සාමයෙන් ජීවත් වීම සමස්ත මුස්ලිම් ප්‍රජාවගේ අවශ්‍යතාව වී තිබෙනවා | දිනමිණ

සාමයෙන් ජීවත් වීම සමස්ත මුස්ලිම් ප්‍රජාවගේ අවශ්‍යතාව වී තිබෙනවා

 අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි

  • පාස්කු ප්‍රහාරයට විදේශිකයන් සම්බන්ධ ද කියලා ආණ්ඩුව සොයනවා : ඇමැති ජී. එල්. පීරිස්
  • බුද්ධි අංශය අකර්මණ්‍ය කළේ යහපාලන ආණ්ඩුවයි : ඇමැති රෝහිත අබේගුණවර්ධන
  • පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු තවමත් හඳුනාගෙන නැහැ : මන්ත්‍රී රවුෆ් හකීම්
  • පාස්කු කොමිෂන් සභාව තමන්ට දුන් බල පරාසයට එහා ගිහින් තීන්දු තීරණ ගන්නවා : මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා

මෙරට ජීවත් වන සිංහල, දෙමළ සියලු ජනතාව සමඟ සමගියෙන් සාමයෙන් ජීවත් වීම සමස්ත මුස්ලිම් ප්‍රජාවගේ අවශ්‍යතාව වන බවත් මනුෂ්‍යත්වයට ගරු කරමින් ජීවත් වීමෙන් එම අවශ්‍යතාව සාක්ෂාත් කර ගැනීමට හැකි වන බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (07) රැස් විය. නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ විවාදයට එක්වෙමින් තවදුරටත් ඇමැති අලි සබ්‍රි මහතා මෙසේ ද පැවසීය.

පාස්කු ප්‍රහාරය නිසා රටේ ජනතාව සමස්ත මුස්ලිම් ප්‍රජාව අන්තවාදී ත්‍රස්තවාදීන් ලෙස දකින්න පෙලඹුණ ද එය නිවැරදි නොවේ. පාස්කු ප්‍රහාරයට ඍජුව හා වක්‍රව සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාවට නැංවීම සිදු කරනවා.

පාස්කු ප්‍රහාර‍ෙය් වාර්තාව ගත් විට නොසැලකිල්ල නිසා සිදුව ඇති බව වාර්තා වෙනවා. පහසුවෙන් වළකාගත හැකි ප්‍රහාරයක් වළක්වා ගැනීමට එවකට පැවැති ආණ්ඩුව කටයුතු කර නැහැ. එමනිසා ඒ සිද්ධිය ජනතාව කුපිත කරන බව පැහැදිලි වෙනවා. සුළු ආරවුල් මුල් කරගෙන ඇතැම් අවස්ථාවලදී ජනතාව කුපිත කරවන ආකාරයේ සිද්ධීන් සිදු වූ බවට ද පැහැදිලි වෙනවා. 2019 අප්‍රේල් මස සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය සමස්ත මුස්ලිම් ප්‍රජාවම හෙළා දැක තිබෙනවා. වෛරයෙන් ක්‍රෝධයෙන් යුක්ත ලේ පිපාසිතයන් කොටසකගේ මේ ම්ලේච්ඡ ක්‍රියාව හෙළා දකින අතර, එයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ සිද්ධියෙන් පීඩා විඳි සියලු දෙනාට අපේ සම්පූර්ණ ශෝකය ප්‍රකාශ කරනවා. මෙරට වසර 1100ක පමණ කාලයක් සියලු ප්‍රජාවන් අතර සාමයෙන් හා සමගියෙන් ජීවත් වන සමස්ත මුස්ලිම් ජනතාව අන්තවාදය දක්වා තල්ලු කරන හෝ ප්‍රධාන ප්‍රවාහයෙන් ඔබ්බට යන දෙයක් නොවිය යුතුයි. සත්‍ය සොයා එහි වස්තු බීජය සොයාගත යුතුයි. ජාතීන් අතර අසමගිය වර්ධනය කරන දෙයක් බවට මේ වාර්තාව යොදාගත යුතු නොවේ. තම ආත්මාර්ථකාමී දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට මේ මහා ඛේදවාචකය උපයෝගී කර නොගත යුතුයි. වාර්තාවේ පිටු 413 සහ 414 උපුටා දැක්වීම මම සිදු කරනවා. ශ්‍රී ලංකාවේ සමස්ත මුස්ලිම් ප්‍රජාව අන්තවාදීන් හෝ ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පවත්වන බවට කිසිදු සාක්ෂියක් මඟින් අනාවරණය නොවන බව අවධාරණය කරන බව වාර්තාවේ සඳහන්. සමාජය තුළ එවැනි මත පළ කරන සමාජ විරෝධී ප්‍රචාර ගෙන යන මුස්ලිම්වරුන්ට එරෙහි වෙමින් වගකීම් විරහිත සමාජ මාධ්‍ය විවිධ ප්‍රචාර ගෙනයනවා. එකිනෙකා අතර ඇති වන සැකය මිනිස් සමාජයටම හානි කරනවා. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් වෛරයෙන් අවෛරය සන්සිඳෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ දේවල් සමාජගත කිරීමට අපි කටයුතු කළ යුතුයි. එය වගකීමකට වඩා වගවීමක්. ලෝකයේ ත්‍රස්තවාදය පැරණි හා නව ත්‍රස්තවාදයන් ලෙස දෙආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමට මහජන සහාය අතිශයින්ම වැදගත් ය. සහරාන්ට විරුද්ධව පොලිස් පැමිණිලි ගණනාවක් මුස්ලිම් ජනතාව ගොනුකර තිබුණා. මාවනැල්ල බුදුපිළිම විනාශ කළ සිද්ධියේදී මුස්ලිම් ජනතාව සහරාන්ට එරෙහිව සාක්ෂි ලබා දී තිබෙනවා. සියලු ජනතාව සමඟ සමගියෙන් ජීවත් වීම සමස්ත මුස්ලිම් ජනතාවගේ අවශ්‍යතාව වී තිබෙනවා. සැකය හා අවිශ්වාසය ඇති වීමට ඉඩ නොදී මනුෂ්‍යත්වය සමඟ කටයුතු කිරීම කෙරෙහි ජනතාව යොමු කළ යුතුයි. ශ්‍රී ලාංකිකයන් ලෙස අපි අන්‍යෝන්‍ය අවබෝධය සහිතව එකිනෙකාට ගෞරව කරමින් කටයුතු කළ යුතුයි.

ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා- පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව මීට වඩා සන්සුන් විදියට විවාදයට භාජනය කළ යුතුයි. මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාව ඉතාම ප්‍රයෝජනවත් වැඩ කටයුත්තක් රට වෙනුවෙන් සිදු කර තිබෙනවා. ඒ කොමිෂන් සභාව ගැන වැරදි මත රැසක් රට තුළ ස්ථාපිත කර තිබෙනවා. මේ කොමිෂන් සභාව අධිකරණයක් නොවේ. වැරදිකරුවන්ට දඬුවම් දීමට එයට බලතල නැහැ. විමර්ශන පැවැත්වීමේ බලයක් කොමිෂන් සභාවකට නැහැ. නමුත් ඒ කොමිෂන් සභාවේ විෂය පථය අනුව වැදගත් කාර්යක් ඉටු කර තිබෙනවා. කොමිෂන් සභාවේ නිර්දේශ රජය ක්‍රියාත්මක කරනවා. රජය අනුකමිටුවක් පත් කළේ කොමිසමේ වැරදි අඩුපාඩු සෙවීමට නොවේ, ඒ අනුකමිටුවට තිබුණේ වෙනම කාර්යයක්. මේ වාර්තාවේ නිර්දේශ රැසක් තිබුණා. ඒ නිර්දේශවලින් කුමකට ප්‍රමුඛතාව දිය යුතු ද කියලා උපදෙස් දීමට තමයි මේ අනුකමිටුව තිබෙන්නේ. මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධිය නිසි ලෙස විමර්ශනයට ලක් කළා නම් මෙවැනි මහා විනාශයක් සිදු වන්නේ නැහැ.

(දිවා ආහාරයෙන් පසුව නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මුලසුනට පැමිණියේය.)

