කොවිඩ් වසංගතයෙන් පසු පළමු වරට නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර නිදහස් සංචාරයට ඉඩ සලසයි | දිනමිණ

කොවිඩ් වසංගතයෙන් පසු පළමු වරට නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර නිදහස් සංචාරයට ඉඩ සලසයි

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියෙන් රටවල් අතර දේශසීමා පමණක් නොව රටවල් ඇතුළත පවා සංචරණ සීමා පනවා ඇති අවධියක ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සිය රටවැසියන්ට නිරෝධායන කාලසීමාවෙන් නිදහස්ව (quarantine-free travel) රටවල් දෙක අතර ගමන් කිරීමේ අවස්ථාව උදා කිරීමට තීරණය කර තිබේ. මේ මස 19 වැනිදා සිට එම අවස්ථාව දෙරටෙහිම වැසියන්ට දෙන බව නවසීලන්ත අගමැති ජසින්දා ආර්ඩර්න් ඊයේ නිවේදනය කළාය.

ඔක්තෝම්බර් මාසයේ සිට නවසීලන්ත සංචාරකයන්ට නිරෝධායනයකින් තොරව බොහෝ ඕස්ට්‍රේලියානු ප්‍රාන්තවලට ඇතුළුවීමට අවසර දී තිබූ අතර, දෙරටේහිම කෝවිඩ් වයිරසය පැතිරීම අඩු මට්ටමක පැවැතීම සැලකිල්ලට ගනිමින් මේ පියවර ගෙන තිබේ.

සාමාන්‍යයෙන් වාර්ෂිකව ඕස්ට්‍රේලියානුවන් මිලියන 1.5 ක් පමණ නවසීලන්තයේ සංචාරය කරන අතර, නවසීලන්ත අගමැතිවරිය මේ තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ දෙරටේ සංචාරකයන් තුළ විශාල උනන්දුවක් පැතිරෙමින් තිබේ.

"ඕස්ට්‍රේලියාවේ වෙසෙන මිතුරන් සහ පවුලේ අය දැක ගැනීමට නොහැකි වීම පසුගිය වසර පුරා දෙරටෙහිම වැසියන්ට දරා ගැනීමට අපහසු වූ එක් ගැටලුවක්" නවසීලන්ත අගමැතිවරිය සිය නිවේදනයේ සඳහන් කර තිබේ. "මෙය කොවිඩ් තුරන් කිරීමේ උපාය මාර්ගයක් වන අතරම වයිරසය වළක්වා ගැනීම සඳහා කැපවීමකින් යුතුව අඛණ්ඩව වෙනත් රටකට ජාත්‍යන්තර සංචරණය විවෘත කිරීමක්" ඇය පැවසුවාය.

කෙසේ වෙතත්, යම්කිසි අවස්ථාවක කොවිඩ් වසංගතයේ අවදානම නැවත මතු වුව හොත් සංචාරක විධිවිධාන වෙනස් විය හැකි බවට ඇය අනතුරු ඇඟවූ නමුත්, එවැන්නක් සිදු නොවනු ඇතැයි ඇය විශ්වාසය පළ කළාය.

ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සිය අසල්වාසී අගමැතිවරියගේ තීරණය පිළිබඳ දැඩි සතුටට පත්වී සිටින අතර, මාස හයකට වැඩි කාලයක් වසා දැමූ දෙරට අතර දේශසීමා නැවත විවෘත වීම සම්බන්ධව දැඩි ප්‍රසාදය පළ කර තිබේ. ඊයේ වන විට ඔස්ට්‍රේලියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 909ක් වන අතර, නවසීලන්තයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 26ක් පමණි.

නව අදහස දක්වන්න