ශ්‍රී ලංකා රජයේ සංවර්ධන කටයුතු වලට පාකිස්ථාන රජයේ සහය | දිනමිණ

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන කටයුතු වලට පාකිස්ථාන රජයේ සහය

දිගුකාලීන මිත්‍රශීලී ඉතිහාසයකට හිමිකම් කියන, කළාපීය සහයෝගීතාවය සහ සාමය ආරක්ෂා කරමින් කටයුතු කරන ශ්‍රී ලංකා රජයේ සංවර්ධන කටයුතු සදහා ලබාදිය හැකි උපරිම සහයෝගීතාවය, පාකිස්තානු රජය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් කතක් මහතා ප්‍රකාශ කරයි.
 
පසුගිය 06 වැනි දින පැවති පාකිස්තානු නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නියෝජිතයන් අතර, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය පිළිබඳව පැවති සාකච්ඡාවක දී පාකිස්තානු මහ කොමසාරිස්වරයා මේ බව අනාවරණය කළේය.
 
කොළඹ නගරයේ ඉදිකිරීම් ආරම්භ කර, පසුව අතරමග වැඩ නතර කර තිබෙන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇත.
 
ඒ අනුව අතරමඟ නතර වී තිබෙන ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් විශේෂ බලයලත් නිලධාරියා වශයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පත්කර තිබේ.
 
මෙහිදී පසුගිය කාලයේ වැඩ ආරම්භකර අඩක් නිමකර තිබූ කොළඹ කොම්පඤ්ඤවීදීය දුම්රිය ස්ථානය අසල පිහිටි ඩෙස්ටනි (Destiny) මහල් නිවාස ඒකකයේ වැඩ නැවත ඇරඹීමට තීරණය කෙරිණ.

නව අදහස දක්වන්න