පාස්කු දා ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකළ එදා ආණ්ඩුවේ පිරිස් නඩු ප්‍රමාදය ගැන කියන කතා විහිළුවක් - ඇමැති චමල් රාජපක්ෂ | දිනමිණ

පාස්කු දා ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකළ එදා ආණ්ඩුවේ පිරිස් නඩු ප්‍රමාදය ගැන කියන කතා විහිළුවක් - ඇමැති චමල් රාජපක්ෂ

නඩු දැමීම ප්‍රමාද කළේ  ජනාධිපති කොමිසමේ වාර්තාව එන කල්

ඇමැති, ආචාර්ය සරත් වී‍ර‍සේකර

පාස්කු දා ප්‍රහාරය දැවැන්ත දේශපාලනීකරණයට ලක් වෙලා

ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල

ත්‍රස්තවාදීන්ට එරෙහිව නවීන තාක්ෂණය යොදා ගන්නැයි අමාත්‍ය මණ්ඩල අනුකමිටුව යෝජනා කර තිබෙනවා

ඇමැති ප්‍රසන්න රණතුංග මහතා

 

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ එදා ආණ්ඩු පක්ෂයේ සිටි පිරිස් අද නඩු පැවරීමේ ප්‍රමාදයක් ගැන කතා කිරීම විහිළුවක් යැයි වාරිමාර්ග කැබිනට් ඇමැති හා ජාතික ආරක්ෂාව, ආපදා කළමනාකරණ හා අභ්‍යන්තර කටයුතු රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා පැවැසීය.

චමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ඉදිරි කටයුතු පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට ඊයේ (6) සහභාගි වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද කීය.

පසුගිය ආණ්ඩුවේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ අන්තවාදී සංවිධාන ගැන පාර්ලිමේන්තුවේදී දීර්ඝ ප්‍රකාශයක් සිදු කළා. ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැති රජය නිසි පරිදි ක්‍රියාමාර්ග ගත්තාද? වගකිවයුතු පාර්ශ්වයන් ඒ පිළිබඳව මඟහැරීමක් සිදු කළාද? එදා විජයදාස රාජපක්ෂ කරපු ප්‍රකාශය ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ. විපක්ෂය එදා ආණ්ඩු පක්ෂයේ සිටි කාලයේදී මේකට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. සාමූහිකව වගකියන ඇමැති මණ්ඩලයක එක් ඇමැතිවරයෙක් මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ පසු අනිත් සියලු ඇමැතිවරු ඔහුගේ ප්‍රකාශය පිළිබඳ දැඩි අවධානයක් යොමු කර නීතිමය අංශ මෙහෙයවන්න තිබුණා. ඒ වගකීම පැහැර හැරල තියෙනවා. ඒ නිසා තමයි අතිවිශාල විනාශයක් වුණේ. මොහොමඩ් ඉබ්‍රහිම්ට මුදල් ඉපැයීමට ආධාර අනුබල දුන්නේ කවුද? ඒ මුදල් කොහොමද බෙදිලා ගියේ. ඒ අරමුදල් දේශපාලන පක්ෂවලට දීලා තියෙනවා. එවැනි පුද්ගලයෙක් 2015 මැතිවරණය සඳහා ජාතික ලැයිස්තුවෙන් ‍නම් කරනවා නම් ඔහු පිළිබඳ ඉතා දැඩි විශ්වාසයක් තියෙන්න ඕනේ. ඔහුගේ දරුවන් හා පවුලේ අය මේවාට සම්බන්ධ වෙලා තියෙනවා නම් පොඩි ‍ හෝ ආරංචියක් ඒ පක්ෂවලටත් තියෙන්න ඕනේ. ඔවුන්ගේ පාලනයෙන් එහා ගිහිල්ලා නම් ඔවුන්ගේ වගකීම තමයි අපරාධ විමර්ශන ඒකකවලට දැනුම් දීම. ඔවුන් ගැන තොරතුරු සඟවා සිටීමත් ලොකු වරදක්. ඒ ගැන සොයන්න කියලා අපිට නිර්දේශ කරන්න සිද්ධ වෙනවා.

