පළාත් ඡන්දය පැවැත්වීමට පළාත් සභා පනත සංශෝධනය ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමක් | දිනමිණ

පළාත් ඡන්දය පැවැත්වීමට පළාත් සභා පනත සංශෝධනය ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමක්

ජනාධිපති - අගමැති ප්‍රමුඛ රජයට මහ නාහිමිවරුන්ගෙන් විවෘත සංදේශයක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට ප්‍රථම පළාත් සභා මැතිවරණ පනත කඩිනමින් සංශෝධනය කිරීමටත්, පළාත් සභා මැතිවරණය නොපමාව පැවැත්වීමටත් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බව වාර්තා වේ.

රණවිරුවන්ගේ ජීවිත කැපකොට තිස් වසරක යුද්ධයක් නිමා කළ ද අපට වැඩි කලක් සාමයෙන් ජීවත් වීමට නොහැකි විය. 2019 පාස්කු ප්‍රහාරය සමඟ තවත් ත්‍රස්තවාදී ව්‍යාපාර කිහිපයක ගොදුරක් බවට ලක්වැසියෝ පත්ව සිටිති. ජාත්‍යන්තර ත්‍රස්තයන් සමඟ අත්වැල් බැඳගෙන නැ‍ඟෙනහිර පළාතෙන් උපන් මෙම ඉස්ලාම් ත්‍රස්ත ව්‍යාපාරයේ නිර්මාණකරුවෝ කවුරු ද යන්න තවමත් අභිරහසකි. උතුරුකරයේ අන්තවාදී නායකයන්ගේ තර්ජන ද මෑතකදී සොයාගත් බෝම්බ හා ආයුධ ද සාක්ෂි දරන්නේ දෙමළ ත්‍රස්තවාදය තවමත් මෙරටින් තුරන් වි නැති බවකි.

මේ නිසා ත්‍රස්තයන්ට ඉඩක් නොදෙන, ශ්‍රී ලංකා රජයේ ඒකීය පාලනය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් නොපමාව ගෙන ඒම අත්‍යවශ්‍ය කරුණකි. එකී නව ව්‍යවස්ථාව ගෙන ඒම වෙනුවට බලහත්කාරයෙන් ශ්‍රී ලංකාව මත පැටවූ පළාත් සභා ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීමට රජය දරන ප්‍රයත්නය පොදු මහජනතාවගේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇත.

20 වන සංශෝධනය සම්මත කළ අයුරින්ම මෙම පළාත් සභා මැතිවරණය ලහිලහියේ පැවැත්වීමට සූදානම් වීම, නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය ‍ජනතාවට දුන් පොරොන්දුව ව්‍යාජ වූවක් බව හඟවන ඉඟියකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට බටහිර බලවේග දරන නිර්ලජ්ජි උත්සාහය පසුගිය ජිනීවා යෝජනා සම්මතයෙන් ප්‍රකට විය. රට ජාතිය පිළිබඳ හැඟීම පසෙකලා අප රට විනාශ කිරීමට විවිධ පාර්ශ්වයන් දරන උත්සාහයන් පිටුපස රජයේ මෙන්ම විපක්ෂයේ ද රාජ්‍ය නොවන සංවිධානවල ද ඇතැම් කොටස් සම්බන්ධ වී සිටීම කනගාටුදායකය.

මැතිවරණයෙහිදී ජනතාවට දුන් පොරොන්දුව අනුව පත් කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත් කරනු ලැබ ඇති විශේෂ විද්වත් කමිටුවේ නිර්දේශ ලැබෙන්නට පෙරාතුව පළාත් සභා ඡන්දයක් පැවැත්වීමට කැබිනට් මණ්ඩලය අදූරදර්ශීව ගෙන ඇති තීරණය දේශයේ ගමන්මඟ නිවැරදි කිරීමට ඇති අගනා අවස්ථාවක් පැහැර හැරීමක් බව මෙහිලා සඳහන් කළ යුතුය.

