සූවස් ඇළේ හිරවුණ ලෝක ආර්ථිකය | දිනමිණ

සූවස් ඇළේ හිරවුණ ලෝක ආර්ථිකය

පසුගිය දිනක සූවස් ඇළ හරහා බහාලුම් 20,000 පටවා ගත් එවර් ග්‍රීන් නෞකාව සූවස් ඇළේ ඉවුර මත ගැටී අනතුරට ලක් වී සූවස් ඇළේ ගමන් මාර්ගය අවහිර වී තිබුණි. මෙම නෞකාව එවර් ගිවන් සමාගම සතුව පවතින විශාල ප්‍රමාණයේ පවතින නෞකාවක් වන අතර මීටර් 400 දිගින් යුක්ත වේ. පළල මීටර් 59ක් පමණ වේ. මෙම නෞකාවේ ගමනාන්තය වී තිබුණේ සූවස් ඇළ හරහා රොටර්ඩෑම් වරාය වෙත ගමන් කිරීමයි. වැලි කුණාටුවක් හේතුවෙන් ඇති වූ යාන්ත්‍රික දෝෂයක් නිසා පාලනය කර ගත නොහැකිව නෞකාව සූවස් ඇළේ එක් ඉවුරක් මත ගැටී සිරවී තිබුණි. මේ නිසා ඇළ මාර්ගයේ සියලු නාවික ගමනාගමන කටයුතු අඩාළ වී ලෝක වෙළෙඳාමට විශාල ලෙස බලපෑම් එල්ල කර තිබේ.

සූවස් ඇළ යනුවෙන් හැඳින්විය හැක්කේ මධ්‍යධරණී රතු මුහුද හරහා ඉන්දියන් සාගරය යා කරමින් මිනිසා විසින් සාදන ලද ජල මාර්ගයකි. මෙමගින් යුරෝපය හා අප්‍රිකාව හරහා වන නාවික මාර්ගයක් වන අතර, මෙය සෘජු නාවික මාර්ගයක් ලෙස සැලකේ. මෙහිදී විශේෂයෙන් අප්‍රිකානු මහද්වීපය වටා ගමන් කළ හැකි ඉහළ අත්ලාන්තික් සාගරයට පිවිසෙනවාට වඩා ඉතා කෙටි කාලයක් තුළදී ඉන්දියානු සගරය හරහා වඩාත් ඵලදායි ලෙස කෙටි කාලයක් තුළදී උතුරු අත්ලාන්තික් කලාපයටත්, උතුරු අත්ලාන්තික් කලාපයේ සිට ඉන්දියානු සාගරයටත් පිවිසිය හැකි ඉතා කෙටි මාර්ගයක් ලෙස ගොඩ නගා තිබේ.

සූවස් ඇළ ඊජිප්තුවේ මධ්‍යධරණීය මුහුදේ පිහිටි සයිඩ් වරායේ සිට සැතපුම් 120ක් දකුණු දෙසින් සුවන් නගරය දක්වා විහිදී පවති. (සුවන් බොක්කේ උතුරු වෙරළේ පිහිටා ඇත) මෙම ඇළ ඊජිප්තුවෙන් වැඩි කොටසක් සීනයි අර්ධද්වීපයෙන් වෙන් කරයි. මෙම ඇළ ඉදිකිරීමට වසර 10ක කාලයක් ගත වී ඇති අතර, 1869 නොවැම්බර් 17 වන දින නිල වශයෙන් විවෘත වී තිබේ. විශේෂයෙන් මෙම ඇළ ඉදිකිරීමේදී යුරෝපා ජාතීන්ගේ බාධා එල්ල වී ඇති බව පෙනේ. ඔවුන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සෘජු බධා එල්ල කර තිබෙන්නේ ආර්ථික හා දේශපාලන සාධක මත බව පෙනේ. මෙම ඇළ ඉදිකිරීමේදී කොලරාව හා වෙනත් හේතුන් නිසාවෙන් කම්කරුවන් දසදහස් ගණනක් මිය ගොස් ඇති බව වාර්තාවල සඳහන් වේ.

