ශ්‍රී ලංකාවට බලපෑම් කරන දකුණු ආසියාවේ මුස්ලිම් ත්‍රස්තවාදය | දිනමිණ

ශ්‍රී ලංකාවට බලපෑම් කරන දකුණු ආසියාවේ මුස්ලිම් ත්‍රස්තවාදය

  • පාකිස්තානයෙන් මතු වන නව ත්‍රස්තවාදය
  • ප්‍රංශයට එරෙහි උද්ඝෝෂණ
  • වැරදි තීරණයක ප්‍රතිඵලය
  • ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එල්ල වූ ප්‍රහාරය

දකුණු ආසියාවේ ත්‍රස්තවාදය කලාපීය වශයෙන් සියලු ජාතීන්ට පොදුවේ මුහුණ පෑමට සිදුවී ඇති යථාර්ථයක් බවට පත් වී තිබේ. බිලියන 1.7ක ආසියානු ජනගහණයක් ඇති ආසියාතික රටවල්වල තලෙයිබාන් හා අල් කයිඩා සංවිධානයෙන් බිහි වූ කුඩා ප්‍රමාණයේ සංවිධාන රැසක් වර්ධනය වෙමින් පවතී. මේ සියලු අන්තවාදී මුස්ලිම් සංවිධාන අයිඑස් ත්‍රස්තවාදයට නෑකම් කියන අතර, එම ත්‍රස්තවාදයේ ම්ලේච්ඡ ක්‍රියාකාරකම් තුළින් ලැබූ ආභාෂය දකුණු ආසියාවේ මුදා හරිමින් සිටී.

මුස්ලිම් කණ්ඩායම් ත්‍රස්තවාදය දක්වා තල්ලුවීමට පෙර ආසියාවේ ක්‍රියාත්මක වූයේ වර්ගවාදී ව්‍යාපාර කිහිපයක් පමණි. එවැනි සංවිධාන බොහෝ ආසියාතික රටවල ගරිල්ලා සටන් ක්‍රම අනුගමනය කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැනි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නිරතව සිටියේය. දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී අරගලයක නිරතව සිටි කොටි ත්‍රස්තවාදය ඊට හොඳම නිදසුනය. කොටි ත්‍රස්තවාදීහු ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේත් දේශපාලකයන් රැසක් ඝාතනය කළහ. එය නිමාවට පත් වුවත්, තවමත් ඉන්දීය කඳුකරයේ මාඕවාදී කැරලිකරුවෝ ක්‍රියාකාරීව සිටිති. කාශ්මීරයේ ත්‍රස්තවාදය ඉන්දියාවට මෙන්ම පාකිස්තානයටත් පොදු වූවකි.

අයිඑස් සංවිධානය හරහා ඉස්මතු වූ ඉස්ලාම් ත්‍රස්තවාදය අල් කයිඩා සංවිධානය පවා අබිබවා ගිය එකකි. ඉතා ම්ලේච්ඡ ක්‍රියාකාරකම් තුළින් අරාබිය, යුරෝපය සහ අමෙරිකාව දැඩි භීතියට පත් කළ අයිඑස් ත්‍රස්තවාදයට සම්බන්ධතා ඇති සංවිධාන රැසක් ආසියාවේ ක්‍රියාත්මක වන බවට දකුණු ආසියාවේ ත්‍රස්තවාදය පිළිබඳ තොරතුරු එක්රැස් කරන South Asian Terrorism Portal වෙබ් අඩවියේ වාර්තා වී ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් පාකිස්තානයේදී පෝෂණය වෙමින් පවතින බවට ද වාර්තා පළ වී ඇත.

