බක් මහේ අඳුරු දවස | දිනමිණ

බක් මහේ අඳුරු දවස

හරියටම මීට වසර පනහකට පෙර -එනම් 1971දී- අද වැනි දිනක සන්නද්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පොලිසිවලට පහර දුන්හ. එවකට රාජ්‍ය නායිකාව ලෙස ක්‍රියා කළ සිරිමාවෝ මැතිනිය පැහැර ගෙන ගොස් මරා දැමීමට සැලසුමක් තිබුණු අතර, එය කිසියම් හේතුවක් නිසා අසාර්ථක විය. කැරැලිකරුවෝ වරකාපොළ, දෙණියාය, රාජාංගණය, වැල්ලවාය, ඌරගහ ඇතුළු පොලිස් ස්ථාන ගණනාවක් සිය අණසකට යටත් කර ගත් අතර, තවත් ස්ථාන කිහිපයකදී පරාජයට පත් වූහ. මේ කැරලිකාර කණ්ඩායම මහජනයා අතර ප්‍රචලිත වූයේ ‘චේ කල්ලිය‘ යනුවෙනි. එහි නායකයා වූයේ රෝහණ විජේවීරය. ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලය එලෙස දේශපාලන ඉතිහාසයට එකතු වන්නේ 1971 අප්‍රේල් 05 වනදාය. කැරැල්ල නිමාවට පත් වූයේ රටට බරපතළ විනාශයක් ද තරුණ පරම්පරාවේ විශාල පසුබෑමක් ද ඇති කරමිනි.

දහනව වන සියවස තුළ ලෝක දේශපාලනයේ කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ සන්නද්ධ අරගල ඔස්සේ ආණ්ඩු බලය අත් පත් කර ගැනීම හා සමාජවාදි ආණ්ඩු පිහිටුවීමය. එය ලෝක තරුණ ප්‍රජාව අතර බෙහෙවින් ආස්වාදනීය අත්දැකීමක් වුව ද බොහෝ අවස්ථාවල ඔවුහු පරාජයට පත් වූහ. අරගලවල සාර්ථකත්වයක් දක්නට ලැබුණු රුසියාවේ, චීනයේ හා කියුබාවේ මහජන සහයෝගය එම අරගලවලට ලැබුණු අතර, තවත් බොහෝ ස්ථානවලදී මහජන සහයෝගයකින් තොරව තරුණ කැරලි ක්‍රියාත්මක විය. හංගේරියානු අරගලය සාර්ථක වී ආණ්ඩුවක් පිහිටුවනු ලැබූව ද කෙටි කලකින් එය බිඳ වැටිණි. මහජන සහයෝගයකින් තොරව රාජ්‍ය බලය පවත්වා ගැනීම අසීරුය. ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ අද පවා මේ යථාර්ථය වටහා ගෙන නැත.

1971 කැරැල්ල හඳුන්වනු ලබන්නේ ‘ළදරු වලිප්පුවක්‘ හැටියටය. එය ශ්‍රී ලංකාවේ දේශපාලන යථාර්ථය වටහා ගැනීමකින් තොරව අපරිණත නායකයකු යටතේ සිදු වූ මෝඩ කැරැල්ලක් ලෙස විග්‍රහයට ලක් වී ඇත. විප්ලවයකට අවශ්‍ය සමාජ ආර්ථික හා දේශපාලනික පසුබිමකින් තොරව කැරැල්ල ක්‍රියාත්මක විය. එලෙසම චේ සංවිධානයේ ව්‍යූහාත්මක සංවිධානය හා සැලසුම් අසාර්ථක විය. රෝහණ විජේවීර 1965 දී පමණ සිය සංවිධානය පිහිටුවන අතර, 1971දී -එනම්; වසර හයකදී- ප්‍රහාරය ක්‍රියාත්මක කළේය. විජේවීර මේ සඳහා උත්තේජනය ලබන්නේ ටැන්සානියාවේ සැන්සිබාර් දූපතේ සිදු වූ සන්නද්ධ අරගලයෙන් යැයි කියති. එම අරගලය මෙහෙයවන්නේ විජේවීරගේ මිතුරෙකි. ඔවුහු රුසියාවේ ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ සමකාලීනයෝ වූහ.

සමාජවාදය කෙරෙහි විශ්වාසය තැබූ ශ්‍රී ලංකාවේ පැරණි වම හා ජනතා විමුක්ති පෙරමුණ අතර අහසට පොළොව මෙන් දූරස්ථභාවයක් පවතී. සමසමාජ නායකයන් මෙන්ම කොමියුනිස්ට් නායකයන් ද හැඳින්විය හැක්කේ දේශපාලන අත්දැකීම් සහිත පරිණත පුද්ගලයන් හැටියටය. ඔවුන් ශ්‍රී ලංකාවේ සමාජ-සංස්කෘතිය හොඳින් වටහා ගෙන සිටි අතර, දේශපාලන වශයෙන් විනාශකාරී ක්‍රියාවලට අත තැබුවේ නැත. ජනතා විමුක්ති පෙරමුණ සිය දෙවන කැරැල්ල ඇති කරන්නේ වඩාත් සාහසික ක්‍රියාවලියකට නැඹුරු වෙමිනි. එහ දී වමේ නායකයන් මරා දැමීමත් ඔවුන්ගේ ඉලක්කයක් බවට පත්ව තිබිණි. රටේ ආර්ථිකය බිඳ දැමීම, ජන ජීවිතය අඩාළ කිරීම හා සමස්ත සමාජය භීතියට පත් කිරීම ඔවුන්ගේ උපායමාර්ග බවට පත්ව තිබිණි.

