මුළු රටක් සරු කරන ලුණු රසේ කතාව | දිනමිණ

මුළු රටක් සරු කරන ලුණු රසේ කතාව

රම්මල් කන්දෙන් පූදින සිහිල් දිය දහර. ඉන් බෙදී විහිදී දකුණුලක සරු කරනා කිරම ඔය, බරවකුඹුක අමුණ, තංගලු වේල්ල, ඒ අද අපේ ගමනේදී අප වටා ඇදෙනා ජීවමාන සාක්ෂි කිහිපයක්. ඒ හරහා ඉපැරණි සුවිශාල හම්බන්තොට නැව්තොට පසුකරමින් අප පිවිසෙන්නේ හම්බන්තොට මහ ලේවායටයි.

අදටත් ඒවා හම්බන්තොටට ආසිරි වඩනු වැනියි. දුරාතීතයේ චීනයේ සිට මහා නැව් මෙරටට ලුණු ගෙන යෑමට පැමිණි වග අදටත් ඔප්පු කළ හැක්කක්.

ඉදින් හම්බන්තොට මහලේවාය ඒ අභිමානය දරන්නක්. මෙරට ලුණු නිෂ්පාදනයේ පුරෝගාමියා ලංකා ලුණු සමාගම වන වග අවිවාදිතයි. එහි හම්බන්තොට මහා ලේවායේ ලුණු සම්පත විවිධ වෙළෙඳ නාමවලින් ඇසුරුම් කරමින් අලෙවි කරන පුද්ගලික ආයතන සිය ගණනක් හඳුනාගන්නටත් පුළුවන්. ඉදින් බුන්දල සහ පලටුපාන, හම්බන්තොට මහ ලේවායේ පරිවාර ශාඛා වශයෙන් ඉටුකරනා ජාතික මෙහෙවර ප්‍රශංසනීයයි.

රට පුරාම මුහුද. ඒ කරදිය කොයි කොතැනදීත් එකම එක වාගේ නේද? ඒවා ලුණු රසම නොවේද? නොඑසේ නම් හම්බන්තොට අවට කරදියේ සුවිශේෂයක් වේද? යමෙකුට එවන් පැනයක් නැඟිය හැකියි. සැබවින්ම ඊට පිළිතුර ‘ඔව්’ යන්නයි. ඒ වග විද්‍යාත්මකවත් තහවුරු වෙනවා. ලුණු නිෂ්පාදනයට උචිතම මුහුදු වතුර හම්බන්තොට අවට සාගරයේ පවතින බවට නවීන තාක්ෂණයෙන් ඔප්පු වන්නක්. ‘ගාර්නට්’ පාෂාණ බහුලවීම ඇතුළු විශේෂ කරුණු ඊට හේතු වෙනවා.

මහ මුහුදෙන් කරදිය පරිස්සමට වෙන් කර ගනිමින් හොඳම ඒවා ලියද්දෙන් ලියද්ද, පාත්තියෙන් පාත්තියට හුවමාරු කර ගනිමින් දින 45 කදී වැර වෑයමින් මුදවා ගන්නා ලුණු අස්වැන්න ඒ පියවරෙන් පියවරට මේ මහා ලේවා හරහා ලුණු නිෂ්පාදන කාර්යය ඉතා කෙටියෙනි.

ඉන් නොනැවතී ඒවා තවදුරටත් නවීන කර්මාන්තශාලා තුළදී සකස් කෙරේ. ඒ SLS ආදී ඉහළම තත්ත්ව සහතික සඳහා සලකා බැලෙන ඉහළම ප්‍රමිතිය රැක ගනිමිනි.

එහෙත් අනාගත ලෝකයට වැඩිපුර අවශ්‍ය වන්නේ දැනට නිපදවන කැට සහ කුඩුවලට වඩා වෙනස් ලුණු වර්ගයකි. ඒ රික්තක ලුණුය. (වැකුම් සෝල්ට්) විශේෂයෙන්, සොසේජස්, බිස්කට් ආදී විවිධ සකස් කළ ආහාර නිෂ්පාදනයේදී ඒවා අත්‍යවශ්‍යයි.

