දැන් මම හිතන්නේ චරිතය ගැන පමණයි | දිනමිණ

දැන් මම හිතන්නේ චරිතය ගැන පමණයි

හේෂානි ලියදිපිට

කලා ක්ෂේත්‍රයට අලුතින් පෑයූ තරුවක් ගැන කතා කරන්නයි අද ඉඩ වෙන් වන්නේ. ඇය නමින් හේෂානි ලියදිපිට. නම කියූ පමණින් එක්වරම ඇය කවුදැයි සිහියට නොනැඟෙන මුත්, මේ දිනවල විකාශය වන ‘ධරණි’ ටෙලිනාට්‍යයේ ‘තරුමිණී’ ලෙස ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඇයයි. දක්ෂ නර්තන ශිල්පිනියක් ද වන ඇය, ඇගේ ප්‍රථම ටෙලිනාට්‍ය රංගනය තුළින්ම ඉමහත් ජනප්‍රියත්වයක් ලැබුවාය. මේ ඇය සමඟ සිදු කළ කතාබහකි.

 පළමුවෙන්ම ඔබගේ පෞද්ගලික තොරතුරුවලින් අපි කතා බහ අරඹමු නේද?

මගේ පවුලේ විස්තර කිව්වොත්, මගේ පවුලේ අය ඔක්කොම පස් දෙනෙක් සිටිනවා. අම්මා, අප්පච්චි, අයියා, අක්කා සහ මම. අක්කා විවාහ වෙලා. අයියා අමෙරිකාවෙ. මගේ තාත්තා විශ්‍රාමිකයි. තාත්තා රැකියාව කළේ වරායේ. අම්මා ගෘහනියක්. දැන් ගෙදර ඉන්නෙ මායි, අම්මයි, අප්පච්චි විතරයි. මම පාසල් ගියේ කොළඹ යශෝදරා විද්‍යාලයට මගේ ගම කොළඹ අංගොඩ ප්‍රදේශය.

ඔබ තවමත් උසස් අධයාපනය හදාරන්නියක් නේද?

ඔව්. මම කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක්. මං ප්‍රධාන විෂය ලෙස හදාරන්නෙ පහතරට නර්තනය. ඊට අමතරව අනෙක් නර්තන ශෛලීන් ද හදාරනවා.

මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන අතිශය ජනප්‍රිය ‘ධරණි’ ටෙලිනාට්‍යය ගැන කතා කළොත්, එහි ‘තරුමිණී’ ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ‘තරුමිණී’ ට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් හොඳයි. කෙටි කාලයකින් විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් චරිතයක් ඒක. මගේ ගෙදරට සුබ පැතුම් එවනවා. මල් කළඹ එවනවා. ඒ වගේ හරිම ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා මට. ඉතින් මං හිතනවා චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා සහ මං සාර්ථකයි කියලා. ඒ සතුට මට උපරිමයෙන්ම තියෙනවා.

ඔබ කලා ක්ෂේත්‍රයට නවකයෙක්. ඉතින් ඔබට කොහොමද ‘ධරණි’ නාට්‍යයේ ප්‍රධාන චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණේ?

‘ධරණි’ මට ලැබෙන්නෙ දෙරණ නාළිකාවෙන්. මම මුලින්ම 2020 වසරේදී දෙරණ අවුරුදු කුමරිය තරගයට සහභාගි වෙලා, ඉන් ප්‍රථම ස්ථානය දිනා ගන්න සමත් වුණා. ඉන් පසුව දෙරණ ආයතනයෙන් අවුරුදු කුමාරි අවසන් දොළොස් දෙනාවම සහභාගි කරගෙන Screen Test (තිර පරීක්ෂණ) සිදු කළා. ඒ හරහා ඔවුන් චරිතයේ ලක්ෂණ, ස්වභාවය, ගුණාංග වගේ සියලු දේවල් බලලා ඒ අනුව තමයි මාව සුදුසුයි කියා තෝරා ගත්තෙ. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම මඟ සැලසෙන්නෙ දෙරණ නාළිකාවේ ලක්සිරි වික්‍රමගේ මහතා සහ චරිත් කොතලාවල මතුන්ගේ සහයෝගයෙන්. මාව මුලින්ම මේ ක්ෂේත්‍රයට නැතිනම් මේ තැනට ගෙනාවෙ ඔවුන් දෙපොළ තමයි. ඉන්පසුව මාව යොමු කරන්නෙ ජානක සිරිවර්ධන සහ ශ්‍රියන්ත ප්‍රසාද් යන දෙදෙනාට. ඔවුන් තමයි නිෂ්පාදක සහ අධ්‍යක්ෂකවරයා. ලක්සිරි මහතා මට ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ දැනුමක් ලබා දුන්නා. චරිතය පිළිබඳව. මොවුන් තමයි මේ චරිතයේ ප්‍රධාන අයිතිකරුවන්.

