ලංකාගම පාලම ජනතා අයිතියට | දිනමිණ

ලංකාගම පාලම ජනතා අයිතියට

දකුණු පළාතේ ගාල්ල, නෙළුව, ලංකාගම සහ නිල්වැල්ල ගම්මාන යා කරමින් නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදි කළ ලංකාගම නිල්වැල්ල පාලම දකුණු පලාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාදිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ සහභාගීත්වයෙන් පෙරේදා (10) ජනතා අයිතියට පත් කෙරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ 'සෞභාග්‍යයේ දැක්ම' සංකල්පය සාක්‍ෂාත් කරමින් නෙළුව ලංකාගම ‍සහ නිල්වැල්ල ගම්මානයන්හි ජනතාව වෙත දීර්ඝ කාලයක් මුළුල්ලේ ගිං ගඟ තරණය කිරීමට පැවති ඉතා අවදානම් සහිත දුෂ්කර ගමන් මාර්ගය වෙනුව‍ට ප්‍රදේශයේ ජනතාවගේ දිගුකාලීන අවශ්‍යතාවක් සපුරාලමින් වඩාත් ආරක්‍ෂිතව සහ පහසුවෙන් ගමනාගමන කටයුතු සිදු කර ගැනීමට හැකිවන පරිදි මෙම ලංකාගම නිල්වැල්ල පාලම අභිනවයෙන් ඉදි කෙරිණි. දකුණු පළාත් සභාවේ ප්‍රතිපාදන මත, මාර්ග සංවර්ධන අධිකාරියේ සැලසුම්කරණයෙන් හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ජුලි මස 28 වැනි දින මෙම පාලමේ ඉදිකිරීම් නාවික හමුදාව මඟින් ආරම්භ කෙරුණු අතර, කඩිනමින් ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට පත් කෙරිණි.

ලංකාගම නිල්වැල්ල පාලම දිගින් මීටර් 84ක් සහ පළලින් මීටර් 1.8 ක් වේ. මෙමඟින් ගම් වාසී ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා, රාජකාරී අවශ්‍යතාවන් මෙන්ම පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද පහසුවෙන් සිදු කර ගැනීමට හැකියාව ලැ‍බේ.

මෙම පාලම විවෘත කිරීමේ අවස්ථාවට මැති ඇමතිවරුන්, දකුණු නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, සම්භාවනීය අමුත්තන්, නාවික හමුදා ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීහු පිරිසක් සහ ප්‍රදේශවාසීහු සහභාගී වී සිටියහ‍.

 

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න