එහි සුවිශේෂත්වය කිසිම අයුරකින් වැලි හෝ වෙනත් ද්‍රව්‍ය අඩංගු නොවීමයි. එතරම්ම හොඳින් සෝදා පිරිසුදු කර ගන්නා ලුණු අධික උෂ්ණත්වයක් යටතේ නවීන කර්මාන්තශාලා තුළදී වාෂ්පීකරණය එහිදී සිදු කෙරෙනවා. ඉක්බිතිව ඒ වාෂ්පය ඝන මතුපිටකට යොමු කරවා එවිට එහි මතුවන කුඩා කුඩා දියර බිඳිති රික්තක ලුණු ලෙස සැලකෙනවා.

ඉතා පහසුවෙන් මෙරටින් අපනයනය සඳහාත් ඒවා නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. එවිට තවදුරටත් පිටරටින් රික්තක ලුණු ගෙන්වීමට වැයකරන විශාල ජාතික ධනය අපේ රටේ ඉතිරි වෙනවා. ඒ හැකියාව හොඳින්ම පවතින්නේ ‍ලංකා ලුණු සමාගමටමයි.

දැනට ලුණු නිෂ්පාදනයට දරන පිරිවැයට වඩා එකකට එකක් අඩුවෙන් රික්තක ලුණු නිපදවිය හැකි බවට මේ වනවිට පර්යේෂණාත්මකව තහවුරු කරගෙන තිබෙනවා.

කදිම අතුරුඵල

ලුණු නිෂ්පාදනයේ කදිම අතුරු ඵලයක් වන ජිප්සම් සිමෙන්ති ප්ලාස්ටෝ පැරිස්, පොහොර ආදිය නිෂ්පාදනයට යොදා ගන්නවා. මෙරටට කෝස්ටික් සෝඩා තවමත් පිටරටින් ගෙන්වයි. එහෙත් ලුණු ලේවායෙන් ඉතා පහසුවෙන් කෝස්ටික් සෝඩා නිෂ්පාදනය කළ හැකි බව තවමත් ඇතැමුන් නොදන්නා කරුණක්. එසේම හම්බන්තොට සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කළ හැකි නම් ඊට වුවමනා ජිප්සම් කිසිම අඩුවකින් තොරව ලංකා ලුණු සමාගමෙන් සපයා දිය හැකියි.

ආටිමියා

ඉස්සන් ගොවිපළ හිමියන් ඇතුළු මසුන් බෝකරන්නන්ට ‘ආටිමියා’ ඉතා වැදගත්. ආටිමියා අධිප්‍රෝටීනයක් වන අතර ඒ ලුණු නිෂ්පාදනයේදී උපදින ඉතා කුඩා ජීවී වි‍ෙශ්ෂයකි. වාර්ෂිකව පිටරටින් ආටිමියා ගෙන්වීමට විශාල ජාතික ධනයක් වැය වේ. තවම මෙරටට අවශ්‍ය කරන ආටිමියා ප්‍රමාණය රට තුළම නිෂ්පාදනය නොවේ. එහෙත් ඉදිරියේදී ලුණු ලේවා පුළුල් කිරීම හරහා ඒ වරම අපට උදාකර ගත හැකියි. සැබවින්ම සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන එක් ප්‍රධාන රහසක් වන්නේ ද මේවායි. ඉතා ඉහළ මිලකට අන්තර්ජාතික වෙළෙඳපොළෙහි අලෙවි වන මේ විශේෂය අපට අපනයනය කළ හැකි වන තවත් අගනා සම්පතකි. ඉදිරියේදී තවදුරටත් ඊට වැඩිපුර අවධානය යොමු කිරීම ලංකා ලුණු සමාගමේ අපේක්ෂාවයි.

සූර්ය බලශක්තිය

හම්බන්තොටට බොහෝවිට සැඩ හිරුරැස් පතින වන වග කවුරුත් දන්නා කරුණක්. එහෙත් ඉන් ප්‍රයෝජන හරිහැටි තවම ලබාගෙන ඇති දැයි යන්න ගැටලුකාරියි. මේ වනවිටත් රුපියල් ලක්ෂ 20 ක පමණ විදුලි බිලක් ලංකා ලුණු සමාගමට මාසිකව ගෙවීමට සිදුවෙනවා.

