ෆාම් තෙල් - කටුපොල් තහනම ! | දිනමිණ

ෆාම් තෙල් - කටුපොල් තහනම !

ෆාම් තෙල් ආනයනය තහනම් කිරීමට ද කටුපොල් වගාව තහනම් කිරීමට ද රජය පියවර ගෙන තිබේ. මෙය පවතින සමාජ ආර්ථික ගැටලු ගණනාවකට විසඳුමක් ලෙස සැලැකිය හැකිය. පිරිසුදු පොල් තෙල් පිළිබඳ ගැටලුවට මෙයින් එක්තරා විසැඳුමක් ලැබේ. කටුපොල් වගාව තහනම් කිරීම නිසා ප්‍රදේශ ගණනාවක පාරිසරික ප්‍රශ්නවලට විසැඳුමක් ලැබෙනු ඇත. ඒ හැරෙන්නට පොල්, රබර් වැනි සාම්ප්‍රදායක වගාවන්ට ද මේ මගින් හොඳ කලක් උදාවනු ඇත. 1977 විවෘත ආර්ථිකය ස්ථාපිත වීමත් සමඟ විදේශයන්හි නිෂ්පාදිත භාණ්ඩ වර්ග විශාල ප්‍රමාණයක් රටට කඩා වැදුණේය. එයින් දේශීය කර්මාන්ත බිඳ වැටුණු අතර සාම්ප්‍රදායක වගාවන්ට ද මරු පහරක් වැදිණි. විවෘත ආර්ථිකයේ ආනයන ප්‍රතිපත්තිය රටේ ආර්ථිකය විකෘති කර තිබේ.

ෆාම් ඔයිල් සාමාන්‍ය ජනතාව අතර ප්‍රකට එළවළු තෙල් හැටියටය. එළවළු තෙල් යැයි කියූව ද ඕනෑම ශාකයකින් ගනු ලබන තෙල් ෆාම් තෙල් ලෙස හැඳින්විය හැකිය. ෆාම් තෙල් මෙරටට ගෙන්වීම ආරම්භ වන්නේ 1985 දීය. එවක් පටන් ෆාම් තෙල් ආහාර නිෂ්පාදනය සඳහා යොදාගත් අතර, පසු කලෙකදී පොල්තෙල් සමඟ කලවම් කරන්නට පටන් ගත්තේය. පිරිසුදු පොල්තෙල් පිළිබඳ ගැටලුව මතුවන්නේ ෆාම් තෙල් කලවම් කිරීමත් සමඟය. පසුගිය කාලය පුරාවට ෆාම් තෙල් ආනයනය උනන්දු කරන ලෙස බදු ප්‍රතිපත්ති වෙනස් විය. ඒ අනුව පොල්තෙල්වලට ප්‍රධාන ආදේශකය ලෙස ෆාම් තෙල් පැවැතිණි. ෆාම් තෙල්වල ප්‍රමිතිය සොයා බලන පරීක්ෂණ ද නොපැවැත්විණි.

1940 ගණන් වන විට ලෝකයේ හොඳම පොල්තෙල් නිෂ්පාදකයා බවට කීර්ති නාමයක් දිනා ගන්නට ශ්‍රී ලංකාව සමත් විය. එවකට කොළඹ වරායෙන් ලොව හොඳම පොල්තෙල් පිටරටට බෙදා හැරිණි. එහෙත් 1980 ගණන් වන විට එම තත්ත්වය වෙනස් විය. පසු කලෙකදී රටේ පරිභෝජනයට අවශ්‍ය පොල්තෙල් ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට අපි අපොහොසත් වී ඇත්තෙමු. මේ අනුව පොල්තෙල් ආනයනය කිරීමට සිදුවිය. පොල්තෙල් පමණක් නොව, පොල් ගෙඩි ආනයනය කළ අවස්ථා කිහිපයක් ද තිබේ. පොල් වගාවට සැලැකිය යුතු හානියක් සිදුකළේ කටුපොල් වගාවය. එක අතෙකින් රබර් හා පොල් ඉඩම් කටුපොල් වගාව සඳහා යොදා ගැනිණි. තව අතෙකින් කටුපොල් යොදා ගෙන ෆාම් තෙල් නිෂ්පාදනය ආරම්භ කැරිණි.

ශ්‍රී ලංකාව තුළ මුලින්ම කටුපොල් වගාව ආරම්භ වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේය. ගාල්ලේ නාකියාදෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක කටුපොල් වගාව ව්‍යාප්ත විය. එය කෙතරම් ව්‍යාප්ත වූයේද යත්, හෙක්ටයාර් 2000ක් පුරා කටුපොල් වගාව පැතිරිණි. මේ වගාව නිසා බරපතළ පාරිසරික හානි සිදුවන බව හෙළිදරව් වූයේ පසු කලෙකදීය. කටුපොල් වවන ප්‍රදේශවල ජල උල්පත් සිඳී යයි. කටුපොල් ආශ්‍රයෙන් ‍ෆාම් තෙල් නිෂ්පාදනය කරන කම්හල් නිසා අවට පරිසරය අපවිත්‍ර වෙයි. කටුපොල් වගාව ඇති සෑම ප්‍රදේශයක්ම කෙමෙන් ශුෂ්ක ප්‍රදේශයක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. මේ ගැටලු පැවැතිය ද කටුපොල් වගාව නතර වූයේ නැත. ෆාම් තෙල් ආනයනය නතර වූයේ ද නැත.

