නව ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම් බංග්ලාදේශ සංචාරයට පෙර | දිනමිණ

නව ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම් බංග්ලාදේශ සංචාරයට පෙර

ප්‍රින්ස් ගුණසේකර

ලකුණු රැස් කළොත්, තරග දිනුවොත් සල්ලි ගලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට දක්ෂතා මත පදනම්ව ගෙවීම් සිදුවන ආකාරයේ නව කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම ළඟ එන බංග්ලාදේශ සංචාරයට පෙර සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් කරයි. ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසුවේ සිංහල හා හින්දු අවුරුද්දට පසුව නව කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමට ක්‍රීඩකයන් සමග සාකච්ඡා කරන බවය.

දක්ෂතා මත පදනම්ව ගෙවීම් සිදු වන ආකාරය පිළිබඳ නිර්දේශ අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදී ඇති අතර, ක්‍රීඩකයන් සමග සාකච්ඡා කොට ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු පමණක් ඉතිරිව ඇතැයි සිල්වා මහතා පැවැසීය.

නව කොන්ත්‍රාත් ගිවිසුම් අනුව තරග ජයග්‍රහණයේදී ක්‍රිකට් ක්‍රීඩකයන්ට අමතර ප්‍රසාද දීමනා හිමි වේ. එමෙන්ම පිතිකරුවන් හා පන්දු යවන්නන් දක්වන පෞද්ගලික දක්ෂතා අනුව ගෙවීම් වැඩි කරදීමට නව කොන්ත්‍රාත් ගිවිසුම අනුව සිදුවේ.

මෙතෙක් ක්‍රියාත්මක වාර්ෂික ක්‍රිකට්‌ කොන්ත්‍රාත්තුව අනුව පළමු කාණ්‌ඩයට ඇතුළත් ක්‍රීඩකයකුට ඇමෙරිකානු ඩොලර් 125,000ක්‌ (ලක්ෂ 240), දෙවැනි කාණ්‌ඩයේ ක්‍රීඩකයකුට ඇමෙරිකානු ඩොලර්. 80,000ක්‌ (ලක්ෂ 154) සහ තෙවැනි කාණ්‌ඩයේ ක්‍රීඩකයකුට ඇමෙරිකානු ඩොලර් 60,000ක් (ලක්ෂ 116) බැගින් හිමි වේ.

ඉහත සඳහන් කළ වාර්ෂික කොන්ත්‍රාත්තුවට අමතරව ටෙස්‌ට්‌ තරගයක් ක්‍රීඩා කිරීම වෙනුවෙන්‌ ඇමෙරිකානු ඩොලර්. 5000 (ලක්ෂ 10) හිමි වන අතර, ටෙස්ට් තරගයක් ජයගතහොත් සෑම ක්‍රීඩකයකුටම ඇමෙරිකානු ඩොලර් 7500 ක්‌ (ලක්ෂ 15) බැගින් හිමි වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම ගෙවීම් වෙනසකට භාජනය කොට ක්‍රීඩකයන් වඩාත් දිරි ගැන්වෙන තත්ත්වයකට පරිවර්තනය කිරීමට අපේක්ෂා කළේ පසුගිය දකුණු අප්‍රිකානු හා එංගලන්ත ටෙස්ට් තරගාවලි පරාජය වීමත් සමගය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2018 වසරේ මෙරට පැවැති එංගලන්තය සමග ටෙස්ට් තරගාවලියේ සිට ටෙස්ට් තරග 12ක් පරාජයවී තරග 2ක් ජය පරාජයෙන් තොරව නිමාකොට තරග 3කින් පමණක් ජය ලබා සිටී. 2018 වසරේ මෙරට පැවැති එංගලන්තය සමග එක්දින තරගාවලිය හා එංගලන්තයේ පැවැති ලෝක කුසලාන තරගාවලිය ද ඇතුලුව මේ දක්වා අන්තර්ජාතික එක්දින තරග 34කට සහභාගී වී ඉන් තරග 20ක් පරාජය වී ඇති අතර, ජයගෙන ඇත්තේ තරග 11ක් පමණි. තරග 3ක් විසඳුමකින් තොරව නිමාවට පත්විය.

මෑතකදී මතු වූ මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ලබන වැටුපට සරිලන සේවාවක් තම රට වෙනුවෙන් සපයනවා ද යන ගැටලුව ක්‍රීඩාලෝලීන් තුළ පැන නැගී තිබූ අතර, පරිපාලනයට, තේරීම් කමිටුවට ඇතුළු අංශ ගණනාවක් වෙත චෝදනා එල්ල විය. එවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දක්ෂතා මත පදනම්ව ගෙවීම් සිදු කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම සංශෝධනය කිරීමට අවධානය යොමු කළ අතර, ඒ සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ද අනුමැතිය හිමි විය.

නව අදහස දක්වන්න