පාර්ලිමේන්තුව, අධිකරණය හා රන්ජන් | දිනමිණ

පාර්ලිමේන්තුව, අධිකරණය හා රන්ජන්

රන්ජන් රාමනායක මහතා හිරගෙදර සිටිය ද සමාජ චලන ඇති කරන චරිතයක් බවට පත්ව සිටී. ඒ චලන හොඳ අතට නොව, නරක අතට දිවෙන බවක් පෙනෙන්න තිබේ. එක අතකින් ඔහු නීතිය නොදැන හෝ නීතියට ගරු නොකර හෝ අමාරුවේ වැටී ඇත. තව අතකින් එලෙස අමාරුවේ වැටුණු පුද්ගලයා දේශපාලන වශයෙන් පාවිච්චි වීමට පටන් ගෙන ඇත. රන්ජන්ට මේ දෙකම හොඳහැටි වැටහී නැති බව ද පැහැදිලිය. ඔහු තවම නීතියට අභියෝග කරන හැටියක් පෙන්නුම් කරන අතර, සමඟි ජන බලවේගය පමණක් නොව, තවත් පුද්ගලයෝ ද දේශපාලන වශයෙන් ඔහු භාවිත කරති. පෙරේදා පාර්ලිමේන්තුවේදී කියැවුණේ රන්ජන්ගේ මන්ත්‍රීකම අහෝසි වී ඇති බවය. ඒ අනුව එම මන්ත්‍රී අසුන සඳහා අජිත් මාන්නප්පෙරුම තෝරා පත් කර ගෙන තිබේ.

පාර්ලිමේන්තුව පෙරේදා ගාලගෝට්ටියක් බවට පත් වූයේ යහපාලන ආණ්ඩු සමයේ සභාව සිහියට නංවමින්ය. ඊට හේතු සාධක වූයේ රන්ජන්ගේ මන්ත්‍රීකම අහෝසි වූ බව ප්‍රකාශයට පත් වීමය. කථානායකවරයා පෙන්වා දෙන්නේ අධිකරණයේ තීන්දුවට අනුව මන්ත්‍රීකම අ‍හෝසි වූ බවය. එහෙත් සමඟි ජන බලවේගය එය පිළිගැනීමට සූදානම් නැති බවක් පෙනෙයි. එම පක්ෂයේ තර්කවලින් කියවෙන එක් අදහසක් වන්නේ කථානායකවරයා මැදිහත් වී රන්ජන් බේරා ගත යුතු බවය. නීතියෙන් වරදකරුවකු වී දඬුවම් විඳින පුද්ගලයකු කථානායකවරයාට බේරා ගත හැකි ද? තව අතකින් එවැන්නක් කළ යුතුද? එසේ කරන්නේ නම් නීතියට බලපෑම් කරන පුද්ගලයකු බවට කථානායක පත් වනු ඇත.

එස්.බී. දිසානායක මහතා මේ සම්බන්ධයෙන් අපූරු ප්‍රකාශයක් සිදු කර තිබේ. ඔහුට අනුව රන්ජන් රාමනායක අන්තර්ජාතික අධිකරණයකට ගියත් ඔහුගේ මන්ත්‍රීකම නැවත හිමි කර දීමේ හැකියාවක් නැත. එය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වන බව ද දිසානායක මහතා පෙන්වා දෙයි. එස්. බී. යනු අධිකරණයට අපහාස කිරීම පිළිබඳ හොඳ අත්දැකීමක් ඇති චරිතයකි. ඔහු ද අධිකරණයට අපහාස කොට දඬුවම් ලබා ඇත. රන්ජන් තමාට හිමි නඩු තීන්දුවට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කළේය. එය ඉවත දැමිණි. නැවත මන්ත්‍රීකම අහෝසි වීමට එරෙහිව ද පෙත්සමක් ඉදිරිපත් කළේය. එය නිෂ්ප්‍රභ විය. අධිකරණයට අපහාස කිරීම බරපතළ කාරණයක් බව දැන් සියලු දෙනාම වටහා ගත යුතුය.

පුද්ගලයන් විවිධ හේතු සාධක නිසා සමාජයේ කැපී පෙනෙන තත්ත්වයකට පත් වන්නට පුළුවන. ජනප්‍රිය වන්නටත් පුළුවන. කෙනෙක් රංගනය නිසා ජනප්‍රිය වෙයි: තව කෙනෙක් ගායනය නිසා ජනප්‍රිය වෙයි. තවත් කෙනෙක් සමාජ සේවය නිසා ජනප්‍රිය වෙයි. එහෙත් මේ කිසිවක් නීතියට අදාළ නැත. ජනප්‍රියත්වය හෝ බලය හෝ නීතියෙන් ගැලවී යෑමට සාධකයක් වන්නේ නැත. ස්වකීය ජනප්‍රියත්වය අයුතු ලෙස භාවිත කිරීමට උත්සාහ දරන තැනැත්තා එක්කෝ මෝඩයෙකි: නැත හොත් ශුර කපටියෙකි. විජය කුමාරතුංග ගත හොත් ජනප්‍රියත්වයේ ඉහළම තලයේ සිටි තැනැත්තෙකි. එය රනජන්ට හිතාගන්නටත් බැරි ජනප්‍රියත්වයකි. විජය වෙනුවෙන් පණ දෙන්න මිනිස්සු සිටියෝය. එහෙත් ඔහු කිසිකලෙක නීතියට අභියෝග කළේ නැත: විනිසුරුවන්ට අපහාස කළේ නැත.

