අබුඩාබි ‘ටී ටෙන්’ නොවැම්බර් 19 සිට | දිනමිණ

අබුඩාබි ‘ටී ටෙන්’ නොවැම්බර් 19 සිට

එමිරේට්ස් ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අබුඩාබි ‘ටී ටෙන්’ ඕවර 10 ක්‍රිකට් තරගාවලිය මේ වසරේ නොවැම්බර් මස 19 වැනිදා සිට පැවැත්වීමට සැලසුම් කර තිබේ. පස්වැනි වරට පැවැත්වෙන මේ තරගාවලිය දෙසැම්බර් මස 4 වැනිදා නිමාවට පත් වීමට නියමිත අතර, දෙසැම්බර් මස 2 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 50 වැනි ජාතික දිනය සැමරීම යේදී ඇති බැවින් තරගාවලිය දින 15කට වඩා දිගු වනු ඇතැයි සංවිධායකයෝ පවසති. එලෙස වුව හොත් මෙය දීර්ඝතම ටී ටෙන් තරගාවලිය වනු ඇත.

“ලොව ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයන් මේ අතිවිශාල ජනප්‍රිය ආකෘතියෙන් දැකීම වඩාත් සතුටට කරුණක් වන අතර, ඉදිරියට එන ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජ්‍යෙෂ්ඨයන් සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම මේ තරගාවලියේදී කදිම අවස්ථාවක් බවත් ටී ටෙන් ක්‍රීඩා කළමනාකරණ සභාපති ෂජි උල් මුල්ක් පවසයි.

මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය නොවැම්බර් මස 15 වැනිදා නිමාවට පත් වීමට නියමිත අතර, ඉන්දියාවේ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් එම තරගාවලිය සත්කාරකත්වය සැපයීමට එමීර් රාජ්‍යයද බලාපොරොත්තුවෙන් සිටී.

එසේ වුව හොත් ලෝක කුසලානයයෙන් පසුව එම රටේදීම ටී ටෙන් තරගාවලිය පැවැත්වීමෙන් ඊට එක්වන ක්‍රීඩකයන්ට ගමන් බිමන් සහ නිරෝධායන නීතිවල ගැටලුවක් ඇති නොවනු ඇත.

අබුඩාබි ටී ටෙන් අවසන් තරගාවලිය මේ වසරේ ජනවාරි 28 වැනිදා සිට පෙබරවාරි 6 වැනිදා දක්වා පැවැති අතර, එහි ශූරතාව දිනා ගැනීමට නොදර්න් වොරියර්ස් කණ්ඩායම සමත් විය. එම තරගාවලිය පැවැතියේ කොරෝනා වසංගතය පැවැති පසුබිමක වුවද තරගාවලිය සාර්ථකව නිමාවට පත් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගාවලියට එක් වූ මහේෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූහ.

නව අදහස දක්වන්න