එහෙත් හම්බන්තොට සුවිශාල ලුණු කර්මාන්තශාලා ආශ්‍රිත ගොඩනැගිලිවල වහල මත ඉතා පහසුවෙන් සූර්ය පැනල සවි කළ හැකියි. එවිට විදුලි බිලක් වෙනුවට විදුලිය උත්පාදනය කොට ඒවා විදුලිය බෙදාහරින ආයතනවලට සැපයීමෙන් අතිවිශාල ආදායමක් ද උපයා ගත හැකියි.

මේ දැනට ලාභ ලබන තත්ත්වයට ගෙනැවිත් තිබෙන ලංකා ලුණු සමාගම තව තවත් දියුණු කළ හැකි ආකාර කිහිපයක් පමණයි.

එසේම සමාගම සතු අති විශාල ඉඩකඩම් සංචාරක කර්මාන්තයේ උන්නතියට යොදා ගැනීමට ද පුළුවන. දැනටමත් බුන්දල කළපුව අද්දරට වන්නට මනරම් ආදර්ශ රුක් නිවහනක් ලංකා ලුණු සමාගම මඟින් ඉදිකොට තිබෙනවා. ඔබ මොබ හැසිරෙන මුව රංචු අලි ඇතුන් ඉතා සමීපව දැක බලා ගැනීමට ඉඩ ලැබීම නිසා ඒ කෙරෙහි දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඉතා ඉහළින් ලැබෙනවා.

යාල සෆාරියේ යෙදෙන්නන්ට සේවා පහසුකම් සඳහා උසස් තත්ත්වයේ ගිමන්හලක අඩුපාඩුව කලෙක සිටම මතුවී පෙනෙන්නක්. ඊට පිළියමක් ලෙස ලංකා ලුණු සමාගම සතුව පවතින ලුණු නිෂ්පාදන ක්‍රියාවලියට කෙළින්ම යොදා ගැනීමට අපහසු ඉඩකඩම් උප‍යෝගි කරගෙන උසස් තත්ත්වයේ පහසුකම් සහිත ගිමන්හලක අවශ්‍යතාවය සැපිරීමට සමාගමට කිසිසේත් අපහසු නොවේ.

කැපී පෙනෙන වෙනස

ඉකුත් යහපාලන සමයේ පත් කළ දුර්වල කළමනාකාරිත්වය යටතේ ලංකා ලුණු සමාගම ලැබූ පාඩුව අතිමහත්. එය රුපියල් කෝටි 26 කටත් වැඩියි. එසේම එකලදීම මඩ සහ විවිධ අපද්‍රව්‍ය සහිත ප්‍රමිතියෙන් සහ පැහැයෙන් අඩු ලුණුවලට ඉස්තරම් හම්බන්තොට ලුණු කලවම් කිරීමේ ජාවාරමක් මේ වනවිට හෙළිකරගෙන තිබෙනවා. එසේ ඉතා අධික මුදලක් වැයකරමින් ගෙන් වූ ලුණු මෙට්‍රික් ටොන් 10,000 ක් පමණ ලංකා ලුණු සමාග‍ෙම් ලේවායන්හි ගොඩ ගසා තිබෙනවා. ඒවා පාරිභෝගිකයාට අලෙවි කළ නොහැකිය. ඒ බාල තත්ත්වයේ පවතින හෙයිනි.

එවකට ඉවක් බවක් නැතිව හිතුමතේ සේවක සේවිකාවන් බඳවා ගැනීම තවත් ගැටලුවකි. ඒ අනුව දැනටමත් ස්ථිර සේවකයන් 600 ක් පමණ ද තවත් 3000 ක් පමණ සේවා අවශ්‍යතා අනුව තාවකාලික පදනම මත ද ලංකා ලුණු සමාගමේ සේවයේ යෙදෙනවා.