විශේෂයෙන් අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමත් සමඟ තලෙයිබාන් ත්‍රස්තවාදයට පසු ලොවට විශාලතම ත්‍රස්තවාදී තර්ජනය විය හැකි බවට අනාවැකි පළ වී ඇති ටෙහ්රීක් ඊ ලබ්බෙයික් සංවිධානය පාකිස්තානයේ අන්ත දක්ෂිණාංශික පක්ෂයකි. පසුගිය මාස කිහිපය පුරාම පාකිස්තානයේ ප්‍රංශ විරෝධතා රැල්ලක් ව්‍යාප්ත වූයේ මේ සංවිධානයේ මූලිකත්වයෙනි. එය සිදු වූයේ පසුගිය වසරේ අගභාගයේදී ඉස්ලාමයේ සෘෂිවරයකු වූ මුහම්මද් නබිවරයාට අපහාස වන ආකාරයේ කාටුන් චිත්‍ර ප්‍රංශයේදී ප්‍රකාශයට පත්වීම හේතුවෙනි.

වසර 2015දී පළමු වරට පැරිස් නුවර චාලි හෙබ්ඩෝ සඟරාව මුහම්මද් නබි කාටුන් චිත්‍රයට නඟා ප්‍රසිද්ධියට පත් කළ අතර, ඉස්ලාම් ආගමික සෘෂිවරයා විකට කාටූන් චිත්‍රයට නැඟීමෙන් සිදු කළ අපහාසයට එම සඟරාවේ කර්තෘට පමණක් නොව තවත් කාටූන් ශිල්පීන් 12 දෙනකුටම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වී තිබිණි. පසුගිය වසරේදි එම පුවත නැවත ඉස්මතු වූයේ පැරිස් නුවර එක්තරා පාසලක ගුරවරයකු දිගින් දිගටම සිය සිසුන්ට මේ කාටුන් චිත්‍ර ප්‍රදර්ශනය කිරීම හේතුවෙනි. මේ පිළිබඳ එම පාසලේ මුස්ලිම් සිසුන්ගේ මාපියන් විදුහල්පතිවරයාට පැමිණිලි කර තිබූ අතර, ඉන් ප්‍රතිඵලයක් ලැබී නොතිබිණි. ඊට දින කිහිපයකට පසු එම ගුරුවරයාගේ ගෙල සිඳ ඝාතනය කර තිබූ අතර, මුස්ලිම් ජාතික ඝාතකයා එම ස්ථානයේදීම පොලිස් වෙඩි පහරින් මිය ගියේය. පාකිස්තානය ප්‍රංශ විරෝධී රැල්ලෙන් උණුසුම් වූයේ එම සිදුවීම මුල් කරමිනි.

මේ වසරේ පෙබරවාරිය වන විට පාකිස්තානයේ ප්‍රංශ තානාපතිවරයා රටින් පිටමං කරන බවට අගමැති ඉම්රාන් ඛාන් පසුගිය වසරේදී එම සිදුවීමේ උණුසුමත් සමඟ ටෙහිරීක් ඊ ලබ්බෙයික් සංවිධානයට ලිඛිතව පොරොන්දු වී ඇතැයි ද, පසුව අප්‍රේල් 20 දක්වා කාලය ඉල්ලා ඇතැයි ද ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබිණි. එහෙත් පසුව පොරොන්දුව ඉටු කිරීමේ නියමිත දිනයට දින අටක් ඉතිරිව තිබියදී එම සංවිධානයේ නායක සාද් හුසේන් රිස්වි අත්අඩංගුවට ගැනීමටත්, ඊට දින කිහිපයකට පසු එම සංවිධානය තහනම් කිරීමටත් පාකිස්තාන රජය පියවර ගැනීමත් සමඟ තත්ත්වය උග්‍ර අතට හැරී තිබිණි.

පාකිස්තාන රජය විසින් එම සංවිධානය තහනම් කරනු ලැබුවේ අප්‍රේල් මස 12 වැනිදා රිස්වි අත්අඩංගුවට පත්වීමත් සමඟ පාකිස්තානයේ අධිවේගි මාර්ග සහ නගර කිහිපයක මහාමාර්ග අවහිර කළ විරෝධතාකරුවන් පොලිස් නිලධාරියකු ද ඝාතනය කිරීමෙන් දින දෙකකට පසුවය. ඉන් පසුව ප්‍රංශයේ පමණක් නොව සියලු යුරෝපීය තානාපතිවරුන් නෙරපා දමන්නැයි ඉල්ලමින් එම සංවිධානයේ පිරිස් කැරලි කෝලහාල වැඩි කරන්නට පටන් ගත්තේය. පොලිස් නිලධාරීන් සිව්දෙනකුම ඝාතනයට ලක් වූ අතර, තවත් 11 දෙනකු පැහැර ගැනීමට ලක් වූහ.

