ද. ආසියාවේ ක්‍රියාශීලිම රට කිරීමේ අරමුණින් ‘ෆැමිලි රන් සැටඩේ’ 10දා කොළඹින් ඇරඹේ අද පාපැදි ක්‍රීඩාවේ ප්‍රබෝධයත් සමඟ වින්කලේට වැඩ වැඩි වෙලා - ඇමැති නාමල් රාජපක්ෂ | දිනමිණ

ද. ආසියාවේ ක්‍රියාශීලිම රට කිරීමේ අරමුණින් ‘ෆැමිලි රන් සැටඩේ’ 10දා කොළඹින් ඇරඹේ අද පාපැදි ක්‍රීඩාවේ ප්‍රබෝධයත් සමඟ වින්කලේට වැඩ වැඩි වෙලා - ඇමැති නාමල් රාජපක්ෂ

ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේදී.  ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් රයිසින් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතා ද මෙහි සිටී. ඡායාරූපය - සුලෝචන ගමගේ

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ක්‍රියාශීලීම රට බවට පත් කිරීමේ වැඩ පිළිවෙළේ තවත් අදියරක් ලෙස ‘ෆැමිලි රන් සැටඩේ‘ දිවීමේ හා ඇවිදීමේ ක්‍රීඩා වැඩ සටහන එළැඹෙන 10 වැනි සෙනසුරාදා පෙරවරු 6.00ට පිලිප් ගුණවර්ධන මාවතේ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී ආරම්භ වෙයි.

ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව දැනට ක්‍රියාත්මක පාපන්දු සිකුරාදා හා පැපැදි ඉරිදා වැඩසටහනට අමතරව මේ ‘ෆැමිලි රන් සැටඩේ‘ දිවීමේ හා ඇවිදීමේ ක්‍රීඩා වැඩ සටහන සෑම සෙනසුරාදාවකම පැවැත්වේ. නිරෝගී පරපුරක් බිහි කිරීමේ අරමුණින් පවුලේ සියලු සාමාජිකයන් ව්‍යායාමයට යොමු කිරීම නවතම වැඩ සටහනේ අරමුණ වේ.

ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ වන ‘ෆැමිලි රන් සැටඩේ‘ දිවීමේ හා ඇවිදීමේ ක්‍රීඩා වැඩසටහන මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත ඔස්සේ ශ්‍රී ලංකා පදනම් මාවතට පිවිස, නිදහස් මාවත, මේට්ලන්ඩ් පෙදෙස, බෞද්ධාලෝක මාවත, කිංසිපාර ඔස්සේ ආර්. ජී. සේනානායක මාවතට පිවිස, විජේරාම මාවත, මේට්ලන්ඩ් පෙදෙස, මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් ඔස්සේ පිලිප් ගුණවර්ධන මාවතේ අමාත්‍යාංශය ක්‍රීඩා ඉදිරිපිටින් නිමාවට පත් වේ.

ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය හා ලංකා ස්පෝට්ස් රයිසින් සමග එක්ව ‘ෆැමිලි රන් සැටඩේ‘ දිවීමේ හා ඇවිදීමේ ක්‍රීඩා වැඩසටහන හඳුන්වා දී ඇත. නිරෝගී දිවි පෙවතක්, කාර්ය බහුල ජීවන රටාවකට සම්බන්ධ කර ගැනීම සඳහා ශාරීරික ව්‍යායෑම් අත්‍යාවශ්‍ය වන හෙයින් මේ වැඩ සටහන සමාජය තුල උනන්දුවක් ඇති කරනු ඇතැයි ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා විශ්වාසය පළ කළේය.

‘ෆැමිලි රන් සැටඩේ‘ දිවීමේ හා ඇවිදීමේ ක්‍රීඩා වැඩෙසටහන හඳුන්වා දෙමින් පෙරේදා ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ මාධ්‍ය හමුවක් පැවැති අතර, එහිදී සඳහන් වූයේ මේ මාර්ගය විශේෂ පොලිස් ආරක්ෂාවක් සහිත කිලෝමීටර් 5ක දුරකින් යුක්ත එකක් වන බවය. මේ සඳහා සහභාගී වන අය ලියාපදිංචි වීමක් සිදුකළ යුතු නොමැති අතර, පෙරවරු 6 සිට පෙරවරු 8 දක්වා ඕනෑම අයකුට දිවීමේ හා ඇවිදීමේ ක්‍රීඩා වැඩසටහනට මාර්ගය විවෘතව පවතී.

" අප කලින් ආරම්භ කළ පාපැදි වැඩසටහන ඉතාම සාර්ථක වී තිබෙනවා. පසුගිය ජාතික මහා ක්‍රීඩා උලෙළේ පාපැදි තරග සඳහා වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් එක්වීමෙන් පැහැදිලි වෙනවා පාපැදි ක්‍රීඩාවට දැන් තියෙන උනන්දුව. පාපැදි ක්‍රීඩාවේ ප්‍රබෝධයත් සමග වින්කලේට වැඩ වැඩිවෙලා. ක්‍රීඩා ආර්ථකයක් ගොඩ නැගීමේදී ඒ හා බැඳුණු කාරණාවක් ලෙස එය හඳුන් වන්න පුලුවන්. පාපන්දු සිකුරාදා වැඩ සටහනත් දැන් රටපුරා ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මව්පියන් හා දරුවන් සම්බන්ධ වීමෙන් අපේ අරමුණ දැන් ඉටුවෙමින් පවතිනවා. මේ අලුත් වැඩසටහනින් අපේක්ෂා කරන්නේ පවුලේ සියලු දෙනා සෑම සෙනසුරාදා දවසක දිවීමේ හා ඇවිදීමේ ක්‍රීඩා වැඩසටහනට සම්බන්ධ කොට ක්‍රියාශීලී මට්ටමට ගෙන ඒමයි" රාජපක්ෂ මහතා පැවැසීය.

දිවීමේ හා ඇවිදීමේ ක්‍රීඩා වැඩසටහනට භූමියේ වැදගත්කමක් නොමැති හෙයින් රටපුරා ඕනෑම අයකුට මේ සඳහා තම තමන්ගේ ප්‍රදේශවල කටයුතු ආරම්භ කළ හැකි බව ද ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය. ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් රයිසින් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ, ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලාල් ඒකනායක මහත්වරුන් සමඟ ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශය භාර නිලධාරීහු පිරිසක් ද මාධ්‍ය හමුවට එක් වූහ.

 

 ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න