පරිසරය සුරැකීම උදෙසා පරිසර හිතකාමී වාහන ගෙන්වීමේ කැබිනට් පත්‍රිකාවක් සකසනවා | දිනමිණ

පරිසරය සුරැකීම උදෙසා පරිසර හිතකාමී වාහන ගෙන්වීමේ කැබිනට් පත්‍රිකාවක් සකසනවා

  • 'නැකතට පැළයක්' වැඩසටහනින් ලේක්හවුස් සේවකයන්ට පැළ බෙදා දෙමින් ඇමැති මහින්ද අමරවීර කියයි
  • ‘හුස්ම දෙන තුරු’රටේ අනාගතය උදෙසා වූ වටිනා වැඩසටහනක් : සභාපති, ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න
  • අවුරුද්දට වැඩ අල්ලා පැළයක් සිටුවීම අලුත් අරුතක් : කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම්

පරිසරය සුරැකීම අරමුණ කරගනිමින්, පරිසර හිතකාමී වාහන, ඉලෙක්ට්‍රොනික් (විදුලි ජනන) රථ වාහන හා සූර්ය බල ශක්තියෙන් (සෝලා තාක්ෂණයෙන්) ක්‍රියා කරන වාහන මෙරටට ගෙන්වීටට යෝජනා කිරීමේ කැබිනට් පත්‍රිකාවක් සැකසීමට කටයුතු කරමින් තිබෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමඟාමීව 'නැකතට පැළයක්' සිටු වීමේ වැඩසටහන මුල් කරගනිමින් ලේක්වහුස් ආයතනයේ සේවකයන්ට පැළ දහසක් බෙදා දිමේ උත්සව අවස්ථාවට ඊයේ (7) සහභාගී වෙමිනි.

එම කැබිනට් පත්‍රිකාවට, එම වාහන ගෙන්වීමට පැනවී ඇති බදු සම්බන්ධව සාධාරණ සහනයක් ලබා දෙන ලෙස යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව හා වාහන තදබදය අඩු කර ගැනීමට වෙනත් ක්‍රම කවරේද යන්න යෝජනා කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කීවේය.

තවද රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වූවද ලේක් හවුස් ආයතනය මේ වන විට සිය මාධ්‍ය වගකීම සමබරව සිදු කරමින් සිටින බවද, පත්තර මහගෙදර දීර්ඝ කාලයක් පුරා මාධ්‍ය ඉතිහාසයේ නමක් තබා ගනිමින් ඉදිරියට පැමිණි ආයතයක් වූවද, විවිධ ගැටලුකාරී තත්ත්වයන් තුළ යම් යම් පසුබෑම්වලට ලක් වෙමින් මේ වනවටි යළි නැඟීසිටීමක් සිටින බව පෙනෙන්ට ඇති බවද ඇමැතිවාරයා කියා සිටියේය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය. පත්තර මහගෙදරට පැමිණ අමාත්‍යංශය හරහා සිදුකෙරෙන මෙම ජාතික කාර්යයට සහභාගී වීමට ලැබීම සතුටට කරුණක්. අපගේ අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ මෙම වැඩ සටහන සාර්ථක ලෙස රට පුරා දියත් කිරීමයි. ජනමාධ්‍ය ආයතන ලෙස මෙම ජාතික මෙහෙවරට සහය දැක්විය යුතුයි. එම නිසා පත්තර මහගෙදරින් මෙවැනි අවස්ථාවක් ලබා දීම පිළිබඳ මා ස්තූතිවන්ත වනවා. පරිසර අමාත්‍යංශය හරහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. නමුත් මෙම හුස්ම දෙනතුරු වැඩසටහන සුවිශේෂියි. අපගේ අමාත්‍යාංශය හරහා සුරකිමු ගංඟා වැඩසටහන, සොබාමව වැඩසටහන, මධ්‍යස්ථාන මුල් කර ගනිමින් ඔසු උයන් නිර්මාණය කිරීමේ වැඩසටහන් ආදී විශාල වැඩසටහන් රාශියක් ආරම්භ කරනවා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද මුල්කර ගනිමින් නැකතට පැළයක් වැඩසටහන් මාලාව සාර්ථකව සිදුකර ගැනීමට අමාත්‍යාංශයක් ලෙස මේ දිනවල අප කැප වෙමින් සිටිනවා. මෙම වැඩසටහන අද ඊයේ සැලසුම් දෙයක් නොවේ. අප මෙයට ගිය වසරේ අවසානයේ සිට සැලසුම් සකස් කළා. මූලිකවම බීජ රෝපණය කර පැළ බවට පත් කිරීමක් හරහා මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට අප කටයුතු කළා. ඒ අනුව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට, පැළ සූදානම් කිරීම අප මූලිකව සිදු කළා. අපේ රටේ නිවාස ලක්ෂ 53ක් පමණ තිබෙනවා. පැළ ලක්ෂ 30ක ප්‍රමාණයක් රෝපණය කිරීමට වූවත්, සල්ලිවලටවත් අපේ රටේ පැළ ලබා ගැනීමට හැකියාවක් නෑ. ඒ නිසා පැළ තවාන්කරුවන් හරහා බීජ රෝපණය කර පැළ ලබා ගැනීමට අප කටයුතු කළා. 16 වැනිදා උදෑසන 6.40 නැඟෙනහිර බලා නැකතට මෙම පැළය රෝපණය කර රැකබලා ගන්න. මේ පැළ සියල්ල නිසි සාත්තු සාත්කාර කර වර්ධනය කරගත හොත් ඉදිරි කාලයේ දී අපේ රට කොළ පාටින් බබළවන්න හැකි වේවි.