පාකිස්තානයේ උද්ගත වූ තත්ත්වය එරට රජය විසින්ම ගත් වැරදි තීරණයක ප්‍රතිඵලයකි. වසර 2017 පැනමා ලිපි අර්බුදය මත එවකට අගමැති නවාස් ශෙරීෆ්ට ගෙදර යෑමට සිදු වූ අතර, ශාහිඩ් කාකන් අබ්බාසි අන්තර්වාර අගමැතිවරයා බවට පත් විය. ඒ සඳහා ඔහුට විශාල සහයෝගයක් ලැබී ඇත්තේ දැඩි මතධාරී මුස්ලිම් සංවිධානවලිනි. එවකට පැවැති දැඩි මතධාරී මුස්ලිම් සංවිධාන දේශපාලන වශයෙන් ප්‍රධාන ධාරාවට ගෙන ඒමට පාකිස්තාන හමුදාව විසින් එම තීරණය ගනු ලැබුවේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වන පාකිස්තාන ජනතා පක්ෂය සහ පාකිස්තාන මුස්ලිම් ලීගය දේශපාලන කරළියෙන් ඉවත් කිරීමේ අරමුණ ඇතිවය. ටෙහ්රීක් ඊ ලබ්බෙයික් සංවිධානය දේශපාලන පක්ෂයක් වශයෙන් එරට මැතිවරණ කොමිසම පිළිගනු ලැබුවේ එම කාලසීමාවේදීය.

දශකයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාර ත්‍රිත්වය

පසුගිය දශකයේදී එනම් 2010 සිට 2019 දක්වා කාලයේ දකුණු ආසියානු කලාපයේ රටවල්වල සිදු වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාර ත්‍රිත්වයක් පිළිබඳ වෙබ් අඩවි ගණනාවක් තොරතුරු වාර්තා කළේය. ඉන් පළමුවැන්න 2014 වසරේදී පාකිස්තානයේ පේශාවර් නුවර හමුදා පාසලකට එල්ල කළ පාකිස්තාන තලෙයිබාන් ත්‍රස්ත ප්‍රහාරයකි. ඉන් පාසල් දරුවන් 135 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා විය. වසර 2016 දී බංග්ලාදේශයේ ඩැකා නුවර ‘හොලේ ආටිසන් බේකරි‘ නමැති සුපිරි අවන්හලකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකි. එම ප්‍රහාරය සිදු කරනු ලැබුවේ එරට ජමාතුල් මුජාහිදීන් නමැති ත්‍රස්ත සංවිධානයකි. දෙස් විදෙස් සංචාරකයන් දුසිම් ගණනාවක් ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් වූ අතර. 29 දෙනකු ඝාතනයට ලක් විය. ඒ අතර ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයන් 20 දෙනකු සිටි අතර, විදේශිකයන් 17 දෙනකු ද විය. එය බංග්ලාදේශ ඉතිහාසයේ සිදුවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය විය. තුන්වැන්න 2019 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප්‍රහාරයයි. පුද්ගලයන් දෙසීය ගණනකට මරු කැඳවූ මේ ප්‍රහාරය අයිඑස් ත්‍රස්තවාදයේ අභාෂය ලැබූ මෙරට අන්තවාදී මුස්ලිම් කල්ලියක් විසින් සිදු කරනු ලැබූ මරාගෙන මැරෙන ප්‍රහාරයකි.

