රන්ජන්ගේ මන්ත්‍රී ධුර අහෝසිය වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරනවා ද? | දිනමිණ

රන්ජන්ගේ මන්ත්‍රී ධුර අහෝසිය වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරනවා ද?

නෙල්කා මැදගෙදර

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට පියවර ගැනීම වළක්වාලන අතුරු නියෝගය නිකුත් කරනවාද ? නැද්ද? යන්න පිළිබඳ නියෝගය අද (05) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම රිට් තීන්දුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා මහත්වරුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ ප්‍රකාශයට පත් කෙරේ.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන තුරු රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා ලෙස දන්වමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අභියාචනාධිකරණය නිකුත් කර තිබූ නියෝගය ද අද (05) දක්වා බලපැවැත් වේ.

පාර්ලිමේන්තු මහලේකම් විසින් තමාව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වාලන ප්‍රොහිබිෂන් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රංජන් රාමනායක මහතා මෙම පෙත්සම ගොනු කර තිබිණි.

විදානපතිරණ ඇසෝසියේට් නීතිඥ සමාගම මාර්ගයෙන් රංජන් රාමනායක මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

2020 වසරේ අගෝස්තු 05 වැනිදා පැවති මහමැතිවරණයට සමඟි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කර තේරී පත් වූ තමා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කොට බරපතළ වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම කෙරුණු බව පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා කියා සිටියි.

ඉන් අනතුරුව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුසු බවට නීතිපතිවරයා විසින් මතයක් ඉදිරිපත් කර ඇතැයි ඉකුත් ජනවාරි 19 වනදා ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වූ බවත්, එමගින් පෙත්සම්කරුගේ මන්ත්‍රී ධූරය පුරප්පාඩු වී ඇති බවට උපදෙස් දී ඇතැයිද ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබූ බවද රංජන් රාමනායක මහතා සිය රිට් පෙත්සමේ සඳහන් කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මහලේකම් විසින් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (1) වගන්තිය යටතේ පෙත්සම්කරුගේ මන්ත්‍රී ධූරය පුරප්පාඩු වී ඇති බවට මැතිවරණ කොමසාරිස් ජනරාල් වෙත දැනුම් දුන්න ද එහෙත් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මෙතෙක් පියවර ගෙන නොමැති බවට විශ්වාසදායි ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇති බවද පෙත්සම්කරු කියා සිටියි.

තවද මරණ දඩුවම නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාටත් මේ වන තෙක් සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තු මහලේකම්වරයා පියවර ගෙන නොමැති බැවින් පෙත්සම්කරු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් පියවර නොගතහොත් අප්‍රතිකාරී හානියක් සිදු වන්නේ යැයිද රාමනායක මහතා සිය පෙත්සමින් පෙන්වා දී ඇත.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, පාර්ලිමේන්තු මහලේකම් විසින් පෙත්සම්කරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වාලන අතුරු නියෝගයක්ද නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබිණි.

නව අදහස දක්වන්න