ඒ වගේම අපරාධ විමර්ශන අංශයේ දැනට ඉන්න නිලධාරීන් විශාල ප්‍රමාණයක් අලුත් නිලධාරීන්. සී. අයි. ඩී.ය බොහෝම දක්ෂ කීර්තිමත් නිලධාරීන් සේවය කරපු තැනක්. දැන් ඒ අය විශ්‍රාම ගිහින් සිටින්නේ. රට වෙනුවෙන් ඔවුන්ගේ දැනුම, පළපුරුද්ද විදෙස් බුද්ධි අංශ සමඟ තිබූ සම්බන්ධකම් පිළිබඳව දැන් සිටින නිලධාරීන්ට හඳුන්වා දීමට අපි යෝජනා කරනවා. අප්‍රේල් 21 දා සිද්ධියෙන් පසුව පොලිසිය මොකක්ද කළේ? මේ සිද්ධිය කාගේ අතපසුවීමකින් ද වුණේ? ඇයි ආරක්ෂාව සංවිධානය නොවුණේ? අනාගතයේදී මෙවැනි සිද්ධින් යළි සිදු නොවීමටත්, ඒ සඳහා ආරක්ෂක අංශවලට දිය යුතු පුහුණුව දීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තෙන් නීතිපති දෙපාර්තමේන්තුව හැකි ඉක්මනින් ඒ අවශ්‍ය සාක්ෂි හා පොලිසිය සිදු කරපු විමර්ශන වාර්තා කඩිනම් කරගෙන ජනතාව අපේක්ෂා කරපු අවශ්‍ය නීතිමය කටයුත්ත සිදු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා- පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කමිටු විශාල ප්‍රමාණයක් තිබුණා. බෝම්බ ප්‍රහාර 8 සම්බන්ධයෙන් උද්ධෘත ගොනු 8ක් (විමර්ශන හා සාක්ෂි අඩංගු) දැනටමත් නීතිපතිවරයාට ඉදිරිපත් කර තියෙනවා. එහි 32ට විරුද්ධව මනුෂ්‍ය ඝාතන හා සාමයට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම සඳහා වූ සාක්ෂි ගොනු ඉදිරිපත් කර තියෙනවා. නීතිපතිවරයා ඔවුන්ට විරුද්ධව නඩු දැමීම කල් දැම්මේ ජනාධිපති කොමිසමේ වාර්තාව එනකල්. දැන් නීතිපතිවරයා නීතිඥවරු 12 සමන්විත කණ්ඩායමක් යොදවා සාක්ෂිවල පරස්පරතාවන් විමර්ශනය කරනවා. ඉදිරියේදී නීතිපති විසින් අවශ්‍ය පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන්නට කටයුතු කරයි.

එතකොට මේ සිද්ධියට සෘජුව සම්බන්ධ වූ සැකකරුවන් 32කට විරුද්ධව නඩු පවරන්න අවශ්‍ය සාක්ෂි පොලිසිය විසින් ඉදිරිපත් කරල තියෙනවා. නමුත් විමර්ශන තවත් ඉදිරියට කරගෙන යනවා. පෙරේදාත් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. අයි.එස්. පන්ති පවත්වපු හා ඊට මුදල් යොදවපු අය ගැන විමර්ශන කරගෙන යන නිසා අද වන විට 75 දෙනෙක් රැඳවුම් නියෝග මත තබාගෙන සිටිනවා. 211ක් රිමාන්ඩ් භාරයේ ඉන්නවා. 75 දෙනා සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වනවාත් සමඟ ඒ අයටත් නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කරනවා.

නීතිපතිවරයා මත තමයි සම්පූර්ණ වගකීම තියෙන්නේ. ජනාධිපති කොමිසමේ සාක්ෂි සහ ‍පොලිසිය විසින් ඉදිරිපත් කරපු සාක්ෂි, උද්ධෘත ගොනු හොඳට පරික්ෂා කරල අවශ්‍ය පුද්ගලයින්ට නඩු පවරන්න පුළුවන්.