මුස්ලිම් ත්‍රස්ත සංවිධාන හිස ඔසවමින් සිටින අවස්ථාවක පාකිස්තානයේ එවැනි සංවිධාන දේශපාලන පක්ෂ වශයෙන් පිළිගැනීම දකුණු ආසියාවේ මුස්ලිම් ත්‍රස්තවාදයේ ව්‍යාප්තියට බලපෑ තීරණාත්මක සාධකයක් බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ. පාකිස්තානයේ මෙවැනි පසුබිමක් නිර්මාණය වූයේ වසර 2017 ජූලි මාසයේදී එවකට අගමැති නවාස් ශෙරීෆ් සුප්‍රකට පැනමා ලියවිලි අර්බුදයට පැටලීම හේතුවෙනි. අගමැතිවරයාගේ දරුවන්ට ඇති විදේශීය වත්කම් පිළිබඳ පැනමා ලිපි මඟින් හෙළිදරවු වීමෙන් පසු නවාස් ශෙරීෆ්ට දූෂණ චෝදනා එල්ල වූ අතර, ඔහු අගමැති ධුරයට නුසුදුස්සකු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබිණි. ඒ අනුව එවකට ඛනිජ තෙල් අමාත්‍යාංශය භාරව කටයුතු කළ ශාහිඩ් කාකන් අබ්බාසි අන්තර්වාර අගමැතිවරයා ලෙස පත් විය. නවාස් ශෙරීෆ්ට තනතුර අහිමි කිරීමට ප්‍රධාන කාර්යභාරයක් සිදු කරමින් පාකිස්තාන වැසියන් විරෝධතා සඳහා උසිගන්වනු ලැබුවේ ටෙහ්රීක් ඊ ලබ්බෙයික්, සුන්නි ටෙහ්රීක් සහ කටාමි නබුවත් සංවිධාන ත්‍රිත්වය විසිනි. එරට දේශපාලන අස්ථාවරභාවයෙන් උපරිම ඵල නෙළාගත්තේ මේ සංවිධාන ත්‍රිත්වයයි.

පාකිස්තානයේ ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන බිහිවීමේ ප්‍රවණතාව පිළිබඳ දේශපාලන විශ්ලේෂකයන්ගේ අවධානය යොමු වූයේ 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයෙන් පසුවය. වසර 2009 මාර්තු මස 3 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත් බස් රථයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තවත් දශකයකට වැඩි කාලයක් පාකිස්තානය අන්තර්ජාතික ක්‍රීඩාවෙන් ඉවත් කිරීමට බලපෑ සාධකයක් ද විය. මේ ප්‍රහාරය සිදු කරනු ලැබුවේ එරට ලෂ්කාරි ජාන්වි නම් ත්‍රස්ත සංවිධානයයි. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් 6 දෙනකු තුවාල ලැබූ අතර, පාකිස්තාන පොලිස් නිලධාරින් 6 දෙනකු සහ සිවිල් වැසියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් විය. ඊට වසර කිහිපයකට පසු එනම් 2016 වසරේදී පාකිස්තානයේ එක්තරා පොලිස් පුහුණු පාසලකට ප්‍රහාරයක් එල්ල කොට පුද්ගලයන් 59 දෙනකු ඝාතනය කරනු ලැබුවේ ද එම සංවිධානය විසිනි. ලෂ්කාරී ජාන්වි ත්‍රස්ත සංවිධානය සෘජුවම අයිඑස් ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බව පසුව අනාවරණය වී තිබිණි.

පාකිස්තානයේ දැඩි මතධාරී මුස්ලිම් කණ්ඩායම් ක්‍රියාත්මක වන්නේ එරට හමුදාවේ සයෝගය තුළින් බවට වසර ගණනාවක සිට එල්ල වන චෝදනා 2017 වසරේදී එවැනි සංවිධාන පාකිස්තානයේ දේශපාලන ප්‍රවාහයට එක්වීමෙන් තහවුරු වී තිබිණි. එමෙන්ම 2018 පාකිස්තාන මහමැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ බිඳ දැමීමට වත්මන් අගමැති ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රීකී ඉන්සාෆ් පක්ෂය ඉස්ලාමීය කණ්ඩායම්වල සහයෝගය ලබා ගත් බවත් ඇතැම් වාර්තා මගින් පෙන්වා දී තිබේ.

ෆවුස් මොහොමඩ්

 

නව අදහස දක්වන්න