ඇමැති ජී. එල්. පීරිස් මහතා -

රට තුළ සිටි අය පමණක් නොව විදේශීය පුද්ගලයන් ද මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ද කියලා අපේ ආණ්ඩුවට සොයා බලනවා. රටවල් පහක ශ්‍රී ලාංකිකයන් 50 කට වැඩි අය අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා. මෙවැනි ඛේදවාචකයක් අනාගතයේදී සිදු නොවීමට අවශ්‍ය කටයුතු රජය සම්පාදනය කරමින් තිබෙනවා. තුර්කියේ සංවිධානයකින් ෆටෝ සංවිධානයෙන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධව මුදල් ආධාර ලැබුණු බවට පාස්කු ප්‍රහාර වාර්තාවේ සඳහන් වෙනවා. ලිපිගොනු 36 ක් විමර්ශන අවසන් කරලා නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබෙනවා. නඩු පැවරීම නීතිපතිවරයාට බාර වෙනවා. රජයේ වැඩ කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා. අධිචෝදනා පත්‍ර සඳහා සාක්ෂි ප්‍රමාණවත් ද කියලා නීතිපතිවරයා තීරණය කළ යුතු වෙනවා. කිසිම කෙනෙකු අපහසුතාවට පත් කිරීමට අපි අපේක්ෂා කරන්නේ නැහැ. නඩු 36ම එකවිට පැවරීමට නොහැකියි. මද්‍රසා පාසල්වල උගන්වන අය, විෂය මාලා මොනවාද, ඒ පාසල්වලට මුදල් ලැබෙන්නේ කෙසේද කියන කාරණා ගැන සොයා බැලිය යුතුයි. මේ දේවල් සම්බන්ධයෙන් අලුත් නීති පාර්ලිමේන්තුවට ගෙන ඒමට රජයට සිදු වෙනවා. ත්‍රස්තවාදය මර්දනය සඳහා නීති ප්‍රමාණවත් නැහැ. පාස්කු ප්‍රහාරයේ නඩු ඇසීම සඳහා දිනෙන් දින නඩු ඇසිය යුතුයි. ඒ ගැන අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කර උපදෙස් ගෙන ඒ කටයුතු සිදු කළ යුතුයි. නාමමාත්‍රයෙන් පමණක් නොව ප්‍රායෝගිකව පවා මේ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කරනවා.

මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (ස.ජ.බ.)

පාස්කු වාර්තාව කියවන විට මේ සිද්ධියේ මහ මොළකරු සොයන්න තරම් කරුණු තිබෙනවා ද කියන එක ගැටලුවක්.

(ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය මුලසුනට පැමිණියාය.)

මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -

මේ සිද්ධිය වූ දින සිට හැමෝම ඇසුවේ කවුද මහ මොළකරු කියලා. සිද්ධිය සිදුව වසර දෙකක් ගතවීමෙන් පසුව මහ මොළකරුවෙක් ඊයේ නම් කළා. ඇයි ඔහු කොමිෂන් එකට ඉදිරිපත් නොකළේ? මේ සිද්ධිය කළ අය තවම නිදැල්ලේ සිටින්නේ නම් අපේ රට තවමත් විශාල අනතුරක තිබෙනවා.

ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා -

අපේ රටේ 2019 ඛේදවාචකයක් සිදු වුණා. අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය සිදුවීම අමිහිරි අත්දැකීමක්. මිය ගිය කතෝලික ජනතාවට අපේ ආණ්ඩුවේ ශෝකය ප්‍රකාශ කරනවා. ඉන් අගතියට පත්වූවන්ට අපේ ආණ්ඩුව සාධාරණයක් ඉටු කරනවා. පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ලැබුණු පසුව අපේ ආණ්ඩුවෙන් චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛතාවයෙන් යුක්ත අනුකමිටුවක් පත් කළා. මමත් ඒ අනුකමිටුවේ සාමාජිකයෙක්. මේ සිදුවීම සිදු කළ ජාලය තුළ රජයක් විදියට ගත් තීන්දු මොනවාද කියලා එකල පැවැති රජයෙන් අපි අහනවා. මුස්ලිම්වරුන් පමණක් ජීවත් විය යුතුය කියන මතවාදය මුල් කරගෙන තමයි වහබ්වාදය ව්‍යාප්ත කරන්නේ. සහරාන්ට විරුද්ධව පැවැති දේ ගැන විමර්ශනය කරන්න 2015 සිට කටයුතු නොකළේ කුමක් නිසා ද කියලා සොයා බැලිය යුතුයි. වැඩි බහුතරයකගේ ඡන්දය ලැබීම තුළ මුස්ලිම්වරුන් පණිවිඩයක් දෙන්න හැදුවා අපි තමයි මේ ආණ්ඩුව පත් කළේ කියලා. අවශ්‍ය නම් ආණ්ඩුව ගෙදර යවන්නත් පුළුවන් කියන මතවාදය ඔවුන් සමාජගත කළා. ඒ නිසා මුස්ලිම්වරුන්ට විරුද්ධව ආණ්ඩුවට ක්‍රියා කරන්න නොහැකි වුණා. 2017 දී ගිංතොට සිංහල මුස්ලිම් කෝලාහලයෙන් පසුව සහරාන්ගේ ෆේස්බුක් එකේ සඳහන් කළේ මුස්ලිම් රාජ්‍යයක් ස්ථාපිත කිරීමට කාලය එළැඹ ඇති බවයි. මේවා ගැන බුද්ධි අංශය ක්‍රියාත්මක නොවුණේ ඇයි? බුද්ධි අංශය මේකට සම්බන්ධ බව කිරිඇල්ල මහතා ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයට මගේ තදබල විරෝධය පානවා. බුද්ධි අංශය අකර්මණ්‍ය කළේ යහපාලන ආණ්ඩුව විසින්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් යහපාලනය පත් කළා. එම තේරීම් කාරක සභාවේ සහ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්කි අතර පරස්පරයක් තිබෙනවා. තේරීම් කාරක සභාව පසුගිය ආණ්ඩුව පත් කළේ සිද්ධියට සම්බන්ධ වූවන් බේරාගන්න ද කියන සැකය මතු වෙනවා.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යන් රාසපුත්‍ර මහතා (දෙ.ජා.ස.) -

