ඔස්ට්‍රේලියාව තරගාවලිය සම කරයි | දිනමිණ

ඔස්ට්‍රේලියාව තරගාවලිය සම කරයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ වෙලින්ටන්හිදී ඊයේ පැවැති සිව්වැනි විස්සයි20 තරගයෙන් ලකුණු 50ක ජයක් අත් කර ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු පිල සමත් විය.

මේ සමඟින් තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-2ක් ලෙස සම කර ගැනීමට ද සංචාරයක්ට හැකි විණි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය නවසීලන්තයට ඕවර 18.5කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 106ක් පමණි. පන්දු 18කින් ලකුණු 30ක් රැස් කළ කයිල් ජෙමීසන් නවසීලන්ත පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ටිම් සෙයිෆර්ට් ලකුණු 19ක් සහ ඩෙවෝන් කොන්වේ ලකුණු 17ක් ඉනිමට එක් කළ අතර, සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව ඉක්මවීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණි.

පන්දු යැවීමේදී කේන් රිචඩ්සන් කඩුලු 3ක් බිඳ දැමූ අතර, ඇෂ්ටන් අගාර්, ග්ලේන් මැක්ස්වෙල් සහ ඇඩම් සම්පා කඩුලු 2 බැගින් දවා ගත්හ. හුදෙකලා සටනක නිරත වෙමින් පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් නායක ආරොන් ෆින්ච් නොදැවී ලකුණු 79ක් රැස් කරමින් කණ්ඩායම ලකුණු 150 සීමාවෙන් එපිටට ගෙන ගියේය.

14 වැනි විස්සයි20 අර්ධ ශතකය සඳහා පන්දු 47ක් වැය කළ ෆින්ච් ඉතිරි ලකුණු 29 රැස් කිරීමට වැය කළේ පන්දු 8ක් පමණි. තෙවැනි තරගයේදී ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ ග්ලේන් මැක්ස්වෙල්ට ඊයේ රැස් කළ හැකි වූයේ පන්දු 9කින් ලකුණු 18ක් පමණි.

ෆින්ච් සමඟ එක්ව සාර්ථක සබඳතාවක් ගොඩනැගුවේ ජෙයි රිචඩ්සන් පමණි. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලට පන්දු 21කින් ලකුණු 42ක සබඳතාවක් ගොඩනැඟුණ ද රිචඩ්සන් රැස් කළේ පන්දු 4කින් ලකුණු 7ක් පමණි. පන්දු යැවීමේදී ඉෂ් සෝදි කඩුලු 3ක් සහ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් දවා ගත්තේය.

දෙපිල අතර, තීරණාත්මක පස්වැනි සහ අවසන් විස්සයි20 තරගය හෙට (7) වෙලින්ටන්හිදීම පැවැත්වේ.

 

නව අදහස දක්වන්න