තිසරගේ උත්සාහය අපතේ යයි | දිනමිණ

තිසරගේ උත්සාහය අපතේ යයි

ශ්‍රේණිගත කිරීම්වලත් ඉදිරියට

තිසර පෙරේරාගේ දක්ෂ පන්දු යැවීම අපතේ යවමින් පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම සමඟ පැවැති 16 වැනි තරගයෙන් ලකුණු 12ක පරාජයක් හිමි කර ගැනීමට කරච්චි කිංග්ස් පිලට සිදු විය.

අබුඩාබිහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් මුල්තාන් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 176ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය කරච්චි පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 164ක් පමණි. ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වන කරච්චි පිලට හිමි වූ තෙවැනි පරාජය මෙයයි. පළමුව පන්දුවට පහර දුන් මුල්තාන් කණ්ඩායම වෙනුවෙන් රිලි රොසොව් පන්දු 24කින් ලකුණු 44ක් සහ කුෂ්දිල් ශාහ් පන්දු 32කදී නොදැවී ලකුණු 44ක් රැස් කිරීමට සමත් වූහ.

මෙවර තරගාවලියේ පළමු වරට කැඳවූ තිසර පෙරේරා ඕවර 3කදී ලකුණු 12කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

කරච්චි පිල වෙනුවෙන් බාබර් අසාම් නොදැවී ලකුණු 85ක් රැස් කළද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණත් නොවීය. පන්දු 63කට මුහුණ දුන් අසාම් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් එල්ල කර තිබිණි. ඔහු චැඩ්වික් වෝලටන් සමඟින් සිව්වැනි කඩුල්ලට පන්දු 45කින් ලකුණු 77ක් රැස් කළද මුළු ලකුණු 154දී කඩුලු 3ක් බිඳ වැටීම කරච්චි පිලේ පරාජයට හේතු විය. පන්දු 2කට මුහුණ දුන් තිසර පෙරේරා ලකුණු රැස් කිරීමට පෙර දැවී ගියේය. පන්දු යැවීමේදී ඉම්රාන් ඛාන් කඩුලු 3ක් සහ ඉම්රාන් තහීර් කඩුලු 2ක් බිඳ දැම්මේය. මේ අතර, රෂීඩ් ඛාන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් පෙෂාවර් සල්මි පිල සමඟ පැවැති තරගාවලියේ 17 වැනි තරගයෙන් ලකුණු 10ක ජයක් අත් කර ගැනීමට ලාහෝර් කලැන්ඩර්ස් පිල සමත් විය. මේ ජය සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගත් ලාහෝර් පිල සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10කි. ඔවුන් තරග 6කින් පරාජය වී ඇත්තේ එක් තරගයක් පමණි.

නව අදහස දක්වන්න