යෞවනය දිය වීමට පෙර... | දිනමිණ

යෞවනය දිය වීමට පෙර...

ඇමැති නාමල් රාජපක්ෂ මහතා අපූරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යයි. එනම්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පිහිටුවීමය. එහි ඉලක්කය වී ඇත්තේ යෞවනය ගෙවී යෑමට පෙර තරුණ තරුණියන්ට රැකියා හිමිකරදීමය. අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට අවුරුදු විසිනමය වන විටත් තරුණයකුට ආදායම් මාර්ගයක් නැති නම්, අපේ ආර්ථික සැලසුම්වල විශාල වැරැද්දක් තිබේ. රට තුළ නිදහස් අධ්‍යාපනයක් පවතින්නේ වුව එම අධ්‍යාපනයට ගැළපෙන ආකාරයෙන් රැකියා ලැබෙන ක්‍රමවේදයක් අපට නැත. මේ නිසාම උපාධිධාරීන්ට පියන් වැඩ කරන්නට සිදු වී ඇත. ඉන්දියාව තුළ අපටත් වඩා බරපතළ ලෙස මේ තත්ත්වය දකින්නට ලැබේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට කර්මාන්තශාලාව බැගින් ඉදි වුව හොත් රට තුළ විශාල නිෂ්පාදන ක්‍රියාවලියක් එකවර සිදු වනු ඇත. කම්හලක් යනු රැකියා ගොඩකි. නියමිත ක්ෂේත්‍රයේ රැකියාවලට අමතරව අතුරු රැකියා හා අතුරු ව්‍යාපාර මේ ඔස්සේ බිහි වෙයි. කර්මාන්ත ශාලාව නිසා අදාළ ප්‍රදේශය ද දියුණු වනු ඇත. ගම දියුණු කිරීමට නම්, නගරයේ පහසුකම් ගමට ගෙන යා යුතු යැයි කතාවක් තිබේ. ගමක් තුළ කම්හලක් ඉදි වන විට පොදු පහසුකම් ඉබේම මෙන් වර්ධනය වෙයි. විශේෂයෙන් පාරවල් හා සන්නිවේදන පහසුකම් ඊට ඇතුළත්ය. අමාත්‍යවරයාගේ මේ වැඩසටහන අනාගත ආයෝජනයක් ලෙස ද හැඳින්විය හැකිය.

ආණ්ඩුවට මේ මොහොතේ මෙබඳු විශාල ව්‍යාපෘතියක් කළ හැකි දැ’යි කෙනකු ප්‍රශ්න කරන්නට පුළුවන. තව කෙනකු ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන්නේ කෙසේ දැ’යි විමසන්නට පුළුවන. තවත් කෙනකු විදේශාධාර ගැන කියන්නට පුළුවන. මේ කිසිවක් නැතත්, දේශීය හා විදේශීය ආයෝජකයන් වෙතින් ඉහත ව්‍යාපෘතිය ඉටු කර ගත හැකිය. අවශ්‍ය වන්නේ ඊට අදාළ පසුබිම සකස්කොට රාජ්‍ය අංශයේ මෙහෙය වීම ඒ වෙත යොමු කිරීම පමණි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ තරුණ ජන කණ්ඩායම් ඉලක්ක කරගෙන බැවින් ආයෝජකයන් ස්ව කැමැත්තෙන්ම කම්හල් ඉදි කිරීමට ඉදිරිපත් විය හැකිය. තරුණ පරම්පරාව සමඟ වැඩ කිරීමෙන් වැඩි නිෂ්පාදන සාපල්‍යතාවක් අත්කරගත හැකිය.

රට පුරා ඇති ස්වභාවික සම්පත් දෙස බලන විට ද නිපුණතා සහිත මානව සම්පත දෙස බලන කල ද පෙනී යන්නේ ඒ කිසිවකින් නිසි ප්‍රයෝජන ගැනීමට තවම අප අපොහොසත් බවය. ලෝක ආර්ථිකය ගැන පුරෝකථන ඉදිරිපත් කළ විශේෂඥයන්ට අනුව ඊළඟ දශක කිහිපය ආසියාවට හිමිය. විශේෂයෙන් දකුණු ආසියාවට එහි ප්‍රමුඛ තැන ලැබේ. හොඳම මානව සම්පත දකුණු ආසියාව තුළ ඇතැ’යි මතයක් ද පවතී. මෙයින් පෙනී යන්නේ අප කදිම අවස්ථාවක් හමුවේ පසුවන බවය. නව සංකල්ප, නව යෝජනා හා නව වැඩසටහන් හඳුන්වා දීමට හොඳම කාලය පැමිණ ඇතැ’යි ද කිව හැකිය. තරුණ අමාත්‍යවරයකු වන නාමල් රාජපක්ෂ මහතා සුදුසුම අවස්ථාවේ ඉහත ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යයි.