පළාත් සභා මැතිවරණයක් ‍පවත්වා පළාත් සභා නැවත ස්ථාපනය කළ හොත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව කටයුතු කිරීමට රජය බැඳී සිටිනු ඇත. 13 වැනි සංශෝධනයෙන් ආයුධ සන්නද්ධ පළාත් පොලිසි නිර්මාණය‍ කොට ඇත. එපමණක් නොව ගිනි අවි හා වෙඩි ද්‍රව්‍ය හා අනිකුත් උපකරණ තබා ගැනීමට ද ඔවුන්ට අයිතිවාසිකම් ලැබේ. මෙම පළාත් සභා මැතිවරණය පැවැත් වුවහොත් ඉන්පසු පත්වන මහ ඇමැතිවරුන්ගේ අභිලාෂයන් කවරක් වනු ඇත් ද යන්න දැනටමත් හෙළිදරවු වී ඇත. පසුගිය වකවානුවේ උතුරු පළාතේ මහ ඇමැති ලෙස කටයුතු කළ විග්නේෂ්වරන් මහතාගේ ජාතිවාදී ක්‍රියා කලාපයත් එයින් උතුරුකරය් බෞද්ධ සිද්ධස්ථාන හා බෞද්ධයනට සිදු වූ බලවත් අකටයුතුත් අප අමතක කළ යුතු නැත.

එවැනි මහ ඇමැතිවරුන් දෙදෙනකු තෝරාපත් කරගත් පසු මහජන අභිලාෂය පරිදි පළාත් පාලන ක්‍රමයක් පිහිටුවාලීම සිහිනයක්ම වනු ඇත. පළාත් සභා පැවැත්වීමට රජය හදිසියේ තීරණය කර ඇත්තේ පළාත් සභා අහෝසි කිරීමට නොහැකි වන වාතාවරණයක් රට තුළ නිර්මාණය කිරීමට බව ඉතා පැහැදිලිය. මෙය විජාතික අවශ්‍යතාවක් ඉෂ්ට කිරීමට දරන උත්සාහයකි. විදේශ රාජ්‍යයන් හෝ සංවිධාන විසින් මෙහෙයවනු ලබන පුද්ගලයන්ගේ ඕනෑ එපාකම් ඉටුකරන රජයක් අපට අවශ්‍ය නැත.

මහ මැතිවරණයෙහිදී ජනතාව ඉදිරියෙහි අවධාරණය කළ, ජනතාව ද අපේක්ෂා කළ වැදගත් ප්‍රතිඥාවක් වසරක් වැනි කෙටි කාලයක් තුළ රජය අමතක කිරීම කනගාටුදායකය. පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම පසෙකලා මහ මැතිවරණයක් හෝ ජනමත විමසුමක් හෝ පවත්වන්නේ නම් රජයේ මෙම ක්‍රියා පිළිවෙත පිළිබඳව ජනතාවගේ සැබෑ ප්‍රතිචාරය වටහාගත හැකි වනු ඇත.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ඔරොත්තු දෙන, එමෙන්ම රටට ගැළපෙන, මහජන සුබසාධනයට සෘජුවම දායක විය හැකි නව පළාත් පාලන ව්‍යුහයක් සකස් කර ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසා පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස මීට මාස කිහිපයකට පෙර මහා සංඝරත්නය දූරදර්ශීව විශ්ලේෂණාත්මකව විද්වත් කතිකාවකින් ඉදිරිපත් කළ යෝජනාව ද නොසලකා ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කරමින් හදිසියේ මේ කරන්න යන දේශද්‍රෝහි ක්‍රියාව වහා නතර කරන ලෙස රජයටත්, රටවැසි මහජනතාවටත්, රටටත්, හිතාධ්‍යාශය ඇතිව අපි තරයේ දන්වා සිටිමු.

නව අදහස දක්වන්න