සා/පෙළින් පසු සිසුන්ට බලෙන් අන්තවාදි දේශන දීලා | දිනමිණ

සා/පෙළින් පසු සිසුන්ට බලෙන් අන්තවාදි දේශන දීලා

ඕළුවිල්හිදී දෙදෙනෙක් අත්අඩංගුවට

අපොස සා/පෙළ විභාගයට පෙනී සිටි ළමයි පිරිසකට පහර දී තුවාල කර බලහත්කාරයෙන් අන්තවාදී සහ මූලධර්මවාදී දේශන පැවැත්වූ පුද්ගලයන් දෙදෙනකු ත්‍රස්ත විමර්ශන අංශය විසින් ඕළුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සැකකරුවන් දෙදෙනා පෙරේදා (7) සවස අත්අඩංගුවට ගැනීමෙන් පසු දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් සිටින බවද පොලිස් නිලධාරියකු දිනමිණට පැවසීය. ‍

අත්අඩංගුවට පත් සැකකරුවන් 30 හැවිරිදි හා 39 හැවිරිදි ඔලුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් විසින් 2018 වර්ෂයේදී අවස්ථා කිහිපයකදීම මේ ආකාරයෙන් පාසල් දරු දැරියන්ට නොයෙක් හිරිහැර කරමින් අන්තවාදය පතුරවමින් ත්‍රස්තවාදී ක්‍රියා සඳහා කටයුතු කර ඇතැයි අනාවරණය වී තිබේ.

විදේශීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගැනීමට පවත් වන දේශනවල අඩංගු කරුණු සැකකරුවන් විසින් මෙරට සිටින ළමයින් වෙත දී ඇති බව පැව‍සේ.

2018 වසරේ දෙසැම්බර් මාසයේදී එම පන්ති ඔලුවිල් ප්‍රදේශයේදී පවත්වා ඇති අතර, එම පන්තිවලට සහභාගි වූ සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත නොමැතිව විවිධ ශාරීරික අභ්‍යාස දුන් බවටද හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය. එම අභ්‍යාසවලට අකමැති වූ සිසුන්ට පහරදීම්ද කර ඇති අතර, එවැනි පහරදීම්වලට ලක් වූ සිසුන් පිරිසක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සොයා ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් තිබේ.

රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් තව දුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවත් පාස්කු ඉරු දින ප්‍රහාරය හා සම්බන්ධ ස්වයං ඝාතකයකු වූ සහරාන් හෂීම්ගේ අනුදැනුම මත එම අන්තවාදී පන්ති පැවැත් වූ බවට අනාවරණය වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩි දුරටත් පැවසීය.

මේ වන විට ඉකුත් සති 3 ඇතුළතදී මෙලෙස අන්තවාදය පැතිරවීම්වලට සම්බන්ධ මෙන්ම පාස්කු ප්‍රහාරයට සැක කරන පුද්ගලයන් 12 දෙනකු පමණ ත්‍රස්ත විමර්ශන පොලිස් කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

නව අදහස දක්වන්න