ඔබ එහි මාර්ෂල් ආර්ට් නැතිනම් සටන් ජවනිකාවල අතිශය තාත්වික අයුරින් රඟ දක්වනවා. ඔබ එය සිදුකළේ කොහොමද? ඔබ පුහුණුවීම් කටයුතු කළ ආකාරය නැතිනම් ඔබ ඒවා ඉගෙනගත් ආකාරය කොහොමද? ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළ ආකාරය?

ඔව්. එහි මාර්ෂල් ආර්ට් තමයි කරන්නෙ. ඒ සියලු පුහුණු කටයුතු දෙරණ ආයතනය විසින් අපිට ලබා දුන්නා. ඒ කියන්නෙ ටෙලි නාට්‍යය ආරම්භ කිරීමට මාස තුනකට පමණ පෙර සිටම වගේම ටෙලිනාට්‍යය අතරතුරත් සටන් ජවනිකා පුරුදු පුහුණු කළා. උදෑසන සිට රාත්‍රිය වනතුරුම එක දිගට පුහුණුවීම් සිදු කළා. ප්‍රවීණ මාර්ෂල් ආර්ට් පුහුණුකරුවකු විසින් තමයි අපිට ඒවා ඉගැන්නුවේ. ටෙලිනාට්‍යයේ මගේ පියා ලෙස රඟපාන්නෙත් ඔහුමයි. ඒ මාස්ටර් තමයි අපේ රටේ බොහෝ ටෙලිනාට්‍යවල සටන් ජවනිකා පුහුණු කටයුතු සිදු කරන්නෙ. ඉතින් ඒ ආකාරයට කාලයක් පුරා සිදු කළ පුහුණුවීම් හා කැපවීම්වල ප්‍රතිඵල තමයි අද ඔබ දකින්නෙ.

’තරුමිණි’ කියන්නෙ තරමක් වෙනස් චරිතයක්. ඒ කියන්නෙ ඇය අසාධාරණය වෙනුවෙන් සටන් කරනවා. ස්වාමි පුරුෂයාත් නැතිව දරු දෙදෙනා සමඟ නොයෙක් බාධක මධ්‍යයේ ජීවිතයට මුහුණ දෙනවා. ඒ වගේම ඇය නර්තනයෙත් යෙදෙනවා. මේ වගේ විවිධ භූමිකා රඟදක්වනවා. ඔබ ඒ අභියෝග සියල්ලටම මුහුණ දෙන්නෙ කොහොමද?

ඔව්. මම මෙහි ළද බොළඳ, සුකුමාල ගැහැනු චරිතයක් නෙමෙයි රඟපාන්නෙ. දැනට එහි කොටස් සියයක් විකාශය වී අවසන්. මේ කාලය තුළ පාසල් ශිෂ්‍යාවක් ලෙස, දියණියක් ලෙස, පෙම්වතියක් ලෙස, බිරියක් ලෙස, මවක් ලෙස, ස්වාමියා අහිමි කාන්තාවක් ලෙස ආදී කාන්තාවක් තම ජීවිතය තුළ මුහුණ දෙන චරිත නැතිනම් භූමිකා සියල්ලටම වාගේ මම මුහුණ දුන්නා. මට ඒක විශාල බරක්. මම නිරන්තරයෙන් ඒ චරිතයේ බර හිස මත තියාගෙන ඉන්නෙ. ඒකෙන් මං අදහස් කළේ ඉතාම වගකීමකින් මම මේ චරිතය රඟපානවා කියන එක.