සාරා ජස්මින් තැනැත්තිය මැරුණ ද නැද්ද කියලා අපිට තවම කියන්න බැහැ. මොකද පලවෙනි DNA ප්‍රතිඵලවලින් ඒක සනාථ වුණේ නැහැ. සාරාගේ මවගේ DNA සමඟ සැසඳුණේ නැහැ. ශරීර කොටස් විශාල ප්‍රමාණයක් තියෙනවා. සාරා මැරිලා නැත්නම් ඉන්ටර්පෝල් එක හරහා රතු නි‍වේදන නිකුත් කරනවා. නැවත වතාවක් DNA පරීක්ෂණවලින් සනාථ කරගන්න උත්සාහ කරනවා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීතිපතිවරයා බලන්නේ හොඳම විදියට නීතියේ හිඩැස් ඇති නොවන අයුරින් නඩු පැවරීමට කටයුතු කරන්නයි. සමස්ත ජනතාව බලාගෙන ඉන්නේත් ඒ ගැන. සහරාන්ට පඩි ගෙවපු කතාව සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. කාටහරි ඒ ගැන සාක්ෂියක් තියෙනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන්න. සහරාන්ට විතරක් නෙමෙයි කාටවත් රජයේ වේතනයක් දීලා නැති බව ඉතාම වගකීමෙන් කියනවා.

ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා- පාස්කු ප්‍රහාරය සම්බන්ධව දැවැන්ත දේශපාලනීකරණයක් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම මෙතෙක් ගත්ත ක්‍රියාමාර්ග ගැන සෑහීමකට පත් නොවන බව කියනවා. දේශපාලන නාටකයක් බවට පත් කිරීමේත් වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක වෙනවා. පාස්කු ප්‍රහාරයේ හංගන්න කිසිම දෙයක් අපට නැහැ. අපිට එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ අයට නීතිය ක්‍රියාත්මක කිරීමටයි අපට අවශ්‍ය වන්නේ. මෙවැනි දෙයක් නැවත සිදු නොවීමේ වගකීම පවතින රජයක් හැටියට අපට තිබෙනවා.

අපේ කවුරුහරි කෙනෙක් වරදක් කරල තියෙනවා නම් දඬුවම් දෙන්න ඕනේ. රජයකට කියන්න බැහැ අරයට නඩු දාන්න, මෙයාට නඩු දාන්න කියලා. පසුගිය යහපාලන යුගයේදී අරලියගහ මන්දිරයේදී තීන්දු කළා කාටද නඩු දාන්නේ කියලා. ඒ ක්‍රමය වෙනස් කරන්න තමයි හැටනව ලක්ෂයක් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ. ඒ නිසා මෙවැනි කරුණකට අපි කිසිම විදියකට සම්බන්ධ වෙන්නෙත් නැහැ. ඒ සම්බන්ධයෙන් අපේ දායකත්වයක් දක්වන්නේ නැහැ. කොමිෂන් සභා වාර්තාවේ යම් නිර්දේශ ඇතුළත් වෙනවා නම් ඒවා ක්‍රියාත්මක කිරීමට අයිතිය තිබෙන්නේ නීතිපතිවරයාට. ඒ සම්බන්ධව අපේ කිසිදු අකුල් හෙළීමක් නැහැ.

සංචාරක කටයුතු ඇමැති ප්‍රසන්න රණතුංග මහතා -

ත්‍රස්තවාදීන්ට එරෙහිව නවීන තාක්ෂණය යොදා ගන්න කියා මේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් යෝජනා කර තියෙනවා. ඒ අනුව ඊට අදාළ අණපනත් සකස් කර පාර්ලිමේන්තුවට භාරදෙන්න කියා ආරක්ෂක අමාත්‍යාංශයට යෝජනා කළා.

 

පහන් විජේසේකර

නව අදහස දක්වන්න