කණුගහවැව ඒකාලෝක කළ අලුත් අරුණැල්ල | දිනමිණ

කණුගහවැව ඒකාලෝක කළ අලුත් අරුණැල්ල

ශ්‍රී ලාංකේය සියලු ජාතීන්ට මහත් හිසරදයක්ව පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම නිමාවට පත් කරමින් සාමයේ පරෙවියන් රට තුළ ඉගිල වූ ඓතිහාසික අවස්ථාවට මේ වන විට වසර දොළහක් පමණ ගත වී තිබේ. දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශයන්හි පැවැති ත්‍රස්තවාදය හේතුවෙන් අහිංසක ජීවිත දහස් ගණනක් මේ මාතෘ භූමියට අහිමි වූ අතර බිලියන ගණනක් වටිනා දේපළ ද විනාශයට පත් විය. කෙසේ නමුත් වීරෝදාර රණවිරුවන්ගේ උදාරතර කැපකිරීම සහ දැඩි අධිෂ්ඨානය හේතුවෙන් ත්‍රස්තවාදය මුළුමනින්ම අවසන් කොට සාමය උදා කර ගැනීමට හැකිවීම සමස්ත ජාතියටම නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාව ලබා දීමකි.

ශ්‍රී ලංකාව තවත් අභියෝගයකට මුහුණ දෙමින් සිටින පසුබිමක මේ ඵෙතිහාසික සිදුවීම සම්බන්ධයෙන් කතා කළ ද ත්‍රස්තවාදය පරාජය කරමින් ජාතිය ලද ජයග්‍රහණය සැමදා සිහිපත් කළ යුතුය. 1975 ජූලි 27 වැනි දා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා, නල්ලුර් කෝවිල වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වීම මෙරට තිස් වසරක යුද්ධයේ පළමු අඳුරු මතකය වනු ඇතැයි එදා කිසිවකු හෝ සිතුවේ නැත. එම සිද්ධියෙන් ඇරඹි ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැලි 1983 දී එල්.ටී.ටී.ඊය හමුදා සෙබලුන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමඟින් රට පුරා පැතිර ගියේය. ඒ කළු ජූලිය නමැති කළු පැල්ලම මෙරට ඉතිහාසයට එක් කරමිනි.

80 දශකයේ ත්‍රස්තවාදය ආරම්භ වී ගෙවුණු දශක දෙකක කාලය තුළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය විසින් මෙරට ආගමික නායකයින්, රාජ්‍ය‍ නායකයින්, දේශපාලනඥයින්, රණවිරුවන් පමණක් නොව සිවිල් වැසියන් ද දහස් ගණනින් අමු අමුවේ ඝාතනය කරන ලද්දේ ලොව ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය බවට පත්වෙමිනි. 2001 වසරේදී එවකට ශ්‍රී ලංකා රජය සමඟ සටන් විරාම ගිවිසුමකට එළැඹුණත් එල්.ටී.ටී.ඊ.ය දිගින් දිගටම එය කඩ කරමින් සිය ම්ලේච්ඡ අරමුණ වෙනුවෙන් සටන් වැදුණු අතර ගොවි ජනතාවට ජලය සපයන නැඟෙනහිර මාවිල්ආරු සොරොව්ව වසා දැමීම එහි උච්ඡතම අවස්ථාව විය.

ඒ අනුව නැඟෙනහිර ගොවි ජනතාව වෙනුවෙන් 2006 ජූලි 21 වැනිදා මාවිල්ආරු සොරොව්ව මුදා ගැනීමට ආරක්ෂක හමුදා දියත් කළ මෙහෙයුම සිව් වන ඊළාම් යුද්ධයේ ආරම්භය විය. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ එවක යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාත්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාපති එයාර් මාෂල් රොෂාන් ගුණතිලක කොටි ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් දියත් කළ අතර රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ නායකත්වයෙන් යුත් සිවිල් ආරක්ෂක බළකායත්, පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොලිස් සේවයත් ඊට නොමඳ සහායක් ලබා දුන්නේය.

මෙලෙස සියලු පාර්ශ්වයන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් දිනා ගත් නිදහස අද වන විට සියලු ජාතීන් භුක්ති විඳින බව නොරහසකි. කෙසේ වුවද යුද්ධය පැවැති කාලයේ නිරන්තරයෙන් ත්‍රස්තවාදීන්ගෙන් බැට කෑ ගම්මානයක් ලෙස කැබිතිගොල්ලෑව නම් කළ හැකිය. 2006 වසරේ ජුනි මස 15 වන දින හල්මිල්ලවැටිය ග්‍රාමයේදී, කැබිතිගොල්ලෑව බස් රථය කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට ලක් වීමෙන් කණුගහවැව සහ අවට ගම්වල 68 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 1995 සිට 1998 දක්වාත්, 2006 සිට 2008 දක්වාත් මේ ගම්මානවල වැසියන්ට ත්‍රස්තවාදී භීෂණය නිසා කඳවුරුගතව ජීවත් වීමට සිදු විය.