මට මේ චරිතයන් සමඟ සැබෑ ජීවිතයෙදීත් ඇතැම් අවස්ථා වෙනස්ව හිතන්න පුරුදු වෙලා තියෙනවා. සැබෑ ජීවිතයේදීත් ඒ සමානව ඒ චරිතයට අනුගත වෙලා වගේ දැනෙනවා. මේ චරිතය රඟපාන්න පෙර, අපි ඕනෑ තරම් අසාධාරණකම් දැක දැක නිහඬව සිටිනවා. එහෙත් මට දැන් මෙහි රඟපෑමෙන් පසු අසාධාරණකම් හමුවේ නිහඬව ඉන්න අපහසුතා දැනෙනවා. මගේ හිතට ඒක දැනෙනවා. ඉතින් ඒ වගේම පුදුමාකාර ලෙස මම මේ චරිතය වෙනුවෙන් කැපවෙනවා. එහි සාර්ථකත්වය රඳා පවතින්නෙ ඒ හරහා. ප්‍රේක්ෂක ආදරය ලබන්න හැකි වෙන්නෙත් ඒ නිසා. ඒ ආදරය රැකගෙන සාර්ථකව ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව.

ඒ සැබෑ ජීවිතයෙදිත් මෙවැනි කාන්තා චරිත ඕනෑ තරම් අපට හමු වෙනවා. ඒ අය වෙනුවෙන් ඔබට කියන්න තියෙන්නෙ මොනවාද?

ඔව් අනිවාර්යෙන්ම මෙවැනි කාන්තාවො බොහෝ ප්‍රමාණයක් අපේ සමාජයේ සිටිනවා. ඉතින් ඒ අය වෙනුවෙන් මට කියන්න තියෙන්නෙ, ඒ වගේ නොයෙකුත් බාධක, ප්‍රශ්න එන අවස්ථාවල අපි ඒ ප්‍රශ්නවලට මුහුණ නොදී, ඒවා අතහරිනවානම් ඒක වැරදියි. ඒවාට මුහුණ දීලා කෙසේ හෝ ජය ගත යුතුයි. අපි ඊළඟ පියවරට එතැනින් එහාට යා යුතුයි. නැතිනම් අපි ජීවිතයෙන් පරාජය වෙනවා. ඒ නිසා අපිට ජීවිතයේ මුහුණදීමට සිදුවන අභියෝග භාරගත යුතුයි. බුද්ධිමත්ව සිතා බලා කටයුතු කළ යුතුයි.

ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සහ කලා කටයුතු, කාලය කළමනාකරණය කරගෙන සමබරව කරගෙන යන්නේ කොහොමද?

ඇත්තටම කාලය කළමනාකරණය කරගත නොහැකි තරම් වැඩ අධික වෙලා තිබෙනවා. විශ්වවිද්‍යාලයේ දේශන කටයුතු Online හරහා තමයි මේ දිනවල සිදු වෙන්නෙ. එහිදි මගේ විශ්වවිද්‍යාල යහළුවන් බෙහෙවින් මට උදව් කරනවා. Theory notes මට ලබා දෙනවා. ඉතින් මෙලෙස අපහසුවෙන් හෝ සියලු කටයුතු උපරිම ලෙස කරගෙන යනවා.

මේ සියලු කටයුතු සඳහා ඔබට නිවෙසින් ලැබෙන සහයෝගය කොහොමද?

අනේ ඔව්. ගෙදරින් මට විශාල සහයෝගයක් ලැබෙනවා. නිතරම එයාලා මං ගැන සොයා බලනවා. පුළුවන් හැම අවස්ථාවකදීම අප්පච්චි මා සමඟ එනවා. ඉතින් කියා නිමකරන්න බැරි තරම් සහයෝගයක් ලැබෙනවා මට.

ඔබ වේදිකාවට, සිනමාවට සම්බන්ධ වෙන්න ආශාවක් නැතිද?

දැනට මම ‘ධරණ’ ගැන පමණයි හිතන්නෙ. මං හිතන්නෙ මේක සාර්ථකව කරන්නෙ කොහොමද කියන එක පමණයි. ඉතින් එතැනින් එහාට දැනට වේදිකාව හෝ සිනමාව ගැන හෝ කිසිදු අදහසක් නැහැ මට.

ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

නර්තන උපාධිය හොඳින් සම්පූර්ණ කිරීම තමයි මගේ අරමුණ දැනට. දිගටම රංගනයේ නියැළෙනවා කියන අදහස මට නැහැ. හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොත් භාර ගන්නවා. උපාධියෙන් පසුව උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත විමටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනට මේ කටයුතු සියල්ල හොඳින් හා සමබරව කරගෙන, සතුටින් ඉන්න තමයි බලාපොරොත්තුව.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න