ඉන්ඩස්ට්‍රියල් ගෑසස් සමාගම CNCI විශිෂ්ට සමාගම් 10 අතරට | දිනමිණ

ඉන්ඩස්ට්‍රියල් ගෑසස් සමාගම CNCI විශිෂ්ට සමාගම් 10 අතරට

ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා අවශ්‍ය වායු නිෂ්පාදනයේ සහ බෙදා හැරීමේ ප්‍රමුඛයකු වන සීමාසහිත ඉන්ඩස්ට්‍රියල් ගෑසස් පුද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධාන කළ කර්මාන්ත විශිෂ්ටතා 2020 සම්මාන උලෙළේදී ජාතික මට්ටමේ, නිෂ්පාදන අංශයේ, මහා පරිමාණ කාණ්ඩයේ විශිෂ්ටතම සමාගම් 10 අතරට තේරී පත් විය. සම්මාන උලෙළ කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. “අප නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමටයි. මේ ජයග්‍රහණයට දායකත්වය සැපයූ අපගේ කාර්ය මණ්ඩලයට සේම වටිනා පාරිභෝගිකයන්ට මාගේ කෘතවේදීත්වය පිරි නමනවා.” ඉන්ඩස්ට්‍රියල් ගෑසස් සභාපති සුමිත් ගුරුගේ මහතා පැවසීය.

ඉන්ඩස්ට්‍රියල් ගෑසස් සමාගමට අනුබද්ධිත ගෑස් වර්ල්ඩ් ආයතනයේ කර්මාන්ත ශාලාවල වෛද්‍ය ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන්ඩයොක්සයිඩ්, සම්පීඩිත වායුව සහ නිර්වින්දක වායු මිශ්‍රණ (OxyNitroxide) නිෂ්පාදනය කර දිවයින පුරා රෝහල් 70කට අධික ප්‍රමාණයකට බෙදා හරියි. ශ්‍රී ලංකාවේ හා එතෙර කර්මාන්තශාලා සඳහා ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන්ඩයොක්සයිඩ්, ඩ්‍රයි අයිස්, සම්පීඩිත වායුව, ඇසිටලීන්, නයිට්‍රස් ඔක්සයිඩ්, ආගන්, හීලියම්, බැලුන් වායුව, හයිඩ්‍රජන් සහ ආර්ගොශීල්ඩ් වායුව යන නිෂ්පාදන සපයන අතර, වායු බෙදා හැරීමේ නළ පද්ධති සහ උපාංග (Messer – Germany, Weldro සහ CPX) සැකසීම සමාගමේ තවත් සේවාවකි. එසේම පෑස්සුම් කටයුතු සඳහා අවශ්‍ය උපකරණ සැපයීමද අවුරුදු 28ක් පුරා කරයි. කොවිඩ් ව්‍යසනයේදී අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සෞඛ්‍ය අංශයට වෛද්‍ය වායු අඛණ්ඩව සැපයීම සහ කිසිදු සේවකයකු රෝගයට ගොදුරු නොවීම ආයතනයේ තවත් ජයග්‍රහණයකි. ආයතනයේ නිෂ්පාදන හා සේවා සඳහා අන්තර්ජාතික ප්‍රමිතීන් වන ISO 9001-2015" ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත “යහපත් නිෂ්පාදන පිළිවෙත්” (WHO GMP) සහ SLS 1672:2020 (COVID-19 Safety Management System) යන තත්ත්ව සහතික ලබා ඇත. ආයතනයේ මූලික පරමාර්ථ වන්නේ ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන පාරිභෝගිකයාට හඳුන්වා දීමයි.

නව අදහස දක්වන්න