පාසල් දැරියකට අතවර කළැයි සුළුපියා සහ පෙම්වතා අත්අඩංගුවට | දිනමිණ

පාසල් දැරියකට අතවර කළැයි සුළුපියා සහ පෙම්වතා අත්අඩංගුවට

බාලවයස්කාර පාසල් දැරියකට බරපතළ අතවරයන් සිදුකිරීම සම්බන්ධයෙන් දැරියගේ සුළු පියා හා 17 හැවරිදි පෙම්වතා තිරප්පනය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

දැරිය විසින් පරිවාස නිලධාරින්ට ලබාදුන් ප්‍රකාශයන්ට හා පොලිසිය සිදුකළ පරික්ෂණ වලට අනුව දැරියගේ සුළුපියා (බාප්පා) හා පෙම්වතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

පාසල් දැරිය මව විදේශ ගතව සිටියදී මිත්තණිය සමඟ නිවෙසේ ජීවත්වී ඇති බවත් දැරිය තරුණයකු සමඟ සබඳතා පවත්වමින් ඇතිකර ගෙන තිබූ නොමනා ක්‍රියා කළාපය නිසා ඇයව පරිවාස භාරයට පත්කර සාලියපුර පිහිටි ළමා නිවාසයක රඳවා සිට ඇති බවත් මව විදේශයේ සිට නැවත පැමිණි පසුව පරිවාස භාරයෙන් මුදාගෙන නිවෙසට රැගෙනවිත් ඇති බව පරික්ෂණ සිදුකරන පොලිසිය පවසයි.

දැරිය මාස කිහිපයක් තිස්සේ නිවෙසේ සිටියදී පෙම්වතා සමඟ නැවත සම්බන්ධතා පැවත්වීම නිසා මව ලබාදෙන කිසිදු උපදෙසක් අවවාදයක් පිළිනොපැදීම නිසා නැවතත් අධිකරණ නියෝග ලබාගෙන පරිවාස භාරයට පත්කර තිබෙනා බව පොලිසිය පැවසුවේය.එසේ පරිවාස භාරයට පත්කළ පසුව නිලධාරින් විසින් ඇයට නිවෙසේ සිටි සමයේ සිදුවිම් ලිපියක් ලෙස සකසා දෙන ලෙස උපදෙස් ලබාදී ඇති බව පොලිසිය සිදුකළ පරික්ෂණ වලදි අනාවරණය වී තිබුණි.

එම ලිපියේ නිවෙසේදී සිදුවූ අතවරයක් පිළිබඳව සටහන් යොදා තිබූ බවත් රාත්‍රී කාලයේ තමන් නිදා සිටියදී මවගේ දෙවන සැමියා විසින් තමන්ගේ උදරය ස්පර්ශ කළ බවත් තමන් නින්දෙන් අවදිවූ පසුව ඔහු එම ස්ථානයෙන් ඉවත්වී ගිය බවත් ලිපියේ සඳහන්ව තිබූ බව පොලිසිය පැවසුවේය.ඒ අනුව නැවතත් අධිකරණ නියෝග මත සිදුකළ පරික්ෂණ වලදී සිය මවට ඇඳුම් මැසීමට යන බව පවසා පෙම්වතා සමග තිරප්පනය ඇතුන්ගම කැලෑවට ගිය බවත් පෙම්වතා කැලෑ ප්‍රදේශයේදි බරපතළ අතවරයක් සිදුකළ බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබේ.

ඒ අනුව සැකකරා සුළු පියා හා 17 හැවරිදි තරුණ පෙම්වතා පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.සැකකරුවන් දෙදෙනාව ලිංගික අතවරයක් හා බරපතල ලිංගික අතවරයක් සිදුකිරිමේ චෝදනාවන් මත (8දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.අයි.බී රත්නායක මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් සැරයන් 537 නිරංජලා මහත්මිය ඇතුළු නිලධාරින් කණ්ඩායම් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර මධ්‍යම විශේෂ-බී.එම්.විජේසූරිය

 

නව අදහස දක්වන්න