්‍යද කපුටන් හා සුනඛයන් විසින් අවට ඉඩම්වලට ගෙනගොස් දමනු ලබයි. ඇතැම් අපද්‍රව්‍ය කපුටන් විසින් ළිං වලට දැමීම හේතුවෙන් පානීය ජලයද අපවිත්‍ර වන බව අවට ගම්වාසීහු සඳහන් කරති. ජනතාවගේ ශරීර සෞඛ්‍යයට තර්ජනයක් වන ආකාරයට ඉතා අවධිමත් ලෙස පවත්වාගෙන යන මෙම ඌරු ගොවිපළ වහා නවතාදමන ලෙස එහි අයිතිකරුවන්ගෙන් ප්‍රදේශවාසීහු ඉල්ලා සිටියද ඒ විරෝධයටද කන්නොදී මෙම ගොවිපළ පවත්වාගෙන යනු ලබයි. අවසානයේ ප්‍රදේශවාසීන්ට සිදුවූයේ නීතියේ පිළිසරණ පැතීමටය. මේ වන විට කුලියාපිටිය අධිකරණයේ මෙම ඌරු ගොවිපළට විරුද්ධව නඩුවක් පවරා ඇත. ඒත් ‍එම නීතියද නොතකා ගොවිපළ පෙර පරිදිම පවත්වාගෙන යනු ලබයි. දුගඳත් එසේමය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙන්ම මහජන නියෝජිතයෝද නිහඬය. මේ සියලු දෙනාටම සන්තෝෂම් ලබාදෙමින් ඌරු කොටු ව්‍යාපාරිකයා සිය ධන බලයට සියල්ල නිහඬකර නීති විරෝධී ලෙස මෙම සත්ත්ව ගොවිපළ පවත්වාගෙන යන බව ප්‍රදේශවාසීන්ගේ මතය වී ඇත. ගඳ සුවඳ දන්නා වගකිවයුත්තනි මේ ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය තහවුරු කර දෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිති.

වයඹ පළාත් සංචාරක සහ ගිරිඋල්ල සමූහ

නව අදහස දක්වන්න