තරුණ පරපුරේ ප්‍රධාන ගැටලුව කුමක් දැ’යි විමසුව හොත්, ඊට පිළිතුරු දෙකක් නැත. එකම පිළිතුර ජීවනෝපාය හෙවත් රැකියාව යන්නය. ජීවිතය සැලසුම් කරගැනීම සඳහා යෞවනය ගෙවී යෑමට පෙර රැකියාවක් ලැබිය යුතුය. විවාහය, අනාගතය, ගෙවල් දොරවල්, සමාජ පිළිගැනීම යන සියල්ල රැඳී ඇත්තේ රැකියාව හෙවත් ජීවනෝපාය මතය. මාසික ආදායමක් නැති කෙනකුට ජීවිතයට මුහුණ දීම අපහසුය. අවුරුදු විසිනමය වන විට යෞවනය අවසන්ය. ඒ වන විට එක්කෝ විවාහ වී සිටිය යුතුය. නැත හොත් විවාහයට සූදානමින් සිටිය යුතුය. මේ අවස්ථා ගිලිහී යන විට ජීවිතය අසාර්ථක වෙයි. එබඳු අය සමාජයට වෛර කරන්නට පටන් ගනිති.

මීට දසක තුනකට පමණ පෙර තරුණ අසහනය නමින් මාතෘකාවක් සමාජය තුළ සංවාදයට ලක් විය. එම මාතෘකාව රටේ ප්‍රධාන ගැටලුව වූ අතර, උසස් විභාගවලදී ද මීට අදාළ ප්‍රශ්න යොමු කරන ප්‍රවණතාවක් පැවතිනි. 1971 කැරැල්ල, 1988 – 1991 කැරැල්ල හා උතුරේ දෙමළ ත්‍රස්තවාදයත් තරුණ අසහනයේ ප්‍රතිඵලයක් හැටියට විග්‍රහ කරනු ලැබේ. නිදහසින් පසු රට පාලනය කළ නායකයන් තරුණ පරම්පරාව ගැන ‍හොඳින් කරුණු හදාරා රාජ්‍ය පාලනය ගෙන ගිය බවක් පෙනෙන්නට නැත. ඇතැම් ක්ෂේත්‍රවල හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ පවා බොහෝ සෙයින්ම අසාර්ථක විය. තරුණ පරම්පරාවේ මූලික ගැටලු කෙරෙහි අවධානය යොමු නොකිරීම ඊට හේතුව ලෙස දැක්විය හැකිය.

තරුණ අසහනය සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිෂන් සභා වාර්තා, සමීක්ෂණ ආදිය දෙස බලන විට ප්‍රධාන කරුණු කිහිපයක් අවධාරණය කළ හැකිය. තරුණ පරම්පරාව ලබාගත් අධ්‍යාපනයට සුදුසු රැකියාවක් නොලැබීම එක ගැටලුවකි. තරුණ පරම්පරාව නොසලකා හැරීම තව ගැටලුවකි. සමාජ විසමතාව හා අධ්‍යාපනයේ විසමතාව තවත් හේතුවකි. මේවා අවසන් ලෙස නවතින්නේ රැකියාව ළඟය. රැකියාවක් ඇතොත් ජීවිතයෙන් අඩක් සම්පූර්ණ වී ඇත. ඉතිරි අඩ ස්ව උත්සාහයෙන් ජය ගත හැකිය. තරුණ පරම්පරාව රාජ්‍ය අංශයේ රැකියා කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන්නේ වුව ඒ මතම රැ‍ඳෙන බවක් දැකගන්නට නැත. පෞද්ගලික අංශයේ රැකියා වෙතින් වැඩි ආදායමක් මෙන්ම ශීඝ්‍ර දියුණුවක් ද ලද හැකි බව අද තරුණයෝ දනිති.

දේශපාලකයන් නව සංකල්ප ඔස්සේ රටේ ගැටලු විග්‍රහ කරගැනීමටත් ඒ ඔස්සේ විසඳුම් ක්‍රියාමාර්ග සකස් කර ගැනීමටත් පෙලැඹීම යහපත් ප්‍රවණතාවකි. තරුණ අමාත්‍යවරයකු වන නාමල් රාජපක්ෂ මහතා අලුත් දැක්මකින් තරුණ හා ක්‍රීඩා කටයුතු මෙහෙය වන බව දැනටම සනාථ කර තිබේ. අප ඉහතින් සඳහන් කළ ව්‍යාපෘතිය ද ඊට සාක්ෂියක් ලෙස පවතී. මෙබඳු වැඩසටහන්වලට දේශපාලන අධිකාරියේ මෙන්ම පොදු සමාජයේ ද සහයෝගය ලැබිය යුතුය.

නව අදහස දක්වන්න