අත්-පා අහිමි වූ දමිළ සිවිල් ආරක්ෂක භටයන්ට කෘතිම අත් හා පාද | දිනමිණ

අත්-පා අහිමි වූ දමිළ සිවිල් ආරක්ෂක භටයන්ට කෘතිම අත් හා පාද

2009 වර්ෂයේ අවසන් මානුෂීය මෙහෙයුම අවසන් වීමෙන් පසු උතුරු නැඟෙනහිර දමිළ තරුණ තරුණියන් පුනරුත්ථාපනය කර රටට වැඩදායි පුරවැසියන් බවට පත් කිරීම සඳහා එවකට ජනාධිපතිව සිටි වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙන ගිය සංකල්පයකට අනුව එවකට ආරක්ෂක ලේකම්ව සිටි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත 2010 /2012 වර්ෂයන්හි සැලකිය යුතු දමිළ තරුණ, තරුණියන් ප්‍රමාණයක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් වශයෙන් බඳවා ගැනිණි.

ඔවුන් බඳවා ගැනීමෙන් පසු උතුරු ප්‍රදේශයේ හිස් ඉඩම් සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තු වෙත පවරාගෙන කෘෂි ව්‍යාපෘති ආරම්භ කර, ඔවුන් එම ව්‍යාපෘතිවල රාජකාරියෙහි යොදා, විශ්වමඩු, මුලතිව් හා කිලිනොච්චි වශයෙන් බළලකා තුනක් ස්ථාපනය කර පාලන කටයුතු මේ දක්වා සිදු කරයි.

බඳවා ගැනීම් සිදු කළ ද මුල් අවස්ථාවේදී මොවුන් වෙත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම් හා මූලික පුහුණුව ලබාදීමට කටයුතු නොකළ අතර, 2015.04.23 වන දින මෙම සේවය ස්ථිර කිරීමෙන් පසු එම අයවලුන් වෙත අවි පුහුණුව නොමැතිව මූලික පුහුණුව ලබාදී නිල ඇඳුම් ලබා දීමට කටයුතු කෙරිණි.

එසේ බඳවා ගත් පුනරුත්ථාපන සෙබළ සෙබළියන් අතරින් 103 දෙනකු ක්‍රියාන්විතයන්හිදී ආබාධිත වී ඇති අතර, ඉන් 64 දෙනකු අත් පා අහිමිව පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව ඇති අතර එම භට පිරිස් වෙත රාජ්‍ය මට්ටමින් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් කෘතිම අත් හා පාද ලබාදීමට කටයුතු කර නැත.

එම හේතුවෙන් ඔවුන් සකසා ගත් කෘතිම අත් හා පාද උපයෝගි කරගනිමින් දෛනික කටයුතු කරගෙන යන හෙයින් වර්තමාන සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් තුමාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාපතිතුමාගේ සහයෝගය ඇතිව ඔවුන් වෙත කඩිනමින් කෘතිම අත් හා පාද ලබාදීම සූදානම් කෙරෙණි.

අත් හා පාද අහිමි පුනරුත්ථාපන දමිළ සිවිල් ආරක්ෂක භටයන්ට කෘතිම අත් හා පාද සැකසීම සඳහා අවශ්‍ය මිනුම් ලබා ගැනීම පෙරේදා (5) දින අනුරාධපුර අබිමන්සලදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ අනුරාධපුර බළකායේ අණ දෙන නිලධාරී කර්නල් හර්ෂ ප්‍රේමචන්ද්‍ර මහතාද සහභාගී විය .

චිත්‍රාරත්න කළුආරච්චි

හිදෝගම සමූහ

නව අදහස දක්වන්න