ඇනස්ටේසියා-බාබොරා පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළට අද සටනේ | දිනමිණ

ඇනස්ටේසියා-බාබොරා පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළට අද සටනේ

ප්‍රංස විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල අවසන් මහා තරගය අද (12) ප්‍රංසයේ රෝලන්ඩ් ගැරෝස්හිදී පැවැත්වේ.

මේ සඳහා රුසියානු ක්‍රීඩිකා ඇනස්ටේසියා පවුලියුචෙන්කෝවා සහ චෙක් ජනරජයේ බාබොරා ක්‍රෙජ්සිකෝවා සුදුසුකම් ලබා සිටින අතර, මේ 29 හැවිරිදි ඇනස්ටේසියා මෙන්ම 25 හැවිරිදි බාබොරා ද ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක අවසන් තරගයට පිවිසි පළමු අවස්ථාව මෙයයි. සිය මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ වෙනුවෙන් මේ දෙදෙනා සටන් වදින බැවින් මේ අවසන් තරගයේදී ඉතා උණුසම් තරගයක් දැක ගැනීමට අවස්ථාව උදා වනු ඇත.

ඇනෙස්ටේසියා ලෝක ශ්‍රේණිගත කිරීම්වල 31 වැනි ස්ථානයේ පසු වන අතර, බාබොරා පසුවන්නේ 33 වැනි ස්ථානයෙයි.

අවසන් පූර්ව වටයේදී අනෙස්ටේසියා වට 2-0ක (ලකුණු තත්ත්වය 7-6 සහ 6-3) පහසු ජයක් අත් කර ගත්තේ ස්ලොවේනියානු ක්‍රීඩිකා තමරා සිඩාන්සෙක් පරාජය කරමිනි. තමරා ලෝක ශ්‍රේණිගත කිරීම්වල පසු වන්නේ 85 වැනි ස්ථානයේයි.

“මම වෙහෙසට පත්ව සිටින නමුත් සතුටින් සිටින නිසා කුමක් සිතිය යුතුදැයි නොදනිමි. එය එතරම් හැඟීම්බර ය.” තරගයෙන් අනතුරුව අනෙස්ටේසියා පැවසුවාය.

බාබෝරා හමුවේ අවසන් පූර්ව වටයේදී වට 2-1කින් පරාජයට පත් වූයේ ලෝක ශ්‍රේණිගත කිරීම්හී 17 වැනි තැන පසුවන ග්‍රීක ක්‍රීඩිකා මරියා සක්කාරිය. එම තරගයේ මුල් වට දෙක බාබොරා සහ මරියා පිළිවෙළින් ලකුණු 7-5ක් සහ 6-ක් ලෙස ජයගත් අතර, ඉතා උණුසුම් මුහුණුවරක් ගත් තෙවැනි වටය ජය ගැනීමට බාබොරා සමත් වූයේ 9-7ක් ලෙසිනි.

තරගයෙන් අනතුරුව බාබොරා පැවසුවේ “මට හැම විටම අවශ්‍ය වූයේ මේ වගේ තරගයක් ක්‍රීඩා කිරීමටයි” යන්නයි.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී ප්‍රවීණ ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ඇතුළු ක්‍රීඩිකාවන් රැසකට පරාජය වීමට සිදු වීම කැපී පෙනිණි.

අනෙස්ටේසියා ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියකදී මින් පෙර පෙන්වා ඇති ඉහළම දස්කම වන්නේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමය. ඇය කාන්තා යුගල තරගවලදී ද අර්ධ අවසන් පූර්ව වටය තෙක් තරග කර ඇත.

කෙසේ වෙතත් බාබොරා 2018 වසරේ ප්‍රංස සහ විම්බල්ඩන් තරගාවලිවලදී කාන්තා යුගල ශූරීයක වූ අතර, මේ වසරේ ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ කාන්තා යුගල අවසන් තරගයට ද පිවිසියාය.

ඇමරිකානු ක්‍රීඩිකාවක වන කොකෝ ගෝෆ්ට එරෙහිව අර්ධ අවසන් පූර්ව වටයේ ජයග්‍රහණයෙන් පසුව ක්‍රෙජ්සිකෝවා අවධාරණය කළේ විශේෂයෙන් තමා යුගල ක්‍රීඩිකාවක් ලෙස හංවඩු ගැසීමට කැමති නැති බවයි.

මේ අතර, තරගාවලියේ පිරිමි අවසන් පූර්ව වටයේ තරග ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර, අවසන් මහා තරගය හෙට (13) පැවැත්වෙනු ඇත.

නව අදහස දක්වන්න