සංවර්ධන වැඩට විදෙස් රටවලින් ලැබුණු මුදල් වෙනත් කාර්යයන්ට යොදන්න බෑ විපක්ෂ නායකවරයාට මේ ඇත්ත තේරුම් ගන්නත් බැහැ - රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා | දිනමිණ

සංවර්ධන වැඩට විදෙස් රටවලින් ලැබුණු මුදල් වෙනත් කාර්යයන්ට යොදන්න බෑ විපක්ෂ නායකවරයාට මේ ඇත්ත තේරුම් ගන්නත් බැහැ - රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා

සංවර්ධන කාර්යයන් සඳහා විදෙස් රටවල් සමඟ ගිවිසුම්ගත වූ මුදල් වෙනත් කාර්යයන් සඳහා යොදා ගන්න බැහැ කියන එකවත් විපක්ෂ නායකතුමාට තේරෙන්නේ නැතැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා පැවසීය.

ලෝක‍යේ පවතින කොරෝනා වසංගතය හමුවේ වූවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකරලීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, විශේෂයෙන් රටේ සංවර්ධන කාර්යයන් ඉදිරියට ගෙන යන ලෙස ජනාධිපතිවරයා අපට උපදෙස් දී තිබෙව බවත් හෙතෙම කීවේය.

අප විදෙස් රටවල් සමඟ ගිවිසුම් ගත වී තියෙන සංවර්ධන කාර්යයන් නතර කළහොත්, අදාළ කොන්ත්‍රාත් සමාගම්වලට වැඩිපුර ගෙවන්න අපට සිදු වනවා. එහෙම ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්. ඒනිසා තමා පවතින තත්ත්තවය හමුවේ වූවත් ප්‍රමාදයකින් තොරව සංවර්ධන කාර්යයන් ගිවිසුම්ගත වී තියෙන විදිහට ඉදිරියට කරගෙන යන්නේ යැයි ඒ මහතා කියා සිටියේය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීවේය.

විපක්ෂනායකවරයා කියනවා සංවර්ධන කාර්යයන්ට තියෙන මුදල් කොරෝනා වසංගතයට යොදන්න කියා. එහෙම ගිවිසුම්ගත මුදල් වෙනත් කාර්යයකට යොදවන්න බැහැ කියාවත්, එතුමාට තේරෙන්නේ නැහැ. රජය මිලදී ගැනීමට යන හෙලිකොප්ටර් සඳහා වන මුදල් කොරෝනා වසංගතය වෙනුවෙන් යොදවන්න බැහැ. ගුවන් හමුදාපතිතුමා පැහැදිලිව කියනවා රුසියානු ණය ආධාර යෝජනා යටතේ ඒවා මිලදී අරගෙන එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට ඒවා එක් කරනවා කියා.

මාර්ග සංවර්ධනයට හෝ වෙනත් සංවර්ධන කාර්යයකට වෙන් කර තියෙන, විවිධ රටවල් සමඟ ගිවිසුම්ගත වෙච්ච මුදල් වෙනත් කටයුත්තකට යොදවන්න බැහැ කියන එකවත් දන්නෙ නැතිව විපක්ෂනායකතුමා කටයුතු කරනවා. මධ්‍යම අධිවේගය ගහක් නිසා අවුරුදු දෙකක් ප්‍රමාද වෙනවා කියන්නේ අපට වැඩිපුර මිලියන 4,000ක් විතර ගෙවන්න සිදු වෙනවා. මේ ජනතාවගේ සල්ලි. අපි ජනතාවගේ බදු මුදල් ආරක්ෂාකරගෙන යන්න පුළුවන් ක්‍රියාමාර්ගයකට තමා, ගමන් කරන්නේ.

කොරෝනා වසංගතය පාලනය කිරීම ගැන කතා කරන විට අපට මොන චෝදනා එල්ල කළත් පළවැනි හා දෙවැනි රැල්ල පාලනය කිරීමට කටයුතු කළා. ලෝකයේ අනෙකුත් රටවල් එක්ක බලනකොට අප හොද තැනක හිටියා. තෙවැනි රැල්ල අසීරු වුණත් රජයක් විදියට අප එය පාලනය කිරීමට සියලු කටයුතු සිදු කරනවා. ඒ වගේම මේ සදහා මිලියන 22ක් වූ ජනතාවගේ සහායෝගය අවශ්‍යයි.

ක්‍රිසන්ති විතාන

නව අදහස දක්වන්න