මෙම ඇළ මාර්ගය මුළු දිග ප්‍රමාණය කිලෝ මීටර් 193.30ක් වන අතර පළල කිලෝමීටර් 205/255 අතර විහිදී පවතී. මෙහි ගැඹුර මීටර් 24 ක් පමණ වේ. ඒ අනුව මේ වන විට ලෝකයේ නිපදවා ඇති විශාලතම නෞකාව මෙම ඇළ මාර්ගය ඔස්සේ ගමන් කිරීමට හැකියාව ලැබේ. තව ද 240,000ක බරින් යුතු ඕනෑම නෞකාවකට මෙම ඇළ මාර්ගය ඔස්සේ ගමන් කිරීමට හැකියාව ලැබේ. සූවස් කැනල් අධිකාරිය පවසන පරිදි දිනකට නැව් 50ක් පමණ මෙම ජල මාර්ගය භාවිතා කරමින් යුරෝපා කලාපයට භාණ්ඩ ප්‍රවාහනය කරයි.

ජාත්‍යන්තර ආරංචි

ජාත්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ලෝක වෙළෙඳාමෙන් සියයට 12%ක් පමණ මෙම ඇළ මාර්ගය හරහා ප්‍රවාහනය වන අතර, විශේෂයෙන් බ්ලුන්බර්ත් අධ්‍යනයෙන් දක්වන පරිදි මේ වන විට ලෝක තෙල් සැපයුමෙන් සියයට 10ක් හා ලෝක ගෑස් සැපයුමෙන් සියයට 8%ක් සඳහා බාධා එල්ල වී තිබිණි. ඒ අනුව මැදපෙරදිග කලාපයේ ඉන්ධන හා ගෑස් සැපයුමට බාධා පැමිණ තිබේ. විවිධ වර්ගයේ නැව් 450 ක් පමණ සිරවී තිබිණි. එම නිසා ලෝක වෙළෙඳාමට හා සැපයුම් ජාලයට විශාල බලපෑමක් ඇති කර තිබේ. ලෝක කන්ටේනර් ප්‍රවාහනයෙන් සියයට 24%ක් පමණ ප්‍රවාහනය සිදුවන්නේ සූවස් ඇළ හරහා වීම විශේෂත්වයකි. අනෙක් අතට මෙම ඇළ මාර්ගය අවහිර වීම තුළින් සූවස් ඇළ කළමනාකරණ අධිකාරියට දිනකට ඇ.ඩො මිලියන 14 සිට 15 දක්වා ආදායමත් අහිමි වී ඇති අතර මෙම නාවික පහසුකම් සැපයීම තුළින් ඊජිප්තුවේ ජාතික ආදායමට සියයට 2% දායකත්වයක් වසරකට දෙයි.

ලෝක වෙළෙඳාමෙන් සියයට 12%ක් සඳහා පහසුකම් සපයන නාවික කේන්ද්‍රස්ථානයක සිදු වූ මෙම අනතුර හේතුවෙන් ලෝක වෙළෙඳාමේ විවිධ අංශයන් කෙරෙහි විවිධාකරයෙන් බලපෑම් එල්ල වෙමින් පවතී. මෙය කෙටිකාලීන බලපෑමක් වුවද කොවිඩ් 19 අර්බුදය නිසා ලෝකයේ ආර්ථිකයන් ගිලී පවතින අවස්ථාවක මෙම සිදුවීම තුළින් විශාල ආර්ථිකයන් පවතින රටවලට මෙන්ම කුඩා ආර්ථිකයන් පවතින රටවලට ද සිදුවන බලපෑම ඉහළ වේ. මෙම අනතුර හේතුවෙන් ලෝක වෙළෙඳාමට දිනකට ඩොලර් බිලියන 9.6 ඇස්තමේන්තු ගත ආදායමක් අහිමි වෙමින් පවතී. එය පැයකට ඩොලර් මිලියන 400ක් හා ටොන් මිලියන 3.3 ක් හෝ විනාඩියකට මිලියන 6.7 ක් වේ. ජර්මනියේ Allianz රක්ෂණ සමාගමේ දත්තයන්ට අනුව ලෝක වෙළෙඳාමට සතියක කාලයකදී සිදුවන බලපෑම ඇ.ඩො බිලියන 6- 10 අතර ප්‍රමාණයකි. ඒ අනුව ලෝක වෙළෙඳාමේ වර්ධනයට 0.2 හෝ 0.4 පසුබැස්මක් සිදුවිය හැකි බව එම ක්ෂෙත්‍රයේ සමාගම් අවධාරණය කර සිටී.

