පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු! | දිනමිණ

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු!

කිසියම් සිද්ධියක හෝ අපරාධයක හෝ මහ මොළකරු සෙවීම දේශපාලන ප්‍රවණතාවක් බවට පත්ව තිබූ අතර, දැන් එය මහජන අවශ්‍යතාවක් බවට ද පෙරළී ඇත. ඒ අනුව බැඳුම්කර වංචාවේ මහ මොළකරු අල්ලාගත යුතු යැයි මහජනයා හඬක් නැඟූහ. එලෙසම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලාගත යුතු යැයි හඬක් ද සමාජය තුළ පවතී. මහ මොළකරු යනු සිද්ධියකට අදාළ සැලසුම්කරුවා, ප්‍රධාන මෙහෙයවන්නා හා වගකීම් දරන්නා ආදී ලෙසින් විග්‍රහ කළ හැකිය. ඒ අනුව මහජනයා ඉල්ලා සිටින්නේ බැඳුම්කර වංචාව සැලසුම්කොට ක්‍රියාත්මක කළ නායකයාය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහජනයාගේ මතය වන්නේ ද එහි සැලසුම්කරුවා හා නායකයා අත්අඩංගුවට ගෙන දඬුවම් දෙනු යන්නය. මහජන මතයෙහි හා ඉල්ලීමෙහි වරදක් නැත.

සහරාන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු යැයි මතයක් පැවතිණි. ඔහු මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකුගේ භූමිකාව රඟදක්වමින් විනාශයට පත් විය. ත්‍රස්තවාදීන්ගේ මූලධර්මවලට අනුව නායකයන් මරාගෙන මැරෙන්නේ නැත. ඊට අනුව සහරාන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු විය නොහැකිය. ප්‍රහාරයේ මහමොළකරු පිළිබඳ විවිධ මත සමාජය තුළ ඇතත් ඒවා විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ සනාථ වී නැත. සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සැකය විවිධ පුද්ගලයන් වෙත යොමු විය හැකිය. එහෙත් සැකය පමණක් හේතු-සාධක කරගෙන පුද්ගලයන් වෙත නඩු පැවරිය නොහැකිය. පාස්කු ප්‍රහාරය ගත හොත් එය දිගුකාලීන සැලැසුමක ප්‍රතිඵලයක් ‍බව පෙනී යයි. එසේ නම් මෙය සංවිධාන කළ පුද්ගලයකු සිටිය යුතුය.

ආණ්ඩුව පෙරේදා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන් දෙදෙනකුගේ නම් ප්‍රකාශයට පත් කළේය. ඒ ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන තොරතුරු හා පොලිස් පරීක්ෂණ පාදක කරගෙනය. එයින් ප්‍රධානියා හැටියට සැලකෙන්නේ නවුෆර් නම් මවුලවිවරයෙකි. මවුලවිවරයා මේ වන විට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසු වෙයි. චුදිතයා පිළිබඳ‍ තොරතුරුවලින් හෙළිදරවු වන්නේ 2014 සිට ඔහු මේ සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති බවය. අන්තවාදී මත පැතිරවීමට, අන්තවාදීන් පුහුණු කිරීමට මවුලවිවරයා සම්බන්ධ වී ඇත. සහරාන් ඔහුගේ අනුගාමිකයකු බවට ද තොරතුරු හෙළිදරවු වී තිබේ. එය පිළිගත හැකි කාරණයෙකි. මෙය අන්තවාදී ආගමික ඉගැන්වීම් මත ක්‍රියාත්මක වූ ප්‍රහාරයක් බව පැහැදිලිය.

ආගමික අන්තවාදයට සැලකිය යුතු ඉතිහාසයක් තිබේ. ලෝක ඉතිහාසය දෙස බලන විට පෙනී යන්නේ ඇතැම් ආගමික අන්තවාදීන් වෙනත් ආගම් මිථ්‍යා දෘෂ්ටීන් ලෙස සලකා එම ලබ්ධිකයන් මරා දැමීමට ක්‍රියා කර ඇති බවය. ඉස්ලාම් අන්තවාදයට ද දිගු ඉතිහාසයක් තිබේ. එහෙත් ඉස්ලාම් අන්තවාදය සමඟ ගැටගැසුණු ත්‍රස්තවාදය බිහිවන්නේ 2000 ගණන්වලය. විශේෂයෙන් ඉරාකයට පහර දී එම රාජ්‍යය අරාජික කිරීමෙන් පසු ඉස්ලාම් ත්‍රස්තවාදය වඩාත් ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වන්නට විය. සිරියාව, ඉරාකය, ඉරානය, සෝමාලියාව, ලිබියාව ආදී රටවල අන්තවාදී කොටස් ඒකරාශී වී ලෝක සංවිධානයක් ලෙස එය එකිනෙක රටවලට බලපෑම් කරනු දැකගත හැකිය. ඔවුන්ගේ මූලික අදහස ඉස්ලාම් නීතියට අනුව ලෝකය පාලනය විය යුතු බවය.

