අරගල කරන්නේ ආණ්ඩුව රැක ගන්නයි - ඇමැති, නීතිඥ උදය ගම්මන්පිල | දිනමිණ

අරගල කරන්නේ ආණ්ඩුව රැක ගන්නයි - ඇමැති, නීතිඥ උදය ගම්මන්පිල

ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් කරන බව සත්‍ය බවත් එය කරන්නේ ආණ්ඩුව නැති කිරීමට නොව රැකගැනීමට බවත් බලශක්ති ඇමැති, නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා (02) අවිස්සාවේල්ල සාලාව කොස්වත්තර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ ප්‍රදේශයේ ගොවිපවුල් රැසකට සිය කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජල පහසුකම් සපුරාලමින් සිදු කෙරෙන මේ ව්‍යාපෘතිය වෙනුවෙන් පැවැති උත්සව සභාව අමතමින් බලශක්ති ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය:

‘වාරි සෞභාග්‍යය වැඩසටහන මේ ආණ්ඩුවේ දැවැන්තම ව්‍යාපෘතියක්. වාරිමාර්ග ටික අපි හදන්නේ ඇයි? මෙතෙක් කල් අපි හිතාගෙන හිටියේ පිට රට දේ සිරි සැප දේ කියලා. බඩුවක් ගත්ත ගමන් බලන්නේ මේඩ් ඉන් (Made In) කොහෙද කියලා. හරි ආඩම්බරයෙන් කියන්නේ පිටරට එකක් වුණාම. 77න් පස්සේ තමයි මේ සංස්කෘතිය ආවේ. දැන් ඉන්දියාවේ නම් ප්‍රධාන තේමාව තමයි බී ඉන්දියන් බයි ඉන්දියන් (Be Indian Buy Indian) ඉන්දියාවේ දේවල් මිල දී ගෙන ඉන්දියානුවෙක් වෙන්න. ඉන්දියාවේ ඉපදුණ පමණින් ඉන්දියාවේ ජීවත්වෙන පමණින් ඉන්දියානුවෙක් වෙන්න බෑ. කන්න බොන්න අඳින්න පළඳින්න හැමදේටම ඉන්දියාවේ දෙය ගන්නවා නම් පමණයි සැබෑ ඉන්දියානුවෙක් වෙන්න පුළුවන්. ඒකම ඕස්ට්‍රේලියාවේ ගියාමත් කැන්ගරුවෙක් ඇඳලා ලොකු බෝඩ් ගහලා කියනවා ඔස්ට්‍රේලියානුවෙක් වෙන්න නම් ඔස්ට්‍රේලියානු දේ මිලදී ගන්න කියලා.

හැබැයි අපේ සාඩම්බරය අහවල් රටේ දේ ගත්තයි කියන එක. අපි නිකං ජීවත් වුණේ ලංසි වත්තෙ නැන්සි වගේ. හැමදේම වියදම් කරලා ගන්නවා. හැබැයි වියදම් කරන්න සල්ලි කෝ. අපි අවුරුද්දකට පිටරටින් බඩු ගන්නවා ඩොලර් බිලියන 20ක විතර. හැබැයි තේ රබර් පොල් ඇඟලුම් ඔක්කොම විකුණා හම්බ කරන්නේ ඩොලර් බිලියන 10 යි. ඉතින් බිලියන 10ක් හම්බ කරල බිලියන 20ක් වියදම් කරනවා කියන්නේ ලන්සි වත්තේ නැන්සි වගේ. මොකද ආදායම් වගේ වියදම දෙගුණයක්. බොරු ෂෝ එකක් තමයි කරගෙන ගිහින් තිබෙන්නෙ. හැමදාම මේක කරන්න බැහැ. අපි ලෝකෙට ණයයි. ඩොලර් බිලියන හතළිහක් ණයයි. ණයට හිලව් වෙන්න තිබෙන සම්පත් එකිනෙක පිටරටට දුන්නොත් මොකද වෙන්නෙ. උපන් බිමේ වහල්ලු විදිහට අපිට ජීවත් වෙන්න සිදු වෙනවා.

ඒක නිසා මේක අපි වෙනස් කළ යුතුයි කියලා දැකලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්

තීරණයක් ගත්තා අපිට වවන්න පුළුවන් හැම දේම මේ පොළොවේ වවන්න. කොතරම් දුෂ්කර වුණත් ආනයනය නතර කරනවා. තුවාලෙට බෙහෙත් දාද්දි රිදෙනවා තමයි. අපි පුංචි කාලේ බෙහෙත් දාන හෙදියගේ අතත් හූරනවා. අපි අඬනවා. හැබැයි රිදෙනවා වුණත් තුවාලෙට බෙහෙත් දැම්මොත් තමයි හොඳ වෙන්නේ. රිදෙනවා කියලා තුවාල ඔහේ තියෙන්න ඇරියා නම් තුවාලෙ වැඩි වෙලා අප අපහසුවට පත් වෙනවා. ජනාධිපතිතුමා ඒ රිදෙන වැඩේ පටන් අරන් තිබෙන්නෙ. අපිට අමාරුයි; බනිනවා. හැබැයි රට ගොඩ ගන්න තිබෙන්නේ මේ ක්‍රමය විතරයි.

දේශපාලකයා ඊළඟ මැතිවරණය ඉලක්ක කර ගෙන තීරණ ගන්නා අතර රාජ්‍යතාන්ත්‍රිකයා ඊළඟ පරම්පරාව ඉලක්ක කරගෙන තීරණ ගන්නවා කියලා ප්‍රකාශයක් තිබෙනවා. අද ගෝඨාභය රාජපක්ෂ කියන රාජ්‍යතාන්ත්‍රිකයා දේශපාලනයෙන් ඔබ්බට ගිහිල්ලා හෙට එන ඡන්දෙට මොකද වෙන්නේ කියලා නෙවෙයි හෙට ඉපදෙන පරම්පරාවට මොකද වෙන්නේ කියලා හිතලා තීරණ ගන්න නිසයි අද මේ රටේ අලුත් වෙනසක් සිද්ධ වෙන්නෙ. 70 - 77 යුගයෙත් කරන්න හැදුවේ මේ ටිකම තමයි. ජනතාව දරාගන්න බෑ කියලා ආණ්ඩුව පරාජය කරලා ගෙදර යැව්වා.

 

උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න