ආනයනික පොල්තෙල්වල පිළිකා කාරක විෂ රසායන අඩංගු බව හෙළිදරව් කරගත්තේ පසුගියදාය. එහෙත් මීට පෙර ගෙන්වන ලද පොල්තෙල් විද්‍යාත්මක පරීක්ෂණවලට ලක්කොට ඒවායෙහි විෂ රසායන ඇති බවට කරුණු හෙළිදරව් කරගෙන තිබුණේ නැත. ප්‍රමිති ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ආනයනික ආහාර ද්‍රව්‍යවල ප්‍රමිතිය පිළිබඳ සොයා බැලිය යුතු වුව එවැන්නක් සිදුවූ බවට ප්‍රසිද්ධ සඳහනක් නැත. එක්කෝ පරීක්ෂණ නිසි අයුරින් සිදුවී නැත. නැතහොත් දේශපාලන බලය යොදා ගෙන ව්‍යාපාරිකයන් තම අරමුණු දිනාගෙන ඇත. මෙවර සිදුවූ හෙළිදරව්වෙන් පසු ආනයනික ආහාර ද්‍රව්‍ය ගැන නැවත සිතා බලන්නට ජනතාව පෙලැඹී සිටිති. එය වැදගත්ය. පිටරටින් එන ඕනෑම කුණුගොඩක් භාර ගැනීම හා මහ ඉහළින් පිළි ගැනීම අප සිදුකරගත් බලවත් වැරැද්දකි.

මේ වැරැද්දේ මුල විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හා එහි ආනයන වැඩපිළිවෙළ යැයි කිව හැකිය. 1977න් පසු අපේ වෙළෙඳපොළ පිටරට බඩුවලින් පිරී ගියේය. ආහාර ද්‍රව්‍ය, විසිතුරු භාණ්ඩ, ඇඳුම්, වාහන, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ පමණක් නොව, සෙල්ලම් බඩු පවා ඒ අතර තිබිණි. සරුංගල් ද පිටරටින් ආනයනය කැරිණි. මෙහි භයානක ප්‍රතිඵල කිහිපයක් තිබේ. එක ප්‍රතිඵලයක් වන්නේ ව්‍යාපාරිකයන්ට ප්‍රමිතියෙන් තොර බාල භාණ්ඩ ගෙන් වීමට අවස්ථාවක් ලැබීමය. දෙක විෂ රසායන සහිත ආහාර ද්‍රව්‍ය දේශීය වෙළෙඳපොළට නිකුත් වීමය. තුන, දේශීය ගොවියා ස්වකීය භාණ්ඩ අලෙවි කර ගත නොහැකිව අන්ත අසරණ තත්ත්වයකට පත් වීමය. මේ ක්‍රමය නිසා ගොවියා විනාශ විය. පාරිභෝගිකයා අසරණ විය. තෘප්තිමත් වූයේ ව්‍යාපාරිකයා පමණි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වන්නේ දේශීය ගොවියා සුරක්ෂිත කරන බවට ද දේශීය ආර්ථිකය ශක්තිමත් කරන බවට ද පොරොන්දුවක් දෙමින්ය. මෙහි එක් පියවරක් වූයේ ආනයන සීමා කිරීමය. දේශීය වශයෙන් වගා කළ හැකි ධාන්‍ය, කුළුබඩු ඇතුළු භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම තහනම් කැරිණි. මේ අනුව වෙළෙඳපොළ තුළ තාවකාලික ලෙස භාණ්ඩ හිඟයක් ඇති විය හැකිය. මිල ඉහළ යෑමක් ද ඇති විය හැකිය. එහෙත් ඒ දෙකම තාවකාලිකය. කහ ප්‍රශ්නය නිදසුනක් ලෙස ගත හැකිය. කහ ආනයනය තහනම් කළ සැණෙන් භාණ්ඩ හිඟයක් ඇති විය. මිල ශිඝ්‍රයෙන් ඉහළ ගියේය. එහෙත් රටේ සෑම තැනකම කහ වවන්නට පටන් ගැනිණි. මේ වන විට කහ මිල පහත බැස තිබේ. ලබන වසරේ අස්වැන්න ලැබෙන විට කහ ගැටලුව මුළුමනින්ම විසැඳී තිබෙන්නට පුළුවන.

නිවැරැදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් සමාජ ආර්ථික ගැටලු බොහොමයක් පහසුවෙන්ම විසඳාගත හැකිය. අලුත් අවුරුදු සමයේ පොල්තෙල් ගැටලුව නිසා සැලැකිය යුතු කැලැඹීමක් ඇති විය. දේශීය පොල්තෙල් නිෂ්පාදකයා ශක්තිමත් තැනෙක පසුවූයේ නම්, මේ ගැටලුව මතු වන්නේ නැත. දේශීය පොල්තෙල්වල පිළිකාකාරක විෂ රසායන නැත. රටට අවශ්‍ය තරම් පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා එම කර්මාන්තකරුවන් දිරිගැන්විය යුතුය. කටුපොල් වගාව තහනම් කිරීම ද ෆාම් තෙල් ආනයනය තහනම් කිරීම ද මේ අතින් බලනවිට අතිශය වැදගත් පියවරකි. එයින් දේශීය පොල්තෙල් නිෂ්පාදකයා දිරිගැන්වෙනු ඇත.

නව අදහස දක්වන්න