හුස්ම දෙන තුරු වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළා. ජනාධිපතිතුමා වැඩසටහන් මලාව ආරම්භ කරමින් එදා සිට වූ සුදුහඳුන් පැළයේ සිට පසුගිය සතිය තුළ අපට ලබා දුන් පැළ එක්ලක්ෂ හැත්තෑදහසක පැළ සියල්ල මේ වනවිට රෝපණය කර තිබෙනවා. ඒ පැළ අතුරින් 95% පමණ පැළ ප්‍රමාණයක් සුරක්ෂිත ලෙස මේ වනවිට වැඩෙමින් තිබෙනවා. අමාත්‍යාංශයේ මුදල්, මෙම ව්‍යාපෘතිය සඳහා අප වැය කළේ නැති බවද කිව යුතුයි. රජයේ මුදල් බලාගෙන නොසිට අපගේ අමාත්‍යංශයේ කැපවීමෙන් මුදල් සොයා ගනිමින් පරිසරය සුරැකීමේ වැඩකටයුතු සිදු කිරීමට අප උත්සාහ කළා. රාජ්‍ය නොවන ආයතන ගණනාවක් අපගේ අමාත්‍යාංශයේ වැඩකටයුතුවලට සහාය ලබාදෙමින් සිටිනවා.

ලේක් හවුස් සභාපති, ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා - පරිසර අමාත්‍යංශය හරහා අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන මෙම හුස්ම දෙන තුරු වැඩසටහන රටේ අනාගතය උදෙසා වටිනා වැඩසටහනක්.

මේ වැඩසටහන හරහා එක්ලක්ෂ හත්දාහස් මේ වන වටි මේ පැළ රෝපණය කර තිබෙනවා. මෙම වැඩසටහනට සමගාමීව අපගේ ආයතනයේ සේවකයන්ට ද පැළ ලබා දීමට කටයතු කිරීම පිළිබඳ අමාත්‍යවරයාට මා ස්තූතිවන්ත වනවා.

ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී

කාරියවසම් මහතා- ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොවූ කටයුත්තක් පරිසර අමාත්‍යාංශය හරහා සිංහල අලුත් අවුරුද්ද නිමිති කරගෙන ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට නියමිතයි. අවුරුද්දට නැකැතට වැඩ අල්ලන සිරිත දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන සිරිතක් කියා අප කවුරුත් දන්නවා. මෙවර ඊට අලුත් අරුතක් පරිසර අමාත්‍යාංශය ලබා දී තිබෙනවා. මේ අවස්ථාව සංකේතවත් කරමින් අප ආයතනයේ සේවකයන්ට පැළ ලබා දීමටද පරිසර අමාත්‍යාංශය මූලික වී තිබෙනවා. පරිසරය සම්බන්ධව මේ අාකාරයෙන් උනන්දුවක් දැක්වීම විෂය භාර අමාත්‍යවරයා ලෙස ඔබතුමාට වගකීමත් පැවරී තිබෙනවා.

අමාත්‍යාංශයේ වැඩකටයුතුවලට දක්වන සහයෝගය පිළිබඳ දිනමිණ කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදීනි බුද්ධිකා ඉඹුලාන මහත්මියට ඇමැතිවරයා මෙහිදී ස්තූතිය පළ කර සිටියේය.

මෙම අවස්ථාවට ආයතන මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ කණිෂ්ක විතාරණ, මුදල් අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන, වැඩබලන සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී නාරද සුමනරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චන්දන බණ්ඩාර, මෙහෙයුම් කළමනාකරු ගයාන් බණ්ඩාර මහතා සහ පුවත්පත් කර්තෘවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

ඡායාරූප සාලිය රූපසිංහ සහ

සමන්ත වීරසිරි

අමෝදා ජයමහ

නව අදහස දක්වන්න