අපගේ වැටහීමට අනුව රන්ජන් දේශපාලනය වෙනුවෙන් හෝ කලාව වෙනුවෙන් හෝ බරසාර සේවයක් කළ තැනැත්තෙක් නොවේ. එබඳු බරසාර සේවයක් කිරීමට තරම් පරිණතභාවයක් ද ඔහුට නැත. රන්ජන් සිදු කළේ සමාජයේ දුර්වල තැන් සොයමින් ඒවාට අදාළ ඕපා-දූප එකතු කරමින් විනෝදයක් ලැබීමය. ඔහු ඇතැම් ස්ත්‍රී චරිතවල පෞද්ගලිකත්වය හෙළිදරවු කරන්නේ සදාචාරාත්මක සීමා ද උල්ලංඝනය කරමින්ය. මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ ගරුත්වයට හා මහජන නියෝජිතයා යන පදවියේ පිළිගැනීමට අනුචිත බොහෝ දේවල් රන්ජන් අතින් සිදු වී ඇත. දේශපාලන වශයෙන් වැදගත් මහත්තයකුගේ චරිතයට පණ දෙන්න රන්ජන්ට හැකියාවක් නැත. ඔහුගේ චර්යාවට අනුව රන්ජන් මීට පෙර හිරේ නොයෑම පුදුමයකි!

සජිත් මහතාගේ දේශපාලන ව්‍යාපාරය රන්ජන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එහි වරදක් නැත. මන්ද යත්: රන්ජන් රාමනායක එම දේශපාලන ව්‍යාපාරයේ කොටස්කරුවකු වන නිසාය. එහෙත් රන්ජන් වෙනුවෙන් පෙනී සිටින සජිත් පිල ඔහු තවදුරටත් අමාරුවේ වටෙන ලෙස ක්‍රියා කිරීම සුදුසු දෙයක් නොවේ. දැන් සිදු වන්නේ එබඳු දෙයක් බව පෙනී යයි. වෙනත් විදිහකට කිව හොත් සජත් පිල කරන්නේ රන්ජන් පාවිච්චි කොට තම විරෝධතා පෙළගැස්වීම මිස ඔහු බේරා ගැනීමට වැඩකටයුතු සිද්ධ කිරීම නොවේ. රන්ජන්ට ජනාධිපති සමාවක් ගත හැකිය. එහෙත් උද්ධච්චකම නිසා ඔහු ඊට නැමෙන්නේ නැත.

රන්ජන් වෙනුවෙන් යම් අවංක කටයුත්තක් සිදු කළේ ඇමැති මහින්දානන්ද යැයි කිව හැකිය. ඔහු රන්ජන්ට එරෙහිව පවරා තිබූ නඩුවක් ඉල්ලා අස් කර ගත්තේය. එම නඩුවෙන් රන්ජන් පරාජයට පත් වූයේ නම් තවත් දඬුවමක් විඳීමට සිදු වනු ඇත. රන්ජන් දේශපාලන වශයෙන් පසමිතුරු පිල නියෝජනය කළත් ඇමැති මහින්දානන්ද ඔහුගෙන් පළි ගැනීමකට ගියේ නැත. එය දේශපාලන වශයෙන් අගය කළ යුතු කාරණයකි. නඩුව ඉල්ලා අස් කර ගත් ඇමැතිවරයා කියා සිටියේ රන්ජන් අනුන් නිසා නොමඟ ගිය පුද්ගලයකු බවය. එය ද පිළිගත හැකි අදහසකි. රන්ජන් තම පක්ෂයේ ස්ථාවරත්වය වෙනුවෙන් කළ යුතු දේ සේම නොකළ යුතු දේ ද කරන්න ගිය පුද්ගලයෙකි. ඔහුගේ ඉතිහාස ක්‍රියා විමසන විට ඒ බව පැහැදිලි වෙයි.

රන්ජන් කට නිසා සිර දඬුවම් විඳින්නේ වුව ඔහුගේ හොඳ ගතිගුණ කිහිපයක් ද තිබේ. ඔහු සිය පක්ෂය වෙනුවෙන් කොන්දේසි විරහිතව වැඩ කළේය. එලෙසම තම පාක්ෂිකයන්ට හා හිතවතුන්ට අසීමාන්තිකව උදව් කළේය. රන්ජන් තම හිතවතකුට මුදලින් උපකාර කිරීමට කිසිදා මැළි වූයේ නැත. ඔහු ඒ අතින් අගය කළ යුතු මිනිසෙකි. එහෙත් තමන්ගේ චර්යාවන් පාලනය කර ගැනීමේ හැකියාව ඔහුට තිබුණේ නැත; වචන හසුරුවා ගත යුතු ආකාරය ඔහු දැන සිටියේ නැත. එබැවින් ඔහු අමාරුවේ වැටුණේය. රන්ජන් පාඩමකට ගත හොත් නීතිය සමඟ සෙල්ලම් කිරීම බරපතළ වැරැද්දක් බව එත්තු යා යුතුය. රන්ජන් හැදෙනවා නම් විජය කුමාරතුංග ආදර්ශයට ගෙන වැඩ කළ යුතුය. විජයගේ දේශපාලනය සජිත්ලාගේ දේශපාලනය නොවේ.

නව අදහස දක්වන්න