විකල්ප මාර්ග නොමැති වීම

මෙම ඇළ මාර්ගය අවහිර වීම හේතුවෙන් ඒ සඳහා විකල්ප මාර්ගයක් පවතින අතර, එය අප්‍රිකානු මහද්වීපය හරහා රොටර්ඩෑම් වරාය කරා ගමන් කළ යුතු වේ. ඒ සඳහා නාවික සැතපුම් 13,500 ගමන් කළ යුතු වන අතර, එය කිලෝමීටර් 25,002 ගමනාන්තයක් වේ. ඒ සඳහා දින 34 ක කාලයක් ගත වන බව නාවික විශේෂඥයන් පෙන්වා දි තිබේ. මේ තුළින් ප්‍රවාහන වියදම් දෙගුණයකින් වැය වන බව පැවසේ. විශේෂයෙන් යුරෝපය තුළ මේ වන විට ඉන්ධන හා ගෑස් සැපයුම සඳහා බලපෑම් ඇති වී ඇති අතර බොහෝ විට ලෝක වෙළෙඳ පොළ තුළ සියයට 4% ක් පමණ ඉන්ධන මිල වැඩි වී තිබේ.

ඉන්ධන මිල ගණන් වැඩි වීම නිෂ්පාදන වියදම් වැඩි වීමට ඉදිරියේදී හේතුවන අතර, ඒ අනුව භාණ්ඩ මිල ගණන් ඉහළ යනු ඇත. මෙම තත්තවය ලෝකයේ සිල්ලර හා නිෂ්පාදන අංශයන් කෙරෙහි විශේෂයෙන් යුරෝපය තුළ බලපා තිබේ. ඉන්ධන මිල ගණන් වැඩි වීම තුළින් භාණ්ඩ ප්‍රවාහන වියදම් ඉහළ යනු ඇත. ලෝකයේ සැපයුම් ජාලය අඩාල වීම තුළින් දිගින් දිගටම අමතර යෙදවුම් තොග අඩුවීම හා අලුතෙන් ලැබෙන තොග වල මිල ගණන් ඉහළ යාම තුළින් නිෂ්පාදනයන් අහිමිවීම හෝ නිෂ්පාදන වල මිල ගණන් නොසිතු ලෙස ඉහළ යා හැකි බැවින් එහි අවදානම් තත්ත්වයක් උද්ගත වෙමින් පවතී. අනෙක් අතට අපේක්‍ෂිත තොග අඩු වීම හා අමතර තොග එක් රැස් කර ගැනීම අතිශයින් පිරිවැය ඉහළ යාමක් වනු ඇත. එමෙන්ම මෙම තත්ත්වය හමුවේ අඛණ්ඩ ගෝලීය නැව් ඉල්ලුම වැඩිවීම හේතුවෙන් නාවික ගාස්තු ඉහළ යන අතරම නැව්කරුවන් වැනි මුදලක් අයකර ගනු ලැබේ. සිල්ලර වෙළෙඳාම් වල ද අපේක්‍ෂිත තොග අපේක්‍ෂිත මට්ටමට වඩා පහළයාම තුළ ඉල්ලුමට සරිලන සැපයුම නොවන අවස්ථාවන්වලදී ගෝලීය වෙළෙඳ පොළ පද්ධතිය අසමබර වන බව පෙනේ. ඒ අනුව ව්‍යාපාරවල අපේක්‍ෂිත තොග රැස්කර තබා ගැනීමට කාලය ගත වන අතර, ඒ සඳහා ද ඉහළ පිරිවැයක් දැරීමට ව්‍යාපාරිකයන්ට සිදු වේ.

ෆඩ්රේටින් ආයතනයට අනුව ඇ.ඩොලර් බිලියන 1ක පමණ වන්දි මුදල් ගෙවීමට සිදුවන බව පැවසේ. ඒ අනුව සමහර අවස්ථාවන් වලදී ප්‍රතිරක්ෂණ වියදම් ඉහළ යන අතර වෙළෙඳ පොළ තුළ නැවත වතාවක් ප්‍රතිරක්ෂණ වියදම් ඉහළ යාමට මෙම සිදුවීම බලපෑම් එල්ල කර තිබේ. මක්නිසාදයත්, අනෙත් අතර අමෙරිකා එක්සත් ජනපදයේ හා රුසියාවේ ඉන්ධන හා ගෑස් සඳහා ඉල්ලුම වැඩි වී තිබේ. එයට හේතුව යුරෝපා කලාපයට ඉදිරියේදී ඉන්ධන හා ගෑස් සැපයුම කෙටි කාලයක් සඳහා අඩපණ වන බැවිනි. මේ වන විට එම කලාපය තුළ අමතර තොග අවසන් වෙමින් පවතින අතර සමහර තොග වැඩි කිරිමේදී වියදම් අධික වන බව ගණන් බලා ඇත.