ඒ කිසිවකුගේ රක්ෂා කිසිම කප්පාදුවකින් තොරව සුරක්ෂිතව පවතිනවා. ඉදිරියේදිත් සේවක සේවිකාවන් ඵලදායි කටයුතුවල යොදවමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩා යහපත් කිරීමේ භාරදූර වගකීම ලංකා ලුණු සමාගම ඉටුකරනවා. එමෙන්ම අලුතින් තවත් පිරිසකට රැකී රක්ෂා උත්පාදනය කිරීමේ සද් චේතනාවෙන් කටයුතු කෙරෙනවා.

දැනටමත් විඳි පාඩු මඟහරවාගෙන ප්‍රශස්ත ලාභයකට හිමිකම් කියන හෙයින් කොරෝනා වසංගතයේ බලපෑම් මධ්‍යයේ වුවද ඉදිරි ඉලක්ක සපුරා ගැනීමේ අපහසුතාවක් ඇති නොවනු ඇති.

එසේම පුද්ගලිකකරණයට සූදානම් කෙරුණු මේ රාජ්‍ය ආයතනය ඉන් ගලවාගෙන රාජ්‍ය දේපළක් වශයෙන් රැකගැනීමේ ගෞරවයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා හිමිකම් කියන වග හම්බන්තොට ජනතාව කවදත් සිහිකරන කරුණක්.

එමෙන්ම පාඩු ලබන ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කිරීමේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉතා කෙටි කලෙකදී යළි හරි මඟට ගෙනා රාජ්‍ය ආයතනයක් වශයෙන් ලංකා ලුණු සමාගමේ සියලු සේවක සේවිකාවන්ට දැන් සාඩම්බරයෙන් සේවය කළ හැකි වටපිටාවක් ඇති කොට තිබෙනවා.

වත්මන් දියුණුව නොඉවසන ඇතැමුන් අකුල් හෙළීම් විවිධ අභූත චෝදනා නඟන බවක් පෙනෙනවා. ලංකා ලුණු සමාගමේ සභාපතිවරයාට හිමිවන වරප්‍රසාද පිළිබඳත් එය එසේමයි. පුද්ගලික පරිහරණයට සභාපතිවරයා රුපියල් ලක්ෂ 2 කට ආසන්න වටිනාකමකින් යුතු නවීන දුරකතනයක් මිලදී ගනු ලැබී යැයි පසුගිය දිනවලදී ජනමාධ්‍ය හරහා ද ප්‍රවෘත්ති පළ කෙරුණේ ඒ පිළිබඳ අදාළ පාර්ශ්වවලින් නිසි කරුණු විමසීමකින් තොරවයි. සැබැවින්ම පවතින වසංගත තත්ත්වය යටතේ පරිපාලන කටයුතුවලදී නවීන තාක්ෂණය ඉතා වැදගත් වන වග කවුරුත් දන්නා කරුණක්. ඒ සඳහා නවීන පහසුකම් සහිත ජංගම දුරකතනයක් ලංකා ලුණු සමාගම මගින් මිලදී ගැනුණේ කිසිසේත් සභාපතිවරයාගේ පුද්ගලික පරිහරණයට නොවෙයි.

ලුණු සමාගමෙන් ඉවත්ව යන දිනෙක තනතුරට අදාළව හිමිවන ජංගම දුරකතනය ආදී සියල්ල නැවත ආයතනයට භාරදීමට සෑම සභාපතිවරයකුම බැඳී සිටිනවා.

එහෙත් පසුගිය ආණ්ඩු සමයේ ආයතන‍යේ විවිධ සම්පත් නැවත භාරදීමට කටයුතු නොකළ ඇතමුන්ම අභූත චෝදනා එල්ල කිරීම විහිළු සහගතයි. ඒ සත්‍යය සමස්ත සේවක සේවිකාවන්ගෙන් බහුතරයක් ඉතා හොඳින් වටහා ගත් වග වත්මන් පාලනාධිකාරිය පිළිබඳ ඔවුන් දක්වන අදහස් ඇසුරෙන් පෙනෙනවා.