එකී උවදුර අවසන් වුවද ඔවුහු බරපතළ ආර්ථික, සමාජයීය ප්‍රශ්න රැසකට මුහුණ පා සිටියහ. ඔවුන්ගේ ඉඩම් ගැටලු විසඳීම, වැව් ඇළ වේලි පිළිසකර කිරීම, ප්‍රධාන සහ අතුරු මාර්ග සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපන හා ප්‍රවාහන ඇතුළු ගැටලුවලට කඩිනම් විසඳුම් අවශ්‍ය විය. කෙසේ වුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක "ගම සමඟ පිළිසඳර" වැඩසටහන අද වන විට සාර්ථක ලෙස රට පුරා ක්‍රියාත්මක වන බව අපි දනිමු. කැබිතිගොල්ලෑව “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදී ජනතාවගෙන් ඉදිරිපත් වූ දුක් ගැනවිලිවලට සවන් දීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම අනුව ගුවන් හමුදාව ඉදි කළ “කණුගහවැව ආදර්ශ ගම්මානය” අද වන විට ජනතාවගේ අවශ්‍යතා සඳහා විසඳුම් රැසක් ලබා දෙන්නට සමත්ව තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් සෘජුවම දායක වනවා සේම රටේ ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් ද ඉටු කරනුයේ අනුපමේය මෙහෙවරකි. මෙවන් මෙහෙවරක නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද වන විට සමෘද්ධිමත් දේශයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටී. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 අභිමානවත් සංවත්සරයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව, කණුගහවැව ප්‍රදේශය සංවර්ධනය කිරීමට පියවර ගත්තේය.

පසුගිය දෙසැම්බර් මස 30 වන දින පැවැති “ගම සමඟ පිළිසඳර” සිව් වැනි වැඩසටහන සඳහා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කණුගහවැව ගම්මානය තෝරා ගෙන තිබුණි. ඒ කැබිතිගොල්ලෑව, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ භීෂණයට නිතර ගොදුරු වූ ප්‍රදේශයක් වූ බැවිනි. කෙසේ වුවද ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කණුගහවැව ග්‍රාමයේ නිවාස ඇතුළු අවශ්‍යතා සංවර්ධනය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් බාර ගන්නා ලද අතර එම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කොට ඒ වෙනුවෙන් සැලසුම් ඉදිරිපත් කිරීමේ වගකීම ගමේ විහාරාධිපති හිමියන්ට, ප්‍රාදේශීය ලේකම්වරයාට, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ ග්‍රාම නිලධාරීවරයාට පවරනු ලැබීය.

අඩුපාඩුකම් රැසකින් සමන්විත කණුගහවැව ගම්මානය සෑම අතින්ම දියුණු කරමින් ගම්වාසීන්ගේ අවශ්‍යතා උපරිමයෙන් ඉටුකරන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පියවර ගෙන තිබීම එම ගම්වාසීන්ට සැනසුම උදා කර දීමකි. නිවෙසක් නොමැතිව පැල්පත්වල වාසය කරන පවුල් 70 ක් තෝරා ගෙන ඔවුන්ට අංගසම්පූර්ණ නිවෙසක් ලබා දීමට පියවර ගෙන තිබෙන අතර මෙලෙස ඉදි කළ නිවාස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකර තිබීම විශේෂත්වයකි. ඊට අමතරව අනෙකුත් වියදම් වෙනුවෙන් එක් නිවෙසක් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැය කර තිබෙන මුදල රුපියල් ලක්ෂ පහළොවක් පමණ වේ. ඒ අනුව නිවාස 70 ක් සඳහා පමණක් වෙන් කරන මුදල රුපියල් ලක්ෂ 1050 කි. නිවෙසක් ඉදි කර ගැනීම යනු සිහිනයක් යැයි සිතූ ගම්වාසීන්ට අංග අංගසම්පූර්ණ නිවසක හිමිකම ලබා දීම සැබැවින්ම ආශ්චර්යයක් වන්නේය.

කණුගහවැව ග්‍රාමයේ නිවාස ඉදිකිරීම පමණක් නොව වෛද්‍ය සායනයක් පැවැත්වීම, මාර්ග සංවර්ධනය, අලි වැට ඉදිකිරීම, අභිනවාරාම විහාරස්ථානයට අවශ්‍ය සියලු අංග ලබා දීම, පානීය ජල අවශ්‍යතාව ලබා දීම, විදුලිය ලබා දීම ඇතුළු යටිතල පහසුකම් රැසක් ලබා දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පියවර ගෙන තිබේ. මෙම ව්‍යාපෘති යටතේ පැවති වෛද්‍ය සහ දන්ත සායනය වෙනුවෙන් අතිවිශාල ජනතා සහභාගීත්වයක් තිබීම මෙහි සාර්ථකත්වය ඉහළින්ම කියාපෑමකි.

