රාජ්‍ය ඇමැති ලොහාන් බූස්සේ නිරීක්ෂණයක | දිනමිණ

රාජ්‍ය ඇමැති ලොහාන් බූස්සේ නිරීක්ෂණයක

බුද්ධිකා ඉඹුලාන

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා පසුගියදා බූස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

එහිදී මේ බන්ධනාගාරයේ පවතින අඩුපාඩු සහ ඉදිරි සංවර්ධන පියවර පිළිබඳ එම බන්ධනාගාර නිලධාරීන් හා ඇමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.එමෙන්ම බූස්ස බන්ධනාගාරයේ අධිආරක්ෂිත සිරමැදිරි නිරීක්ෂණය කිරීම ද ඇමැතිවරයා විසින් සිදු කළ අතර රැඳවියන්‍ සමඟද කතා බහක නිරත විය.

මෙහිදී සෞඛ්‍ය ඇමැතිනිය සමඟ සාකච්ඡා කර බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට රෝහලක් ඉදිකිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමටත් එම කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම අධිආරක්ෂිත බන්ධනාගාර භුමිය අසල පිහිටා ඇති යුද හමුදා රෝහල් භූමිය බන්ධනාගාර රැඳවුවන්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට යුද හමුදාපතිතුමන් සමග සාකච්ඡා කර අවස්ථාව ලබා ගැනීමටද මෙහිදී සාකච්ඡා විය.

මේ බන්ධනාගාරයේ දැනට පවතින අධිආරක්ෂිත සිරමැදිරි 32කට අමතරව තවත් සිරමැදිරි 32ක් ඉදිරි මාස 2කේදී සදා නිම කිරීම, Body Scanner යන්ත්‍රයක් ලබාදීමට කටයුතු කිරීම, පිටතින් පැමිණෙන පුද්ගලයන් පරීක්ෂා කිරීමට හා ඔවුන්ට රැදී සිටීමට යෝජිත ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීම,පිටත දොරටුව, පැරණි දොරටුව, නව අංශයේ දොරටුව සහ පරිපාලන ගොඩනැඟිල්ල ආවරණය වන පරිදි CCTV කැමරා සවි කිරීම, විශේෂ ගණයේ රෝගී රැඳවියන් රෝහල් කරා රැගෙනයෑමට ආරක්ෂිත ගිලන් රථයක් ලබාදීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීමටත් කටයුතු කරන බව මෙහිදී රාජ්‍ය ඇමැතිවරයා කීය.

දීර්ඝ කාලීනව දරුණු ගණයේ අපරාධකරුවන් සමඟ රැකියාව කිරීමට සිදුවීම නිසා ආතතියට පත්වන බන්ධාගාර නිලධාරීන්ගේ ගැටලු පිළිබඳවද මේ අවස්ථාවේ රාජ්‍ය ඇමැතිවරයාගේ අවධානය යොමු වූ අතර ඒ සඳහා ස්ථාන මාරු පහසුකම් ලබාදීම පිළිබඳ අවධානය යොමු කරන බවද ප්‍රතිඥා දුන්නේය.බූස්ස බන්ධනාගාරයේ,අවස්ථාවන්ට සරිලන පරිදි ප්‍රමාණවත් නිලධාරීන් නොමැති බැවින් අලුතින් බඳවා ගන්නා නිලධාරීන් කඩිනමින් මේ බන්ධනාගාරයට යොමු කිරීමටත්, ආරක්ෂක කටුයුතුවලට අවශ්‍ය බන්ධනාගාර නිලරීන් වෙත ප්‍රමාණවත් ගිනි අවි ලබාදීමට කටයුතු කිරීමටත් ක්‍රියා කරන බව රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.

මෙහිදී බූස්ස බන්ධනාගාරයේ රැඳවූවන් ඉල්ලා සිටියේ ඔවුන්ට සතිපතා තම නිවෙස්වල සාමාජිකයන් ඇමතීමට ලැබෙන ඇමතුම් කාලය වැඩි කිරීමට කටයුතු යොදන ලෙසයි. මේ පිළිබඳව තම අවධානය යොමු කරන බවද රාජ්‍ය ඇමැතිවරයා රැඳවූවන්ට පොරොන්දු වී තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) තුසිත උඩුවර ද ,බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ අධිකාරි එස්.ධම්මික මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.

 

නව අදහස දක්වන්න