ඉසිපතන-රාජකීය සා. පීතර-සා. අන්තෝනි අර්ධ අවසන් පූර්ව වටයට | දිනමිණ

ඉසිපතන-රාජකීය සා. පීතර-සා. අන්තෝනි අර්ධ අවසන් පූර්ව වටයට

ෆවුස් මොහොමඩ්
මහානාම සා. තෝමස් අතර තරගයෙන්. ඡායාරූපය හිරන්ත ගුණතිලක

දඟපන්දු යවන සිතුක ගුණවර්ධනයේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ආනන්ද විදුහල් පිලට එරෙහිව කඩුලු 10ක පහසු ජයක් වාර්තා කළ ඉසිපතන විදුහල් පිල අන්තර් පාසල් අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ එක්දින තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

බීආර්සී පිටියේ පෙරේදා පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ආනන්ද විදුහල් පිලේ ඉනිම ඕවර 31.4කදී ලකුණු 66කට සීමා කරමින් ලකුණු 15කට කඩුලු 5ක් දවාලීමට සිතුක ගුණවර්ධන සමත් විය. ඉසිපතන විදුහල් පිල ඕවර 9.1කදී කිසිවකු නොදැවී ජයග්‍රහණය සපුරා ගැනීමට සමත් විය.

රාජකීය විදුහල් පිලත් අවසන් අටට

මේ අතර ඩීඑස්. සේනානායක විදුහල් පිලේ අභිෂේක් ලියනාරච්චිගේ සුපිරි ශතකය අපතේ හරිමින් ලකුණු 64ක ජයක් වාර්තා කළ කොළඹ රාජකීය විදුහල් පිලත් අර්ධ අවසන් පූර්ව වටයට සේන්දු විය. රාජකීය විදුහල් පිටියේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනූ ඩීඑස් පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන් රාජකීය විදුහල් පිල ඕවර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 319ක් රැස් කිරීමට සමත් විය. අහාන් වික්‍රමසිංහ ලකුණු 70ක් රැස් කිරීමට සමත් වූ අතර, සිනෙත් ජයවර්ධන ලකුණු 49ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩීඑස් සේනානායක විදුහල් පිල ඕවර 48.4කදී ලකුණු 255කට දැවී ගියේය. අභිෂේක් ලියනාරච්චි ලකුණු 107ක් රැස් කළ අතර, මනීන්ද්‍ර ජයතිලක ලැබූ ලකුණු සංඛ්‍යාව 68කි.

ශානුක සහ සහන් පීතර පිල දිනවති

සටන්කාමී අර්ධ ශතක දෙකකින් ඉනිම වර්ණවත් කළ ශානුක ගලේගොඩ සහ සහන් කුමාර ගාල්ල මහින්ද විදුහල් පිල කඩුලු 6කින් පරාජය කරමින් බම්බලපිටිය සාන්ත පීතර විදුහල් පිල අර්ධ අවසන් පූර්ව වටයට රැගෙන ගියහ. මහින්ද විදුහල් පිටියේ පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් මහින්ද විදුහල් පිල ඕවර 48කදී ලකුණු 230ක් රැස් කළ අතර, නවෝද් පරණවිතාන ලකුණු 91කින් ඉනිම වර්ණවත් කළේය.

සාන්ත පීතර විදුහල් පිලට ජයග්‍රහණය අත් කර ගැනීමට වැය වූයේ කඩුලු 4ක් සහ ඕවර 45.1ක් පමණි. ශානුක ගලේගොඩ ලකුණු 63ක් රැස් කළ අතර, සහන් කුමාර නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 57කි.

වත්තල සා. අන්තෝනි අවසන් අටට

රොමේෂ් සුරංගගේ විශිෂ්ට පන්දු යැවීමත්, ගිහාන් සත්මිකගේ, දිලිප් ප්‍රනාන්දුගේ සහ කවීෂ දුලාංජනගේ දක්ෂ පිතිහරඹයත් හේතුවෙන් මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල් පිල කඩුලු 2කින් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට වත්තල සාන්ත අන්තෝනි විදුහල් පිල සමත් විය.

කාසියේ වාසිය දිනූ වත්තල පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයෝ ඕවර 50 නිමා වෙද්දී කඩුලු 9කට ලකුණු 261ක් රැස් කළහ. නිම්ෂ දේශාන් නොදැවී ලකුණු 67ක් රැස් කළ අතර, මලීෂ සිල්වා ලැබූ ලකුණු සංඛ්‍යාව 56කි. රොමේෂ් සුරංග ලකුණු 39කට කඩුලු 4ක් බිඳ දැමුවේය. තියුණු තරගයක නිරත වූ වත්තල ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ඉනිමේ අවසන් පන්දුවෙන් ජයග්‍රහණය අත් කර ගත්හ. ගිහාන් සත්මික ලකුණු 64ක් රැස් කළ අතර, දිලිප් ප්‍රනාන්දු ලකුණු 47කින්ද, කවීෂ දුලාංජන ලකුණු 41කින් ද ඉනිම වර්ණවත් කළහ.

මහානාමයට ජය

මාතර සාන්ත තෝමස් විදුහල සමඟ බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් අත් කර ගැනීමට කොළම මහානාම විදුහල සමත් විය. සාන්ත තෝමස් පිල ලකුණු 188කට සීමා කළ මහානාම ක්‍රීඩකයෝ ඕවර 39කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී තිබියදීය. සදීෂ චමෝද්‍ය ලකුණු 58ක් සහ පුල්ෂාන් රෝහණ ලකුණු 57ක් රැස් කරමින් මහානාම පිල ජයග්‍රහණය කරා ගෙන ගියහ. දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 123කි.

නව අදහස දක්වන්න