පහසුකම් රැසක් සපයා දෙමින් ජනතා අවශ්‍යතා හැකි උපරිමයෙන් ඉටු කර තිබෙන “කණුගහවැව ආදර්ශ ගම්මානය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (04) දහවල් ජනතා අයිතියට පත් කළේ ප්‍රදේශයේ ජනතාවට සැනසුම උදා කර දෙමිනි. කණුගහවැව ගම්මානය වෙත ගොස් පළමුව අභිනවාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු විහාරාධිපති හිමියන් බැහැ දැක සුහද පිළිසඳරක නිරත වී යෝජිත වෙහෙර වහන්සේ ඉදි කෙරෙන භූමිය, අභිනවයෙන් ඉදි කෙරුණු බෝධිඝරය, ආවාස ගෙය සහ වැඩ අවසන් කෙරුණු ඝණ්ඨාර කුළුණ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණි.

කණුගහවැව ප්‍රාථමික විද්‍යාල භූමියේ ඉදි කර ඇති නව නිවාස 12 ක සහ “ගුරු නිවාසයෙහි” යතුරු නිවාස හිමිකරුවන්ට සහ විදුහල්පතිවරයාට බාර දුන් අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මඟින් පාසල් දරුවන්ට නිල ඇඳුම් සහ පාසල් උපකරණ ප්‍රදානය කෙරිණි. කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය, ආදර්ශ ගෙවතු වගා ව්‍යාපෘතිය, ගුරු නිවෙස සහ ජංගම අක්ෂි රෝහලේ සිදු කළ අක්ෂි සැත්කම් නිරීක්ෂණයට ද මෙහිදී ජනාධිපතිවරයා එක් විය.

හිමිකමක් නොමැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය සිදු කෙරෙමින් තිබෙන අතර කණුගහවැව ග්‍රාමයේ ඉඩම් ඔප්පු අහිමි අය අතරින් පස් දෙනකුට ඔප්පු ප්‍රදානය සංකේතාත්මකව සිදු කෙරිණි. අනතුරුව කණුගහවැව ආදර්ශ ගම්මානය වෙත ළගා වූ ජනාධිපතිවරයා අලුතින් ඉදි කළ නිවෙසක් සහ ආදර්ශ ගම්මානයේ අලුතින් ඉදි කළ කිලෝමීටර් 15ක් දිග අලිවැට ද නිරීක්ෂණය කළේය. එම ප්‍රදේශයේ නිවෙසකට ගිය ඒ මහතා නිවැසියන් සමඟ සුහද කථා බහක නිරත වෙමින් තොරතුරු විමසුවේය.

ඇමැති එස්.එම් චන්ද්‍රසේන, රාජ්‍ය ඇමැතිවරුන් වන දුමින්ද දිසානායක, ශෙහාන් සේමසිංහ, ඡන්න ජයසුමන, පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීවරුන් වන කේ.එච්. නන්දසේන, කේ.පී.එස් කුමාරසිරි, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරු ද, ගුවන් හමුදා නිලධාරිහු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට ජනාධිපතිවරයා සමඟ එක්ව සිටියහ. අඩුපාඩුකම් රැසක් පැවැති කණුගහවැව ග්‍රාමයේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම මඟින් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු වූවා පමණක් නොව අනාගත පරපුරේ හෙට දවස වෙනුවෙන් නව ජීවයක් එක් කිරීමට සමත්ව තිබේ.

ජනතාව සමඟ නිතර ගැටී, ඔවුන්ගේ සිත් දිනා ගෙන යම් ප්‍රායෝගික වැඩපිළිවෙළකට ජනතාව නිරායාසයෙන් පිවිසෙන ආකාරයේ පෙළඹවීමක් ජනතාව තුළ ඇති කරවීමට හැකියාව තිබේ නම් සෑම ගමකම සෑම අයකුම රටේ සංවර්ධනයට ප්‍රායෝගිකව දායක වනු ඇත. එහිදී ජනතාව දිරිමත් කිරීම හා පහසුකම් සැපයීමත්, ඇගයීම් හා නියාමනත් මනාව ක්‍රියාත්මක විය යුතුව තිබේ. මේ තත්ත්වය හොඳින් හදුනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය දායකත්වය ගමේ සංවර්ධනය වෙනුවෙන් ලබා දී තිබේ. ගම්වාසීන්ගෙන් කිසිදු මුදලක් අය නොකර ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන්නට පියවර ගෙන තිබීම සැබවින්ම ප්‍රශංසනීයය.

රටක සංවර්ධනය අපේක්ෂා කරන්නේ නම් එය ග්‍රාමීය මට්ටමේ සිට ආරම්භ කළ යුතුය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ වත්මන් රජය ඒ තත්ත්වය මනාව අවබෝධ කර ගෙන තිබෙන බව පෙනේ. ඒ අනුව රට සංවර්ධනය කිරීමේ ක්‍රියාදාමය ග්‍රාමීය මට්ටමින් ඇරඹී තිබෙන අතර එවැනි දැවැන්ත වැඩපිළිවෙළකදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලැබෙන දායකත්වය අතිශය ප්‍රශංසනීයය. රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ගුවන් හමුදාව අද වන විට ජාතික සංවර්ධනය වෙනුවෙන් දායක වී සිටීම සියලු පාර්ශ්වයන්ගේ ආදරයට, ගෞරවයට පාත්‍ර විය යුතුය.

 

 

මහින්ද අලුත්ගෙදර

ඡායාරූප

ජනාධිපති මාධ්‍ය අංශය,

ගුවන් හමුදා මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න