අභාග්‍ය

මේ වනවිටත් ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා වන තීන්දු තීරණ ගැනීමට ලංකා ලුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය දිගුකලෙකින් එකට හමු නොවීම බලවත් පාඩුවකි. ඒ ඇතමුන් ඉල්ලා අස්වී තිබුණ ද ඒ වෙනුවෙන් අලුතින් සාමාජිකයන් පත් නොවීමෙන් රටේ ඉදිරි අනාගතයට ඉතා වැදගත් වන රික්තක ලුණු නිෂ්පාදනය, සංචාරක කර්මාන්තය ආශ්‍රිත නව ව්‍යාපෘති ආදිය එකතැන නතර වීමේ අවදානමක් මතුවී තිබෙනවා.

හිරුගේ උදාවත් සමඟින් ආරම්භ කෙරුණු අපගේ සංචාරය හම්බන්තොට, බුන්දල, පලටුපාන ලේවාය හරහා යෙදුනු අතර‍, හිරු අවරට බැස යන මොහොත වනවිට නිමාකර ගැනීමට හැකි විය. එතරම් දුරක් ඇවිදිමින් සුන්දර දසුන් නෙතඟට හසුකර ගැනීමට තරම් විවිධත්වයක් මෙම ගමන තුළ විය.

එමෙන්ම අගනා සම්පතක් වන ලුණු රටට දායාදයක් බවට පත්කිරීමේ මහඟු මෙහෙවර කිසිවකුටත් පුද්ගලික මතිමතාන්තර මත ආපස්සට හැරවිය නොහැක්කක් විය යුතු වග විද්වතුන් නිතර අවධාරණය කරන්නක්.

මේ අභිප්‍රාය සාර්ථක කර ගැනීමට ලංකා ලුණු සමාගමේ සභාපති, නීතිඥ, ක්‍රිශාන්ත සඳබරණ මහතා සිදු කරන සේවාව පිළිබඳ සඳහන් කරනු වටී. ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී දිගින් දිගටම අලාභ සහ අක්‍රමණිකතා සිදු කෙරුණු බවට හෙළිවී තිබෙන ලංකා ලුණු සමාගම ක්‍රමානුකූලව ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට සභාපතිවරයා ඇතුළු එහි සේවක පිරිස කළ කැපවීම ප්‍රශංසනීය වනු ඇත.

'ඇත්තටම මහ මුහුද කියන්නේ තවත් කප්රුකක්. මුහුදු වතුර ටිකේ අපට අහක දාන්න දෙයක් නැහැ.ඒ හැම දිය බිඳුවකින්ම රටට වැඩක් ගන්න පුළුවන්. රාජ්‍ය ආයතනයක් විදියට රට වටා මහ මුහුදෙන් රටේ සංවර්ධනයට අවශ්‍ය ශක්තිය ලබා දීමට අප සූදානමින් සිටිනවා. ඒ නිසා ලංකා ලුණු සමාගම ප්‍රමිතිගත නිෂ්පාදන හරහා ලාභ ලබන තත්ත්වයට ඔසවා තබන්නට අපට හැකියාව ලැබුණා.

අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ ඍජු මගපෙන්වීම යටතේයි ඒ විදියට අපට ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට හැකිවුණේ. ඒ ජයග්‍රහණය මහලේවාය ඇතුළු පරිවාර ලේවායන්හිත් එසේම, රටේ සමස්ත ජනතාවටත් උරුමයි.මේ රට සංවර්ධනය කිරීමයි පොදුවේ අපි හැමෝගෙම අරමුණ. ඒ වෙනුවෙන් හැමදාමත් අපි කැප වෙනවා...'

ඒ වැඩිදුරටත් නීතිඥ නිශාන්ත සඳබරණ මහතා ලංකා ලුණු සමාගමේ හෙට දවස වෙනුවෙන් රටට දුන් ප්‍රතිඥාවයි.

නුවන් මහේෂ් ජයවික්‍රම

ඡායාරූප - රුක්මල් ගමගේ

නව අදහස දක්වන්න