ද්‍රවිඩ ජනතාව මුස්ලිම් ජනතාවට ගහන විට සිංහල ජනතාව සතුටින් සිටිනවා. පීඩිත පන්තියක් ඇති වූ විට කැරලි ඇති වෙනවා. මවුලවි කෙනෙක් අල්ලාගෙන එතුමා මේ සිද්ධියේ මහ මොළකරු කියලා ආණ්ඩුව කියනවා. සැබෑ මහ මොළකරු අල්ලාගත යුතුයි.

මන්ත්‍රී රවුෆ් හකීම් මහතා (මු.කො.) -

පාස්කු ප්‍රහාරයෙන් අපහසුතාවට පත් සියලුදෙනා වෙත අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේ විමර්ශන කොමිෂන් පත් කිරීමේදී මුස්ලිම්, ද්‍රවිඩ නියෝජනයන් අවශ්‍යයයි. අන්‍යෝන්‍ය අවබෝධය සඳහා එය වඩාත් වැදගත්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 1480 කගෙන් කට උත්තර ලබාගෙන තිබෙනවා. ඉන් 480 ක් විතරයි මේ වාර්තාවේ සාක්කියට කැඳවා තිබෙන්නේ. මහ මොළකරු තවමත් හඳුනාගෙන නැහැ. ඒ ගැන සාක්ෂි ඇතිව මම පෙන්වා දෙන්නම්.

මන්ත්‍රී සුදර්ශන දෙණිපිටිය මහතා (පො.ජ.පෙ.) -

පාස්කු ප්‍රහාරය ඇති වෙන්න කොපමණ කලක සිට සූදානම් වුණා ද කියන එකත් සොයලා බලන්න ඕනෑ. එජාප ආණ්ඩු තිබූ හැම කාලයකදීම රටේ සාමය ඇති කරන්න උනන්දු වුණේ නැහැ. සමඟි ජන බලවේගයේ සිටින්නෙත් එජාපයේ සිටි පිරිසමයි.

මන්ත්‍රී රෝහණ බණ්ඩාර විජේසුන්දර මහතා (ස.ජ.බ.) -

අප්‍රේල් 21 වැනිදාට පෙර පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පෙන්වා දෙන්න කියලා කාදිනල්වරයා ප්‍රකාශ කළා. ඒ අනුව නවුෆර් මවුලවි කියලා මහ මොළකරුවෙක් ඉදිරිපත් කළා.

මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා (පො.ජ.පෙ.) -

ආගමික මතවාදයක විකෘතියක් විදියට පාස්කු ප්‍රහාරය හඳුන්වන්න පුළුවන්. කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ වැරදි ලෙස වටහාගෙන ඇති බවක් ද අපට පේනවා. සත්‍ය තත්ත්වය සොයා ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ කොමිෂන් සභාව නිර්මාණය කළා. මෙම පාස්කු කොමිෂන් සභාව තමන්ට ලබා දුන් බල පරාසයට එහා ගොස් තම තීන්දු තීරණ ප්‍රකාශයට පත් කරන්න උත්සාහ ගෙන තිබෙනවා.

මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා (පො.ජ.පෙ.) -

ඇතැම් ප්‍රශ්න තිබෙනවා හැමෝම එකට එක්ව විසඳාගත යුතු ඒවා. සහරාන් එදා බෝම්බ ගැසූ අවස්ථාවේ ෆේස්බුක්වල තිබූ දෙයක් තමයි සහරාන් පාර්ලිමේන්තුවේ 225 ම සිටින වේලාවක බෝම්බයක් දැම්මා නම් උඹ ජාතික වීරයෙක් වෙනවා කියන එක. එහෙම දෙයක් ෂෙයා වුණේ කුමක් නිසා ද කියන කාරණාව අපි සිතා බැලිය යුතුයි. පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලනීකරණය කරන්න එපා. ප්‍රශ්නය තමන්ගේ නොවන තෙක් උත්තරය දාර්ශනිකයි. මේ ප්‍රශ්නවලට පිළිතුරු තිබෙන්නේ අපේ දේශපාලකයන් ළඟ. ආරක්ෂාව ගැන තිබූ අලසකම නිසා මේ ප්‍රහාරය සිදු වුණා. මේ ප්‍රහාරය නිසා දරුවන් හැටකට වැඩි පිරිසක් මරණයට පත් වුණා. ඔවුන්ගේ නම් මේ පාර්ලිමේන්තු තුළ කියවුණේ නැහැ.

(මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා මුලසුනට පැමිණියේය.)

රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා -

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ සහරාන්ගේ ප්‍රහාරය නිසා බව සමාජගත කරන්න ඇතැමුන් උත්සාහ කරනවා. එකල පැවැති විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ නොගැළපීම නිසා තමයි වත්මන් ආණ්ඩුව බලයට පත් වුණේ. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වත්මන් ආණ්ඩුව බලයට පැමිණ පළමුවෙන්ම සිදු කළා. පීඩාවට පත් වූ අයට වන්දි ලබාදිය යුතුයි. මේ වාර්තාව පදනම් කරගෙන ගත හැකි පියවර රැසක් තිබෙනවා. රටේ යහපාලනය ගැනත් මේ වාර්තාවේ සඳහන්. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වයන් අතර පරස්පරතාවන් එකල තිබුණා. එකම ආණ්ඩුවක් විදියට සැලකුවත් ඇතිව තිබූ විරසකයන් ජාතික ආරක්ෂාව බිඳ වැටීමට හේතු වුණා. ඒකම තමයි ඒ පාලනය පරාජය වීමට හේතු වුණේ. ඒ ආණ්ඩුවේ පැවැති දුර්වලකම් ජනතාව තේරුම් ගෙන වත්මන් ආණ්ඩුව බලයට පත් කළා. නැවත මෙවැනි සිදුවීම් නොවන්න ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න අපේ ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා. ත්‍රස්ත, ප්‍රතිත්‍රස්ත පනත් ශක්තිමත් කළ යුතුයි.

මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා (පො.ජ.පෙ.) -

කතෝලික, ද්‍රවිඩ, මුස්ලිම් ජනතාව වෙනුවෙන් කතා කරන්න ලෝකයේ උදව් කරන්න ඕනෑ තරම් සිටිනවා. සිංහල බෞද්ධ ජනතාව ගැන හොයන්න බලන්න කතා කරන්න ලෝකයේ සිටින ප්‍රමාණය අඩුයි කියන කනගාටුව අපට තිබෙනවා. මා එසේ කියනුයේ ජාතිවාදය මුල් කරගෙන නොවේ. මහ බැංකු බෝම්බ පුපුරන විට, අනුරාධපුර සිද්ධස්ථානවලට ප්‍රහාර එල්ල කරන විට, දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කරන විට ලෝකයේ රටවල් කතා කළේ නැහැ.

මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා (පො.ජ.පෙ.) -

එජාපයේ හිරකරුවෙක් බවට එදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්ව සිටියා. ඒ නිසා මෙවැනි සිදුවීම් වුණා. සුළු ජාතීන්ගේ ඡන්දයට තිබෙන කෑදරකම නිසා වනාතවිල්ලුව වැනි සිද්ධීන්ට එරෙහිව යහපාලනය නීතිය ක්‍රියාත්මක කළේ නැහැ.

පාර්ලිමේන්තුව අද (08) උදෑසන 10.00 ට නැවත රැස් වේ.

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

 

 

 

 

 

නව අදහස දක්වන්න