විශාල අර්බුද

මෙම අනතුර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පැති කිහිපයකින් බලපාන බව පෙනේ. විශේෂයෙන් ලංකාවේ ඇඟලුම් අපනයනයට බලපෑමක් ඇති වන බව පෙනේ. ශ්‍රී ලංකාවේ ඇඟලුම් වලින් සියයට 70% වැනි ප්‍රමාණයක් වෙළෙඳපොළ පවතින්නේ යුරෝපානු කලාපයේය. අනෙක් අතට රක්ෂණ ගාස්තු ඉහල යාම නැව් ගාස්තු ඉහළ යාම තුළ ලංකාවේ ඇඟලුම් අපනයනකරුවන් විශාල අර්බුද ගණනාවකට මුහුණ දෙනවා ඇත. කොවිඩ් අර්බුදය නිසා බිඳවැටී ඇති ඇඟලුම් කර්මාන්තය තවදුරටත් මෙවැනි අනපේක්‍ෂිත සිදුවීම් නිසාවෙන් බලපෑම් එල්ල කරදී තිබේ. අනෙත් අතට සැපයුම් ප්‍රමාදයන් වීම තුළ ගැනුම්කරුවන් හා එම නිෂ්පාදකයින් මහත් අපහසුතාවයකට ඉදිරියේදී පත්වනවා ඇත.

තවත් අතකින් ලංකාවේ නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය යෙදවුම්වලට වන බලපෑමක් ද පවතී. කෙසේ වෙතත් ගාස්තු ඉහළ යාම තුළ යෙදවුම්වල මිල ඉහළ යන අතර එම භාණ්ඩ වල මිල ඉහළ යන බැවින් වෙළෙඳපොළ අස්ථාවර විය හැකිය. බොහෝ විට ලංකාව ඉන්ධන හා ගෑස් මැදපෙරදිග කලාපයෙන් මිලදී ගැනීම් සිදු කරන බැවින් තෙල් සැපයුමේ ප්‍රමාදයන් හා මිල ගණන් ඉහළ යාමක් සිදුවිය හැකි බව වෙළෙඳපොළ විශේෂඥයන් පෙන්වා දෙයි. විශේෂයෙන් නැව් හා රක්ෂණ ගාස්තු වැඩිවීම මේ සඳහා බලපානු ලබයි. මේ වන විට දැඩි විනිමය අර්බුදයක වෙළී ඇති ලංකාවේ ආර්ථිකය මෙවැනි අනපේක්ෂිත සිදුවීම් තුළින් තවදුරටත් ඛාදනය වන බව පෙනේ. ඒ අනුව ඉදිරියේදී සිදුවිය හැකි ඉරිතැලීම් සදහා අවශ්‍ය ප්‍රතිසංවිධානයන් සඳහා ඉතා ඉක්මණින් සූදානමි විය යුතුය. අද වන විට රුපියල අවප්‍රමානය විමේ වේගය වැඩිවී තිබේ. ඩොලරයට සාපේක්ෂව රුපියල මිල මේ වන විට රුපියල් 200 සීමාව පසුකර ඇත්තේ ඉතා වේගයෙනි. ඒ සඳහා ඉදිරියේදී විදේශ විනිමය අනුපාතිකයේ ආරක්ෂාකර ගැනීමත් රුපියලේ අගය ශක්තිමත් කිරීම සඳහා ක්‍රම උපායක වැඩ පිළිවෙළක් අවශ්‍යතාව තිබේ. මේ වන විට අනතුරට පත් වූ නැව ගිලෙන්නට නොගොස් බේරාගෙන අවසන් විය. නමුත් ඉදිරියේදී ලංකාවේ ආර්ථිකයට සිදුවන්නා වූ කඩතොලුවීම් විශාල වන්නට පෙර වහා දැඩිව වසාදැමීම ඉක්මන් විය යුතුවීම නුවණට හුරුය. එම නිසා සියලු අංශයන් ශක්තිමත් කිරිම රජයේ වගකීමයි.

නව අදහස දක්වන්න