1971 කැරැල්ල මෙන්ම 1988-1991 කැරැල්ල ද හැඳින්විය හැක්කේ රටේ ආර්ථිකයට හා තරුණ පරම්පරාවට බරපතළ හානියක් සිදු කළ අපරිණත දේශපාලන උත්සාහයන් හැටියටය. ජවිපෙ දෙවන කැරැල්ලේදී මෙරට තරුණ පරම්පරාවෙන් හැටදහසක් දෙනා රටට අහිමි වූ බව නිල වාර්තාවල සඳහන් වේ. එහෙත් නිල නොවන ආරංචිවලට අනුව එම ගණන එක්ලක්ෂ විසිදහසකි. රටට සිදු වූ ආර්ථික අලාභය මුළුමනින් ගණන් බලා නැත. කැරලිකරුවෝ කිසිදු හේතුවකින් තොරව ලංගම බස්වලට ගිනි ලෑහ; දුම්රියවලට ගිනි ලෑහ; රජයේ කාර්යාල විනාශ කළහ. දෙවන කැරැල්ලේදී ජවිපෙ සිදු කළ තවත් බරපතළ අපරාධයක් වන්නේ රටේ බුද්ධිමතුන්, කලාකරුවන් හා නිදහස් මතධාරි ප්‍රභූන් කිසිදු හේතුවකින් තොරව ඝාතනය කිරීමය. එක් අතකින් ජාතික ආර්ථිකය විනාශ කළ කැරලිකරුවෝ තව අතෙකින් මිනිස් ඝාතන සිදු කළහ.

ශ්‍රී ලංකාවේ රැඩිකල් දේශපාලන ප්‍රවණතා විශ්ලේෂණය කරන මධ්‍යස්ථ දේශපාලන විචාරකයෝ ජවිපෙ කැරලි අනුමත කරන්නේ නැති වුවද, තරුණ පරම්පරාව ඒ කෙරෙහි නැඹුරු වීමට බලපෑ හේතු සාධක ඇති බව පිළිගනිති. සමාජ අවශ්‍යතා ඉටු නොවීම, ආදායම් බෙදී යෑමේ විසමතාව, විරැකියාව, කුල පීඩනය, ගම නොසලකා හැරීම වැනි සාධක ඒ අතර පවතී. දෙවන කැරැල්ලේ ප්‍රධාන සටන් පාඨයක් වූ ‘කොළඹට කිරි අපට කැකිරි‘ යන්න මීට හොඳම සාක්ෂියකි. ඒ සටන්පාඨය ගොඩනැඟී ඇත්තේ අධ්‍යාපනයේ ඇති විසමතාව පාදක කරගෙනය. අද පවා එම විෂමතාව මුළුමනින් පහ වී නැත. ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මෙහිදී සිදු කර ඇත්තේ තරුණ අසහනය ස්වකීය දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා විනාශකාරි ලෙස යොදා ගැනීම යැයි කිව හැකිය.

අද වන විට ලෝකයේ කිසිදු රටකින් විමුක්තිකාමි සන්නද්ධ අරගල ගැන වාර්තා වන්නේ නැත. එබඳු සංවිධාන ඇති වුව ඒවාට පැවැත්මක් තිබේ යැයි කිව නොහැකිය. විමුක්ති අරගල වෙනුවට ත්‍රස්තවාදි සංවිධාන හා අන්තවාදි සංවිධාන බිහි වන ලෝක ප්‍රවණතාවක් දක්නට ලැබේ. ඒවාට ද පැවැත්මක් නැත. ත්‍රස්තවාදය පරාජය කිරීමේ ලෝක උත්සාහයක් පවතී. සන්නද්ධ අරගලය, ත්‍රස්තවාදය, අන්තවාදය එකම හැඳින්වීමකට යටත් කිරීම සුදුසු නැති වුව මේ සියලු ව්‍යාපාරවල අවසන් ප්‍රතිඵලය වන්නේ විනාශය මිස අන් දෙයක් නොවේ. ජවිපෙ කැරලි දෙකෙන් මෙන්ම උතුරේ ත්‍රස්තවාදයෙන් ද අපට පාඩම් දෙකක් උගත හැකිය. පළමු පාඩම වන්නේ: ජනතා සහයෝගයක් නැති දේශපාලන ව්‍යාපාරවලට පැවැත්මක් නැත යන්නය. දෙවන පාඩම වන්නේ: තරුණ පරම්පරාවේ පොදු ගැටලු කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට ආණ්ඩු උත්සාහ කළ යුතු බවය.

ජනතා විමුක්ති පෙරමුණ ‘ඉල් මහ විරු සමරුවට‘ රට පුරා පෝස්ටර් අලවා තිබේ. එබඳු සමරුවක් පැවැත්වීමේ අයිතිය එම පක්ෂයට තිබේ. එහෙත් රෝහණ විජේවීර ජාතික වීරයෙක් ද? යන්න ජනතාවට ගැටලුවෙකි.

නව අදහස දක්වන්න