මැණික් පතල් කම්කරුවන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් | දිනමිණ

මැණික් පතල් කම්කරුවන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්

ඉතිහාසයේ පළමු වරට මැණික් කර්මාන්තයේ නියැළෙනා ගැහැනු සහ පිරිමි පතල් කම්කරුවන් උදෙසා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන තිබේ.

ඉකුත්දා (23) එහි මූලික සාකච්ඡාව ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. ලංකාවේ ප්‍රධානතම මැණික් හමුවන ප්‍රදේශ වන ලග්ගල සහ රත්නපුරය ඇතුළු දිස්ත්‍රික්ක රැසක මැණික් රැකියාවේ නිරත වී පසුව අසරණ භාවයට පත්වන කම්කරුවන් වෙනුවෙන් මෙය මහඟු පිළිසරණක් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නාඋල ප්‍රාදේශීය නිලධාරී ඒ. ඩී. සංජීව මහතා කියා සිටියේය.

මෙහි මූලික සාකච්ඡාව සඳහා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි කේ. ඒ. ඒස්. පී. කළුආරච්චි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කල්හාරි ද සිල්වා, දිස්ත්‍රික් නිලධාරී සී. එස් .කුමාර, ලග්ගල ප්‍රාදේශීය ලේකම් එස්. විජයකුමාර් යන මහත්ම මහත්මීන් සහ ලග්ගල මැණික් පතල් කම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් ද මැණික් ලැබෙන ග්‍රාම නිලධාරී වසම් 14ක ග්‍රාම නිලධාරීහු ද එක්ව සිටියහ. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ සහ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහත්වරුන්ගේ ද මාර්ගෝපදේශය ලැබී තිබේ.

 

නව අදහස දක්වන්න