ඉස්ලාම් ත්‍රස්තවාදයට සම්බන්ධ ප්‍රධාන සංවිධානය හඳුන්වන්නේ අයි.එස්.අයි. එස්. නමිනි. එහෙත් ලෝකය පුරා විවිධ රටවල විවිධ නම්වලින් ඉස්ලාම් ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ තවුහිද් ජමාද් ඊට සම්බන්ධ සංවිධානය ලෙස හඳුනාගෙන ඇත. මේ සංවිධානය පසු කලෙක තහනම් සංවිධානයක් ලෙස නම් කෙරුණ ද කාලයක් පුරාවට නිදහසේ සිය කටයුතු කරගෙන ගොස් තිබේ. එය කෙතරම් විවෘත ස්වභාවයක් ගත්තේ ද යත් ආගමික අන්තවාදය පතුරුවන ප්‍රසිද්ධ දේශන හා වැඩමුළු පවත්වා ඇත. අප මුලින් සඳහන් කළ මවුලවිවරයා එහි පෙරමුණ ගෙන කටයුතු කර ඇති බව හෙළිදරවු වී ඇත. ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදය ඉතා සංකීර්ණ ජාලයකින් යුතුව ක්‍රියාත්මක වන ශක්තිමත් සංවිධානයක් බව පැහැදිලිය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන අන්දමට ඉස්ලාම් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අවදි‍ෙයන් සිටීමට සෑම රාජ්‍යයක්ම උත්සුක විය යුතුය. එහි ඊළඟ සිදුවීම කුමන ස්ථානයකින් මතුවේ දැ'යි කිව නොහැකිය. මෙහි ත්‍රස්ත නායකයන් මිය යන්නට පුළුවන. ඇතැම් රටවලදී සංවිධාන තහනමකට ලක්වන්නට පුළුවන. තවත් පුද්ගලයන් හිර භාරයේ සිටින්නට පුළුවන. එහෙත් ඉස්ලාම් ත්‍රස්තවාදය අවසන් වන්නේ නැත. ගිය වසර තුළ ඉරාකයේ පමණක් ප්‍රහාර සිය ගණනක් සිදු කිරීමට මේ ත්‍රස්ත සංවිධානය සමත් විය. මේ සංවිධානයට ඇති තරම් මුදල් ඇති බැවින් ඉතා ඉක්මනින් තරුණ පරපුර ආකර්ෂණය කරගත හැකිය. ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා උගත් තරුණයෝ වෙති.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සලකා බලන විට වත්මන් ආණ්ඩුවට ප්‍රධාන වගකීම් දෙකක් පැවරෙයි. එක අනාගතයේ මෙබඳු ප්‍රහාරයක් සිදු විමට ඉඩක් නොතැබීමය. දෙක ප්‍රහාරයේ වගකීම දැරිය යුතු සියලු අපරාධකරුවන්ට නීති ප්‍රකාර දඬුවම් දීමය. මේ දෙකම සරල කාරණා නොවේ. ඉස්ලාම් අන්තවාදය ජාත්‍යන්තරය සමඟ ගැට ගැසී ඇත. එබැවින් ලෝක මට්ටමින් ඒ ගැන සලකා බලන්නට සිදු වේ. අපරාධකරුවන්ට දඬුවම් දීමේ ප්‍රමාදයක් ඇතැ'යි විවේචනයක් පවතී. ප්‍රමාදයට බොහෝ සෙයින්ම බලපා ඇත්තේ සිද්ධියෙහි සංකීර්ණ ස්වභාවයයි. මේ වන විට එකසිය ගණනක් අත්අඩංගුවේ පසු වෙති. එයින් මහ මොළකරු ඇතුළු තිස්දෙදෙනකුට නඩු පැවරීමට කටයුතු කර ඇතැ'යි රජය කියයි. නඩු පැවරිය යුත්තේ නීතිපතිවරයාය.

ලබන 21 වනදාට ප්‍රහාරය සිදු වී වසර දෙකක් සම්පූර්ණ වෙයි. වසර දෙකක් ගෙවී යනතුරු ද අපරාධකරුවන්ට දඬුවම් නොලැබීම ගැන වින්දිතයන් තුළ ආවේගයක් මතු වීමට පුළුවන. එබඳු ආවේගයක් මතු වීම ස්වභාවිකය. ‍එමෙන්ම සාධාරණය. ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ප්‍රහාරයට සම්බන්ධ කිසිදු අපරාධකරුවකුට නීතියෙන් ගැලවීමට ඉඩක් නැති බවය. එය කාගේත් සැනසිල්ලට හේතුවකි.

නව අදහස දක්වන්න